වෙනදාටනම් එකවර ටෙලිනාට්‍ය දෙක තුනක වැඩ කරන මේ තරුණ නළුවා, දැන් වැඩ කරන්නෙ එකම එක ටෙලිනාට්‍යයක විතරලු. ඒ වෙනුවෙන් ඔහු තුළ තියෙන්නෙ පුදුමාකාර කැපවීමක් කියලයි ඔහුගෙ සගයො කියන්නෙ.
ඔහුත් එක්ක මේකෙ වැඩ කරන තරුණ නිළිය කෙරෙහි මෙයාට තියෙන්නෙත් එසේ මෙසේ ළෙන්ගතුකමක් නෙවෙයිලු.
ඔන්න දැන් මෙයාට ෂූටිං නැති දවස්වලත් අර කෙල්ලට ෂූටිංනම් මෙයා ලොකේෂන් පැත්තට ඇවිත් කට්ටිය එක්ක ඔහේ කයිය ගහගෙන ඉන්නවලු. අධ්‍යක්ෂකවරයා දවසක් හැමෝම ඉස්සරහ ඇහුවලු මොකද කොල්ලා ෂූටිං නැති දවස්වලත් මේ පැත්තෙ කැරකෙන්නෙ, වෙනදාටනම් ෂූටිං ඉවරවුණු ගමන් දුවන එකා.
කොල්ලගෙ මූණ රතු වුණාලු.
නැහැ මම නිකම් ආවෙ..
ඕක අහගෙන හිටිය සෙට් එක හිනාව තද කරගත්තලු.
ඔහු ටික කාලයක් චිත්‍රපට ක්ෂේත්‍රයේ රැඳී ඉන්න සිනමා අධ්‍යක්ෂකවරයෙක්. ලොකු මුදලක් යට නොකර චිත්‍රපට හදන්න මොහුට තියෙන්නෙ මාර හැකියාවක්. ඒත් ඒ චිත්‍රපට දුවවන්නනම් ලේසි නැහැ. ඒ කොයි හැටි වෙතත්, මෙයාට එක චිත්‍රපටයක් ඉවරවෙනවත් එක්ක තව නිෂ්පාදකවරයෙක් කොහෙන් හරි සෙට් වෙනවා.
ඔන්න එයාගෙ අලුත් තිරකතා පිටපත අරගෙන ගියාලු අලුත් නිෂ්පාදකවරයෙක් හම්බවෙන්න. කතාවෙ සාරාංශයයි, ලැබෙන ලාබයයි, අනිත් විස්තර ටිකයි නිෂ්පාදකට පැහැදිලි කරලා කිව්වලු.
එතකොට මේ ලව් ස්ටෝරි එකට කාවද දාන නළු නිළි ජෝඩුව? නිෂ්පාදක ඇහුවලු.
අධ්‍යක්ෂකවරයා එකපාරටම ලංකාවෙ ජනප්‍රියතම නළු නිළි ජෝඩුවකගේ නම කිව්වලු. නිෂ්පාදකවරයා පුදුම වුණාලු.
පුදුම වෙන්න දෙයක් නැහැ, ඒ දෙන්නටම මම කතාව කියලා කැමති කරවගෙන තියෙන්නෙ. වැඩේ පටන්ගන්න එක තියෙන්නෙ ඔබතුමාගෙ අතේ, අධ්‍යක්ෂ කිව්වලු.
පහුවදා නිෂ්පාදකවරයා අධ්‍යක්ෂට දුරකතනයෙන් කතා කළාලු.
අයිසෙ මට ඊයෙ බොරුවක්නෙ කිව්වෙ. අර කියපු නළුවා මට අද උදේ හම්බවුණා. ඔයා මේ ෆිල්ම් එක ගැන වචනයක්වත් කතා කරලා නැහැනෙ.. එයාට මේ අවුරුද්දෙ දිනත් නැහැ.
මේකයි කතන්දරේ... මගේ ඔළුවෙ තියෙන්නෙ මේ දෙන්නා. දැන්ම කියන්න ගියොත් සමහරු ඔළුවට විෂබීජ දාන්න ඉඩ තියෙනවා, ඔහු ගොත ගහමින් කිවවලු.
විෂබීජ තියෙන්නෙ ඔයාගෙ ඔළුවෙද කියලා චෙක් කරගන්න. හීන ලෝකවල ඉඳලා නළු නිළියො තෝරලා මගෙන් චිත්‍රපටය නිෂ්පාදනය කරන්න සල්ලි ඉල්ලන්නනම් එන්න එපා.
මෑතකදී පැවති කලා ලොවේ මංගල උත්සවයකට ප්‍රවීණ කලා ශිල්පියෙකුද ඔහුගේ බිරිය සමඟ සහභාගි වුණාලු.
මහත්තයා ගැන නිතරම විපරමින් හිටිය නෝනා දැක්කලු ඔහු ඔසුපැන් දෙන පැත්තට යනවා එනවා. ඇය එකපාරක් ඔහු ළඟට ගිහින් මොකක් හෝ දෙයක් කනට කරලා කිව්වලු.
ඔන්න තව ටිකකින් ඔසුපැන් ස්ථානයෙන් මෙයා හෙල්ලෙන්නෙම නැහැල්ලු. බිරිය ආයෙමත් සැරයක් ඔහු ළඟට ගිහින් යමක් කියලා ආවලු.
දැන් දැන් ඔසුපැන් ස්ථානය ළඟ කට්ටිය වැඩිවෙලා. සද්ද බද්දත් ටික ටික වැඩිවෙලා.
නෝනා මේ සැරෙත් ගිහින් මොකක්දෝ කිව්වට ඔහුට ඒක හරිහැටි ඇහුණෙ නැත්තෙ වටපිටාවෙ සද්ද බද්ද නිසා.
මතක තියාගන්න, ඔයා කොච්චර බිව්වත් මට අවුලක් නැහැ. අපි යන්නෙ කැබ් එකේනෙ. ඒත් ඔය කෝට් එක පරිස්සම් කරගන්න මහත්තයෝ...
ඔය කතාවනම් ඒ අසල හිටිය දෙතුන් දෙනෙකුට පැහැදිලිව ඇහුණා.
මොකද නෝනා කෝට් එක ගැන මේ තරම් උනන්දුව. හයර් එකට ගත්ත එකක්වත්ද? එක්කෙනෙක් ඔහුගේ කනට කරලා ඇහුවලු.
පිස්සුද මචං. මෙයා දන්නවනෙ මගේ හැටි. පොඩ්ඩක් විතර වැඩිවෙනකොට මගේ පුරුද්දක් තියෙනවා මැද්දට ගිහින් නටන එක. ඔහොම ගිහින් ටික වෙලාවක් ගියාම මම කෝට් එක ගලවලා වටේට වන වනා තමයි නටන්නෙ. පස්සෙ කෝට් එක අතුරුදන් වෙනවා. අන්තිමට ගෙදර යද්දී අපි අහුලගෙන යන්නෙ ඇඳගෙන ආපු කෝට් එක නෙවෙයි, කොටින්ම කිව්වොත් පාපිස්සක්. ඇයි ඉතින් කී දෙනෙක් ඕක පාග පාග නටලා තියෙනවද..? අපේ නෝනා ඔන්න ඕකයි මට මතක් කරලා යන්නෙ.
► Text - Mithra