පිහාටු මොකටද ඉගිලෙන්න ළමයින්ට... එහෙම තමයි තාල^චිත්‍රපටය ඔබ හඳුන්වලා දෙන්නෙ. තාල නිර්මාණය වෙන්න ඔබේ ළමා කාලයත් බලපාන්න ඇති..?
ඔව්.. අනිවාර්යයෙන්ම. මම හිතන විදිහට තාල කියන්නෙ මගේ ජීවිතේ එක්තරා ඇරියස් එකක්. මගේ අම්මයි තාත්තයි දෙන්නම රාජගිරියේ තමයි පදිංචිවෙලා හිටියෙ. ඊට පස්සෙ අපේ තාත්තා කොළඹ දිස්ත්‍රික්කයෙන් අපිව පොඩ්ඩක් කෙළවරකට අරගෙන ගියා. ඒ තමයි පොල්ගස්ඕවිට කියන ගම. ඒක හරි අමුතු ගමක්. මම පොල්ගස්ඕවිට යද්දී ගොඩක් පොඩියි. එහේ හරි දක්ෂ ළමයින් පිරිසක් හිටියා. ඒ අය මගේ යාළුවෝ වුණා. හැබැයි ඒ අයගේ මව්පියන්ගෙන් ගොඩක් දෙනෙක්ට දරුවන් ඉදිරියට ගෙන යා යුතු අන්දම පිළිබඳව අවබෝධයක් තිබුණේ නැහැ. අපේ ළමා වියේදී තමයි අම්මලා පිටරට යන, තාත්තලා පිටරට යන, ටෙලිවිෂන් එක ගමට එන කාලය උදා වුණේ.
ඒ කියන්නෙ ඒ අත්දැකීම්වලට පාලිත මුහුණ දුන්නා..?
ඔව්.. ඒ කාලේ ගමේ තිබුණු ගෙවල්වලින් කාර් එකක්, බයික් එකක් තිබුණු ගෙවල් කිහිපය අතරේ අපේ ගෙදරත් තිබුණා. අපේ තාත්තට මෝටර් සයිකලයක් තිබුණා. ඊට අමතරව ටෙලිවිෂන් එකක් අපේ ගෙදර තිබුණා. ඒ නිසා ඒක බලන්න ගමේ බොහෝ දෙනා අපේ ගෙදරට ආවා. මගේ පවුලේ දරුවන් හත්දෙනෙක් හිටියා. මම තමයි ඒ අයගෙන් මැද්දෙන් හිටියෙ. ඒ නිසා මට හොඳ සිකුරිටියක් තිබුණා. මට කවුරුහරි ගහන්න ආවොත් අයියලා උන්ට ගැහුවා. අයියලාගේ යාළුවෝ මගේ හොඳ වීරයෝ වුණා. ඒ නිසා ඒ අය කරන සමහර වැඩ මම බලාගෙන හිටියා.
තාල නිර්මාණයේ හිටපු දරුවන්ගේ ගෙවුණු ළමා කාලයට සමාන ළමා කාලයක් ඔබට තිබුණද..?
ඔව්.. උන්ගේ ළමා කාලයට මගේ ළමා කාලය ගොඩක් සමානයි. අපේ තාත්තට BSC550 ලොකු මෝටර් සයිකලයක් තිබුණා. ඉස්සර අපි හරිම ගට්ටයෝ. හරිම අණ්ඩයෝ. අපි හොරෙන් වතුවල කුරුම්බා කැඩුවා. ඇළේ පිහිනුවා. ගස් උඩ නැඟගෙන ගෙඩි කැඩුවා. මේ දේවල් කරද්දී ඈතින් තාත්තගේ මෝටර් සයිකලය ගඩ.. ගඩ..ගඩ.. ගාලා සද්දේ දාගෙන එද්දී අපි කට්ටියම එක පේලියට ගෙදරට දුවනවා. ඒක හරිම ලස්සන දර්ශනයක්. ගමේ මිනිස්සු මේ අපූරැ දර්ශනය දැකලා අපිට හිනාවුණා. ඒ කාලේ ඒ වර්ගයේ ලොකු සයිකලයක් තිබුණේ අපේ තාත්තට විතරයි. ඒ නිසා ගමේ හැමෝටම ඒ සද්දේ හොඳට හුරුයි. අපේ අයියා කියන්නේ ලෝක අණ්ඩයා. එයා අපේ ගෙදර සිවිලිම් ෆෑන් එක කපලා ඒකෙන් තාත්තගේ කාර් එකෙයි බයිසිකලෙයි හොර යතුරැ දෙකක් හැදුවා. ඔහු පොඩි කාලේ ඉඳන් හරිම නිර්මාණශීලියි. අයියට මාර අයිඩියා තිබුණා. හැබැයි කාලයකට පස්සෙ මේ ගමේ ළමයින්ටත් මොනවදෝ වෙනවා.
පාලිත අධ්‍යාපනය ලැබුවේ මොන පාසලෙන්ද..?
මම ඉස්කෝල ගණනාවකින් ඉගෙන ගත්තා. ඒ අතරින් ජීවිතේ වැඩි හරියක් මම ඉගෙනගත්තෙ අම්බලන්ගොඩ කනිෂ්ඨ විද්‍යාලයෙ. ඒක බොහොම පොඩියි. හැබැයි හරිම සුන්දරයි. ඒ කාලේ ළමයි තුන්සීයකටත් අඩු ගණනක් තමයි ඒ පාසලේ ඉගෙන ගත්තෙ.
ඒක හරියට තාල චිත්‍රපටයේ ගමේ ඉස්කෝලෙ වගේද..?
ඔව්.. ඇත්තටම. ඒ පාසලේදී අපිට ඉංග්‍රීසි උගන්වන්න ගුණතිලක කියලා ගුරුවරයෙක් ආවා. ඒ පැමිණීම හරිම අමුතුයි. කොණ්ඩය ටිකක් වවපු, ඩෙනිමක් ඇඳගෙන ආපු ඒ තරුණ ගුරුවරයා හරිම ප්‍රසන්න පෙනුමක් තියෙන අපූරු කෙනෙක්. ඔහු හැමදාමත් කැමරාවක් කරේ දාගෙන තමයි පාසලට ආවේ. ඔහු ජීවිතය ගැන බොහෝ දේවල් අපිට විස්තර කළා. ඔහු හැමවෙලේම හරි අපූරු දෙයක් අපිට කිව්වා. ඒ තමන් කරන ඕනෑම වෘත්තීයක දක්ෂයෙක් වෙන්න කියලයි. කරන දේ ඔහුට අදාළ වුණේ නැහැ. ගුණතිලක සර් මට ඉංග්‍රීසි ඉගැන්නුවේ නැහැ. නමුත් ඔහුගෙන් මම ජීවිතය ඉගෙන ගත්තා. ඒ නිසා මගේ ජීවිතේ වීරයෝ වුණේ මගේ තාත්තා සහ ගුණතිලක සර්.
පාලිතගේ තාත්තා සැරද..?
ඔව්.. සැරයි. හැබැයි අපේ ගේ ඇතුළේ ජාතිවාදය, ආගම්වාදය, කුලවාදය තිබුණේ නැහැ. තාත්තා සැරයි. නමුත් හරිම ආදරණීයයි. අපේ අම්මත් හරිම දයාබර ගැහැනියක්. තාත්තා සැරයි වගේම හරි කෙළින් වැඩ කරන පුද්ගලයෙක්. අම්මා තමයි තාත්තගෙන් අපිව බේරගන්නෙ. හොරෙන් ෆිල්ම් බලන්න ගෙදරින් යද්දී අපි ඇඳේ නිදි බව පෙන්වන්න බොරුවට ඇඳ හදලා පෙන්වපු කාලයක් මගේ ජීවිතේ තිබුණා. තාත්තගේ පවුල සල්ලිකාර පවුලක් වුණාට අම්මගේ පවුල එහෙම සල්ලිකාර පවුලක් නෙමෙයි. ඒ නිසාම තමයි අපි රාජගිරියෙන් ගමට ගියේ. ඒ තාත්තගේ වටපිටාවත් එක්ක අපිව පොරවල් කරන්න, හොඳ තැනකට ගේන්න තාත්තා දැඟලුවා. ඒ දඟලද්දී තාත්තට දරැවන් අතහැරැණා.
අධ්‍යක්ෂවරයෙක් ලෙසින් තාල හරහා සිනමාවට එකතු වෙන්න කලින් ඔබ නිර්මාණ බොහොමයකට දායක වුණු හොඳ කැමරා ශිල්පියෙක්..?
ඔව්.. මම අධ්‍යක්ෂවරයෙක් වෙන්නෙ මම තුළ තිබුණු පීඩනය නිසාම නෙමේ. ඒකට සාධාරණ හේතු කිහිපයක්ම තියෙනවා. ප්‍රධානම දේ තමයි මම වයසට යනවා. ඒ අතරේ තරුණ දක්ෂ කැමරා ශිල්පියෝ ෆීල්ඩ් එකට එනවා. ඒ නිසා ඉදිරියේදී කැමරා ශිල්පියෙකු විදිහට රස්සාව නැතිවෙනවා. ඊළඟ කාරණාව තමයි අලුතින් ෆීල්ඩ් එකට එන අධ්‍යක්ෂවරු හිතන විදිහ ටිකක් වෙනස්. ඒකෙ හරි වැරැද්ද මට කියන්න බැහැ. හැබැයි අපි ජීවිතය දිහා බලලා ඒකට ෆ්‍රේම් එක හදාගන්නවා. ජීවිතවලට අපි ෆ්‍රේම් තියනවා. නමුත් අලුත් සමහර අධ්‍යක්ෂවරු කරන්නෙ ෆ්‍රේම් එක ඇතුළට ජීවිත ගේනවා. ඒක වෙනස්. ඒ දේ මට වෙනස්. ඒක මට අමාරුයි. මට මිනිස්සු දිහා බලාගෙන ඉන්න ඕනෙ. ඒ බලාගෙන ඉඳලා තමයි මම ෆ්‍රේම් හදන්නෙ. මේ කාරණා නිසා තමයි මම අධ්‍යක්ෂණයට යොමුවෙන්න හිතුවෙ. කලාව හැර මට වෙන කරන්න රස්සාවක් තේරෙන්නෙ නැහැ. මට කොන්ත්‍රාත්කාරයෙක් වෙන්න බැහැ. මම බාසුන්නැහැ කෙනෙක් වෙන්න දන්නෙත් නැහැ. ඒ නිසා තමයි මම අධ්‍යක්ෂවරයෙක් වෙන්න හිතුවෙ.
ඔය ගමනෙදී කලාවට කැමති තවත් අපූරු මිනිසෙක් ඔබට මුණගැහුණා..?
ඔව්.. ඒ අපූරු නිර්මාණවේදියා තමයි මෙහි නිෂ්පාදක නිලාන් වීරසිංහ. ඒ මුණගැහීම වෙන්නෙ මට මතක හැටියට 2002 අවුරුද්දෙ. මට ඉන්නෙ එක දරුවයි. මගේ දුව පොඩි කාලේ හරියට කොල්ලෙක් වගෙයි. පුංචි කාලේ එයාගේ යාළුවො තුන්දෙනාම පිරිමි දරුවෝ තුන්දෙනෙක්. මගේ දුවට වයස අවුරුදු තුනක් විතර වෙද්දී මට ඩෙංගු රෝගය වැළඳුණා. ඒ වෙනකොට මම ලංකාවේ ප්‍රසිද්ධ වෙළෙඳ දැන්වීම් ආයතනයක වෙළෙඳ දැන්වීමක් කැමරා කරමිනුයි හිටියේ. දවස් පහක වෙළෙඳ දැන්වීමක්. මුල් දවස් දෙක බොහොම අමාරුවෙන් රූපගත කිරීම් කළා. තුන්වැනි දවසේ බොහොම අමාරුවෙලා මම පොඩි රෝහලක නතර වුණා. ඒ ඉඳිද්දීත් මට මම බාරගත්ත වැඩේම තමයි මතක් වුණේ. ඒත්.. මට කරන්න දෙයක් තිබුණේම නැහැ. ඒ තරමටම මට අමාරු වුණා. ඔය අතරේදී මගේ බිරිය මගේ දුවගේ යාළුවෙක්ගෙ අම්මා කෙනෙක්ටත් මේ ගැන කියලා. ඔවුන් ඉක්මණට මම හිටපු රෝහලට ඇවිත් මාව බලෙන්ම ටිකට් කපාගෙන පෞද්ගලික රෝහලක නතර කරලා මට ප්‍රතිකාර කළා. දවස් ගාණකින් මට හොඳවෙලා රෝහලේ බිල් එක ගෙවන්න යද්දී තමයි මම දැනගත්තෙ ඒ වෙනකොටත් මගේ රෝහල් බිල ඔවුන් ගෙවලා හමාර විත්තිය. ඇත්තටම ඒක මම කවදාවත් කාගෙන්වත් බලාපොරොත්තු නොවුණු දෙයක්. ඔහු තමයි ශක්ති ගාමන්ට් අධිපති නිලාන් වීරසිංහ. ඒ වෙනකොට රැකියාවත් එක්ක මම අවුලක ඉන්න බව නිලාන් දැනගත්තා. ඊට පස්සෙ තමයි ඔහු මට මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්න අත දුන්නෙ. ඇත්තටම ඔහු අපූරු මනුස්සයෙක්.
තාල චිත්‍රපටයට දරුවන් සොයාගත්තෙ කොහොමද..?
මට දරුවන් එක්ක වැඩ කිරීමේ පොඩි හැකියාවක් තියෙනවා. ළමයි සහ සතුන් දිහා බලාගෙන ඉන්න මම හරි ආසයි. ඒ දෙගොල්ලන්ම ජීවිතේ ගත කරන්නෙ හරිම නිදහසේ. ඒ දෙගොල්ලන්ට ප්‍රශ්න නැහැ. මගේ දත දිගයි, මම කළුයි, මගේ බඩ තියෙනවා.. කියලා කිසිම ප්‍රශ්නයක් ඒ අයට නැහැ. ඒ වගේම ඒ දෙගොල්ලන්ම බොරැ කරන්නෙ නැහැ. කැමරාවක් තියෙනවා කියලා ඒ අයට ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා කැමරාව ප්‍රශ්නයක් නොකරගෙන දරුවන්ගෙන් වැඩේ ගන්න මම දන්නවා. ඒ දරුවන්ට ඒ අයගේ වටිනාකම දීලා, ඒ නිදහස දුන්නොත් ඒ දරුවන්ගෙන් අපූරු නිර්මාණයක් ගොඩනගන්න පුළුවන් කියලා මම දැනගෙන හිටියා. ඒ නිසා ලංකාවේ මගේ යාළුවන්ට, මගේ විශ්වවිද්‍යාල දරුවන්ට, මේ වගේ දරුවන් පිරිසක් හොයලා දෙන්න කියලා මම කිව්වා. ඒ අනුව තමයි අපි මේ ළමයින් එකතු කරගත්තෙ. අනුරාධපුරය වගේ පැතිවල ගිහින් අපි රුවන් ඉන්ටර්විව් කළා. ඒ වගේම ඒ දරුවන්ව රාමුවක් ඇතුළේ හිරකරන්න මම කිසිම වෙලාවක මගේ කණ්ඩායමට ඉඩ දුන්නෙ නැහැ. කැමරා දෙකකින් තමයි අපි මේ දරුවන්ව රූපගත කළේ.
තාල නිර්මාණයේදී අමතක නොවන සිදුවීමක් අපි මතක් කරමුද..?
තාල නිර්මාණයේදී මම හරිම ආදරය කරන පුංචි දරුවෙක් හිටියා. හොඳට රඟපානවා. මේ කණ්ඩායමම දඟ මල්ලක්. හැමදාම කාටහරි පුංචි තුවාලයක්නම් වුණා. දවසක් එක්තරා රූපගත කිරීමකදී අර දරුවගේ කකුල කැඩුණා. අපි ඒ වෙද්දී රූපගත කිරීම් කළේ සීගිරියෙ. ඉතින් අපි ඉක්මණටම ඒ දරුවාව දඹුල්ල රෝහලට ඇතුළත් කළා. දරුවා රඟපාන්න වෙන්නෙ නැතිවෙන එක ගැන කිය කියා ඇඬුවා. ඉතින් හොඳම වෛද්‍යවරයාට පෙන්වලා ප්‍රතිකාර කළා. රෝහලේ දරුවා නතර කරලා මම ආයෙත් රූම දරුවා බලන්න රෝහලට ගියා. ඒ වෙලාවේ දරුවාගේ තාත්තා රෝහලෙන් දාපු බැන්ඩේජ් එක ගලවලා පත්තුවක් ගෙනල්ලා ඒක කකුලේ තියලා ගැටගහලා. මට ඒ වෙලාවේ හීන් දාඩිය දැම්මා.
මේ නිර්මාණය දින කීයක් රූපගත කිරීම් කළාද..?
දවස් විසිහතක් රූපගත කිරීම් කළා. සීගිරිය, දඹුල්ල, මොරටුව අපි රූපගත කිරීම් කළා. ඇත්තටම ඒ දවස් විසිහත ඉතාම සුන්දරයි. මීට අවුරුදු දෙකකට කලින් තමයි රෑපගත කිරීම් කළේ. ඒ චිත්‍රපටයට පස්සෙ රෑපගත කිරීම් කරපු ළමා චිත්‍රපට කිහිපයක්ම මේ වෙනකොටත් තිරගත කරලා අවසානයි. සමහරු තාල චිත්‍රපටයක කොපියක් කියලත් කියනවා. ඒත් මේක එහෙම තවත් දෙයක කොපියක් නෙමෙයි. අද කාලේ ඉස්කෝලවල ගුරුවරු වීරයෝ වෙනවා හරි අඩුයි. මට ඉස්කෝලෙ ගුරුවරයා වීරයෙකු කරන්න ඕන වුණා. මට මගේ ගුණතිලක සර්ව ආයෙත් ඉස්කෝලෙකට ගේන්න ඕන වුණා. ඒ උත්සාහය තමයි තාල කියන්නෙ.
තාල සිනමා නිර්මාණයෙන් පසුව තවත් නිර්මාණයක් අධ්‍යක්ෂණය කරන්න ඔබ දැනටමත් සූදානම්ද..?
ඔව්.. මගේ ඊළඟ නිර්මාණය ගැන හිතමිනුයි ඉන්නෙ. තාල නිර්මාණය මගේ තනි උත්සාහයක් නෙමෙයි. මේකට බොහෝ දෙනෙක් උදව් කළා. ඒ හැමෝටම ගොඩාක් ස්තූති කරන්න ඕනෙ. මේක කණ්ඩායමක මහන්සියක්. තාල චිත්‍රපටය මගේ මුල්ම අධ්‍යක්ෂණය. මේ චිත්‍රපටය ඇතුළේ මම අසාර්ථක වුණු තැන් ඇති. චිත්‍රපටයක් කරනවා කියන්නෙ ඉතාම සංකීර්ණ දෙයක්. ලෝකෙ ඉන්න විවිධ මිනිසුන්ට, විවිධ මත තියෙන මිනිසුන්ට දැනෙන්න නිර්මාණයක් හදනවා කියන්නෙ සරල කාරණාවක් නෙමේ. ඒ නිසා මම එහෙම ලොකු දක්ෂයෙක් නෙමේ. නමුත් නිර්මාණයක් කළා.
► Text - Dishani / Pic - Sumudu