2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා

දැහැන

 2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 95

ඒ කළුවර අද කතා නෑ. ඒ රාත්‍රිය අද කතා නෑ. ඒත් ඒ අහස යට ආදරණීය රාත්‍රියක මතකය දිගහැරිලා. සදාකාලික හමුවීම් වගේම සදාකාලික වෙන්වීම් ලෝකේ නෑ. ජීවිතයේ අහම්බ ඕනෑතරම් හමුවෙනවා. වැව් පතුලට මං බයයි. ඒත් වැව් දියට මම හරි ආදරෙයි. පතුල නොදකිනකම් ඒ වැව් දිය අහිංසකයි. ඒ වැව් දියේ හංගපු කතා පිටුවෙන් පිටුව කියවන්න ආයෙත් ගිම්හානයේ දවසක් එනකම් මඟ බලාගෙන ඉන්නවා මම. නොවැරදීම එන්නත් පුළුවන් ඒ අහස යට අපිට අයිති අපේම දවසක් නොඑන්නත් පුළුවන්. දන්නේ කවුද ඊළඟ තත්ත්පරය ජීවිතය වෙනුවෙන් ආදරය වෙනුවෙන් වලංගුද නැද්ද කියලා... අතීත කාමය සහ අනාගත ලෝබත්වය අත්හරින්න පුළුවන් නම් ඔයාට මේ මොහොත තුළ සැනසිල්ල සුවය මුණගැහෙයි. මේ මොහොත තුළ ජීවත් වෙන්නෙ කොහොමද? කෝ එතකොට අනාගතය... ඔයා එහෙම හිතනවද? මේ මොහොත තුළ ඔයා සාර්ථකනම් ඇයි අනාගතය ගැන වද වෙන්නේ... 

ජීවිතය කවදා කොතැනකදී කොයි විදිහට හමුවෙයිද කවුද දන්නෙ? වසන්තයේදී මඟ හැරෙන දෙයක් ගිම්හානයේදී හමුවෙන්න පුළුවන්. කවදාවත් හමුනොවෙන මඟ හැරෙන දේවල් ජීවිතේ තියෙන්නත් පුළුවන්... ජීවිතේ කවදාවත් දෙවිවරු මේ මහපොළොවේදී හමුවෙයි කියලා මට හිතුණෙ නෑ... මේ ගහ කොළ අතර මහා පොළොවේ වියළි නිම්න රසදිය උනන උල්පත් අතර ජීවිතේ සැරිසරන මහා කුරුල්ලෙක්ගේ පියාපත් යට හෙවණ හරි සිහිලසක්. ඒත් ඒ වගේ බර අත්තටු තියෙන කුරුල්ලෝ හැම අහසකම ඉගිල්ලෙන්නේ නෑ...

මනින්න බැරි දුර කොහොමද හිතින් ගණන් හදන්නෙ... අහසට පොළොව කොච්චර දුරද කියලා කවුද දන්නෙ... ජීවිතේ එක අනන්තයක ඉඳන් කියවන මිනිස්සුන්ට ජීවිතේ විනිවිද ගැඹුර සිඹින්න දවසක් කවද්ද එන්නේ... එදාට පුළුවන් මේ වැව් දියවර අස්සෙ හංගපු කතා කියවන්න. ජීවිතේ අත්තටු රිදුණු හැටි කියලා පිරිමදින්න සමාව සහ දයාව අයදින්න.

මට හිතෙනවා ප්‍රේමයෙන් ජීවත්වෙන්න පුළුවන් එකම එක කෙනෙක් එක්ක.. ඒත් මුළු ලෝකයක් එක්ක සාමයෙන් සහ දයාවෙන් ජීවත්වෙන්න පුළුවන්. සුදු වයින් දෙතොල් සිහිලස විඳිද්දී හදවතට ආදරේ උණුසුම දැනෙන රාත්‍රියක මුණගැසීම හරි විරලයි... ඒත් ජීවිතේ ගැන කතා කරන ඒ හැම දවසක්ම ආදරේ ගැන කතාකරන හැම තත්පරයක්ම මේ මොහොත සුන්දර මොහොතක් බවට පරිවර්තනය කරනවා.

ජීවිතය කියන්නේ උල්පතක් 
උනන්න ඉඩදෙන්න.
හොයන්නමත් එපා
මුණගැහෙනකම් බලාගෙන ඉන්න

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00