2019 ජනවාරි 26 වන සෙනසුරාදා

ටක්කෙට ටොක්ක ඇනපු චේ

 2019 ජනවාරි 26 වන සෙනසුරාදා, ප.ව. 12:30 80

අද අපි කතා කරන්න යන්නේ 2004 නිර්මාණය වුණු මෝටර් සයිකල් ඩයරීස් (The Motor Cycle Diaries) චිත්‍රපටය ගැනයි. මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නේ ලෝක ප්‍රසිද්ද විප්ලවවාදියෙක් වුණු චේ ගුවේරා අවුරැදු 23 දී පමණ දකුණු අමෙරිකාව පුරා සංචාරය කරලා ලබපු අත්දැකීම් ගැන. මේ ගමනට චේ එක්ක එයාගේ යාළුවා ඇල්බටෝ ග්‍රැනාඩෝ ද එක්වෙනවා. මේ ගමනේදී චේටයි ග්‍රැනාඩෝටයි දකුණු අමෙරිකාවේ ආදිවාසීන් ඇතුළු ඔවුන්ට ආවේණික සමාජය හොඳට මුණගැහෙනවා. ඒ වගේම දකුණු අමෙරිකාවේ විවිධ සමාජ පන්තීන්, සාමාන්‍ය මිනිස්සුන්ට විඳින්න වුණු දුක්ගැහැට, ආසාධාරණකම් අකටයුතුකම්  හොඳට අත්විඳින්න පුළුවන් වෙනවා. ඒ වගේම දකුණු අමෙරිකානු සංස්කෘතිය ද ඔවුන් අල්ලගන්නවා.

මේ චිත්‍රපටය හදන්න චේම ලියපු එයාගේ ඩයරියේ ලේඛන තමයි පදනම් වෙලා තියෙන්නේ. ඒ අනුව පසුකාලයේදී චේ ඇතුළු පිරිසට සමාජය වෙලාගෙන තියෙන ආර්ථික අසමානතාවය, දේශපාලන පීඩනය තුරන් කරපු ආයුධ සන්නද්ධ අරගලයට මේ අත්දැකීම් ශක්තිමත් වෙලා තියෙනවා. චේගේ චරිතය රඟපාන්නේ ගසොල් ගාසියා වර්ගෙල්. ග්‍රැනාඩෝගේ චරිතය රඟපාන්නේ රුඩ්‍රිගූ ද සෙර්නා. එයා චේගේ අම්මාගේ පැත්තෙන් ඥාතියෙක්. බ්‍රසීල ජාතික බෝල්ටර් සේලිස් චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනවා. චිත්‍රපට රටවල් එකතුවක සම නිෂ්පාදනයක්. ආජන්ටිනාව, අමෙරිකාව, ජර්මනිය, එක්සත් ජනපදය, චිලී, පේරු හා ප්‍රංශය මෙහි සම නිෂ්පාදකත්වය දරනවා.

ඉතින් කොහොමහරි 1952දී චේ එයාගේ විශ්ව විද්‍යාල ජීවිතයේදී යාළුවන් එක්ක බුවගෝස් අයර්ස්වලට පිටත් වෙනවා. ඔවුන්ගේ ගමනේ ඔවුන්ට සමාජ දැනුමක් ලැබුණත් මේක අරමුණු වුණේ විනෝදය හා වින්දනය ලැබීම. ඒ සඳහා මාස 4 ½ ගිය බව සඳහන් වෙනවා. කෙසේ වුවද මගදී මෝටර් සයිකලයේ දෝෂ හටගන්නවා. එනිසා ටික දුරක් පයින් යන්න සිද්ධ වෙනවා. එහෙම පයින් යන ගමනේදී ඒගොල්ලන් දකිනවා දකුණු අමෙරිකාවේ ආදිවාසී ගොවියන්ට සිද්ධ වෙන අකටයුතුකම්, සූරාකෑම්, චිත්‍රපටයේදී ඒ ගැන විශේෂ සංවේදීතාවක් දක්වලා තියෙනවා. චිලීහිදී ඔවුන් දකිනවා තරුණ යුවලක් මහ පාරට ඇදලා දාලා තියෙනවා එයාලගේ කොමියුනිස්ට් අදහස් නිසා. ඒ දෙන්නත් එක්ක මේ දෙන්නා යනවා තම පතලක් බලන්ඩ. එහිදී දකිනවා කම්කරුවන්ට ඉතා අසාධාරණ ලෙස සළකන ආකාරය. සුප්‍රසිද්ධ මාචු පීචු ගමනේදී දකිනවා දකුණු අමෙරිකාවේ පෞඩත්වය.

යන ගමනේදී චේගේ යාළුවා කියනවා දකුණු අමෙරිකාව සාමකාරී විප්ලවයක් මගින් දියුණු කලාපයක් කරන්න පුළුවන් කියලා. ඒත් සන්නද්ද නොවුණු විප්ලවයකින් ලෝකය දිනන්න බැහැ කියලා චේ කියනවා.
පසුව ඔවුන් ශාන්ත පැව්ලෝ ලේපර් කොලනියේ සති තුනක් ස්වෙච්ඡා සේවකයන් ලෙස ඉතා ආසාවෙන් වැඩ කරනවා. එහිදීත් දකිනවා සමාජය බෙදිලා වෙන්වෙලා ඉන්න ආකාරය. වෛද්‍ය ශිෂ්‍යයන් වන ඔවුන්ට මේක හොඳ අවස්ථාවක් වෙනවා. එහිදී රබර් අත්වැසුම් දාන්න මේ විරෝධය පළකරනවා.

චිත්‍රපටය අවසානයේදී පෙන්වනවා චේලා ලෙපර් කොලනියේ තාවකාලිකව පදිංචි වෙලා, එතැනින් චේගේ දේශපාලන ගමනේ පළවැනි කතාව පටන්ගන්න හැටි. ඒකෙදි ඔහු දැඩිව කතා කරනවා. අධිපතිවාදයට විරුද්ද වීම හා සමානාත්මතාවෙන් යුත් සමාජයක් ගැන. විශේෂයෙන් දකුණු අමෙරිකාවේ වාර්ගික හා ජාතික සීමාවන් අභිබවා ගිය පුද්ගල සමානාත්මතාවය සහ දකුණු අමෙරිකානු ආවේණික සංස්කෘතිය ඔහු මෙහිදී මතු කරනවා.

චේ සිය චාරිකාවේ අවසානම මොහොත සටහන් කරන්නේ සිය ඇදුම රෝගය ද නොතකා ලෙපර් කොලනියේ අසබඩ ගඟේ පීනලා යන දර්ශනයේ. අවසානයේදී දෙදෙනා ගමන ඉවර කරන වෙලාවේ ග්‍රැනැඩෝ කියනවා එයාගේ උපන්දිනේ සැමරුවේ ඇත්තටම අගෝස්තු 8 (අප්‍රේල් 8 තමා උපන්දිනේ) ඒ වුණත් මේ ගමන තම ජීවිතයට හොඳ උත්තේජනයක් සැපයූ බව. චිත්‍රපටය ඉවරවෙන්නේ අවුරුදු 82ක් වයස ඇල්බටෝ ග්‍රැනාඩෝගේ පෙනී සිටීමකින්, මේ දෙදෙනාගේ සංචාරයේ සැබෑ පින්තූර හා අනුවේදනීය ලෙස 1967 දී CIA මගින් බොලිවියාවේ චේව ඝාතනය කළ සිද්ධියේ විස්තරත් එක්ක.

චිත්‍රපටයේ චේ වෙනුවෙන් රඟපාන ලද ගසෙල් ගාසියෙල් වර්නාල්ට ගොඩක් මහන්සි වෙන්න සිද්ධ වෙලා තියෙනවා මේ චරිතය කරන්න. ඔහු කියන විදිහට ලෝකයේ හඬක් නැති මිනිසුන්ගේ පැත්තේ හිටගත්ත, ලෝකයක්ම නියෝජනය කළ මේ අසහාය චරිතය ගැන ලෝකයේ තියන මිථ්‍යාවන් හාරා ගැඹුරේ ඇති නැවුම් බව හා වීර ගුණය මතු කරන්න අවංක උත්සාහයක් අරන් තියෙනවා.

විචාරකයන් කියන විදිහට මේ යාළුවන් දෙදෙනා මේ සංචාරය හරහා ගමන් කරලා තියෙන්නේ ඉතිහාසයේ පිටු අතරටයි. ඒ පවිත්‍රතාවය, පරාර්ථකාමීත්වයයි අරගෙන. ඇතැම් විචාරකයන් තියෙන්නේ මේ චිත්‍රපටය පුද්ගල හැඟීම් හා අදහස් සංක්‍රාන්තියට පත් කරන දෙයක් කියලා.

කොහොම වුණත් The Motor Cycle Diaries කියන්නේ තරුණ පරම්පරාව විශේෂයෙන්ම නැරඹිය යුතුම චිත්‍රපටයක්. තරුණ පරම්පරාව සිය සෞන්දර්යයාත්මක අවදිය උදාර බවින් වර්ණවත් කරගන්නේ කොහොමද කියන එකට හොඳ හැඟීමක් මේ චිත්‍රපටය ලබා දෙනවා.

 

► Text -   M Ishaq