මේ ජනාකීර්ණ නගරයක්. මේ නගරය පුරාම අහස අල්ලන්න තරග කරන ගොඩනැගිලි අතරේ එකිනෙකට ඇලිලා වගේ තියෙන පොඩි පොඩි ගෙවලුත් පේන්න තියෙනවා. කොළ පාට ගසුත් නැතුවාම නෙවෙයි. මේ නගරයේ ජීවත්වෙන කඩවසම් තරැණයෙක් ඔන්න එකවරම ඉස්සරහට ඇවිල්ලා කතාවක් කියන්න පටන් ගන්නවා.
ජීවිතය හැමෝටම අවස්ථාවක් දෙනවා. ඒත් සමහර මිනිස්සු ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්නේ නැහැ. මේ කතාවත් අන්න ඒ වගේ කෙනෙක් ගැනයි. එයාගේ නම හොමී...
ඩිවායි කියන්නේ රැපර් කෙනෙක්. තරුණ තරුණියන් පිරිසක් වටකරගෙන කොළ පාට ලෝගුවක් වගේ ඔළුවේ ඉඳන් වහගෙන ඉන්න අද අපේ කතාවේ නායකයා ගාවට රුවුල වවාගෙන ඉන්න ටී ෂර්ට් එකකින් සැරසුණු තරුණයෙක් මෙහෙම කියාගෙනම එනවා...
ඔයා තනියම ඇවිල්ලා මට ගොඩාක් දේවල් ඉගැන්නුවා. ඔයාගේ කෙල්ල මගේ රුප් එක අහලා ඕ.. මේ මගේ වර්ගයේ සින්දුවක්නේ. ඔයාගේ ටී ෂර්ට් එක බාල එකක්. මේ හිස්වැස්මත් මගේ. උඹ උඹේ පාරේ පලයන්.
අන්න ඒ වෙලාවේ එතන ඉන්න තරුණයන් පිරිස ඒ තරුණයාගේ පැත්ත අරගෙන එතැනින් එක තරුණයෙක් අහනවා අද අපේ කතානායකගෙන් මෙන්න මෙහෙම...
ඔයාටත් මොකුත් ඒකට කියන්න තියෙනවද?
හැමෝම ඔහුට හිනාවෙද්දී ඔහු රැප් එකෙන් ඔවුන් සියල්ලටම උත්තර දෙනවා.
මේ මෝටර් රථයක සිදුවීමක්. මේ මෝටර් රථයේ තමුන්ගේ මිතුරෙක් එක්ක අපි අද ඔයාට කියන කඩවසම් තරුණයත් කතා කරමින් කොහේදෝ යනවා.
හොමී.. මම හිතුවේ ඔයා ඇත්තටම රැප් මියුසික්වලට කැමතියි කියලනේ.
ඒකට රැප් කියලද කියන්නේ?
මේ බලපන්.. මගේ වාහනය, මගේ සපත්තු, මට බොන්න මේ අරක්කු, කන්න බයිට් හැමදේම හම්බවෙන්නේ ඒවායින්.
මේ ඒ නගරයේම තියෙන නිවසක් තුළ සිදුවීමක්. මේ නිවෙස තුළ හිස ෂෝල් එකකින් වසාගත් සුදු රූමත් කෙල්ලෙක් ඉන්නවා. එයාගේ නම සෆීනා. ඇයව බලන්න මනාලයෙක් තමන්ගේ ඥාතීන් එක්ක ඇවිල්ලා. හැමෝම ඇයගෙන් ප්‍රශ්න අහනවා.
සෆීනා ඔයාට කෑම උයන්න පුළුවන්ද?
සෆීනා - බැහැ.. මට උයන්නනම් බැහැ. ඒත් දවසක මම ඔයාගේ ලිවර් ට්රාන්ස්ප්ලෑන්ට් කරලා දෙන්නම්. (අක්මාව බද්ධ කරලා දෙන්නම්)
ඒක අහලා ඇය ඉදිරියේ ඉන්න මනාලයගේ මවටත් හිනා යනවා. සෆීනා ඇයට ඇහැක් ගහනවා.
මේ ඊට ටික දවසකට පස්සේ සිදුවීමක්. සෆීනා පාරක්, අද අපේ කතාවේ නායකයත් එක්ක ලොකු කතාවකයි ඉන්නේ.
සෆීනා - මගේ බෝයිෆ්‍රෙන්ඩ් එක්ක එයා කුචු කුචු ගෑවම මට එයාට කනට නොගහ බැහැනේ නේද?
ඕ.. ඔයා මහලොකු චණ්ඩියෙක්ද ආ?
සෆීනා - හරි හරි ඒක අමතක කරලා දාන්න. සොරී.. ආපහු එහෙම කරන්නේ නැහැ.
මම පල්ලා දිවුරනවද?
සෆීනා - ඔයා මැරෙයි
මගේ හීනය ඉටුකරගන්න මට ගොඩක් දේවල් කරන්න වෙනවා.
සෆීනා - හිතේ තියෙන ඕනෑම දෙයක් කරගන්න?
මේ කාර්යාලයක සිදුවීමක්. මෙතන තියෙන මේසයක් අසල සුඛෝපභෝගී පුටුවක රැවුල වවාගත් පුද්ගලයෙක් වාඩිවෙලා ඉන්නවා.
ඔයාගේ තාත්තා ඩ්‍රයිවර් කෙනෙක්. වැඩකාරයෙක්ගේ පුතා වැඩකාරයෙක්ම වෙනවා.
මේ මධ්‍ය පාන්තික නිවසක්. සෆීනාගේ බෝයිෆ්‍රෙන්ඩ්, ඔහුගේ සහෝදර සහෝදරියන් සහ ඔහුගේ අම්මාත් මෙතන හිටගෙන ඉන්නවා. ඔහුගේ තාත්තානම් ඉන්නේ ගොඩාක් කේන්තියෙන්.
කොච්චර මම මූට ඉගෙනගන්න සල්ලි වියදම් කරනවද? මේවද ඉගෙන ගන්නේ? මූ විකාර කරන්නේ සල්ලිවලින්. ආපහු පාරක් මම දැක්කොතින් එහෙම හිතාගනින් මම කරන දේ රැපර් වෙන්න.
මටත් කාලයක් ඒවි.
මොකක්ද උඹේ තත්ත්වය?
කවුරුහරි කෙනෙක් කියනවද මම කවුද කියලා.
එයා කවුද, මොනවද වෙන්නේ කියලා ඉදිරි කාලයේදී දැනගන්නනම් වැලන්ටයින් දවසේ, ඒ කිව්වේ පෙබරවාරි 14 වැනිදා වෙනකම් ඔබට මදක් බලාගෙන ඉන්න වෙනවා. මොකද, 2019 පෙබරවාරි 14 වැනිදා තමයි ගලීබෝයි හින්දී සිනමාපටය තිරගත වෙන්නේ. හින්දී සිනමාව තුළ සිටින ශ්‍රේෂ්ඨතම පදරචකයෙක් සහ තිරපිටපත් රචකයෙක් වන ජාවේද් අක්තාර්ගේ දියණිය, සෝයා අක්තාර් තමයි ගලීබෝයි හින්දී සිනමාපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. මේ සිනමාපටය නිෂ්පාදනය කරන්නේ රිටේෂ් සිද්වානි, සෝයා අක්තාර් වගේම සෝයාගේ සහෝදරයා වන ගායකයෙක්, නළුවෙක් වගේම අධ්යක්ෂවරයෙක්, තිරපිටපත් රචකයෙක්, ගීපද රචකයෙක් වගේම නිවේදකයෙක්ද වන ෆර්හාන් අක්තාර්. සෝයා අක්තාර් සහ රීමා කග්ටී විසින් තිරරචනය කරලා තියෙන මේ සිනමාපටයට කතාව ලියා තියෙන්නේ විජේයි මවුරා විසින්. සංගීතවත් නාට්‍ය ක්‍රමයට කියවෙන මේ කතාවේ රූපරාමු බොහොමයක් මුම්බයි කාචගත කරලා තියෙනවා කියලා තමයි කියන්නේ.
දැන් ඔබට කියන්න හදන්නේ රැපර් කෙනෙක් වෙන්න උත්සාහ කරන ඒ තරුණයාගේ චරිතයට පණපොවන ඔහු ගැනයි. 1985 ජූලි 06 වැනිදා ඉන්දියාවේ මහාරාෂ්ට්රා ප්‍රාන්තයේ මුම්බයිවලදී ඉපදුණු ඔහු ඉන්දියන් යුනිවර්සිටි එකෙන් උසස් අධ්‍යාපනය හදාරලා 2010 වසරේ පටන් හින්දී සිනමාවේ නළුවෙක් විදියට ඔබට අපිට දකින්න ඉන්න කෙනෙක්. බොහෝ සම්මාන ප්‍රමාණයක් තමන්ගේ නමට ලියවාගෙන තියෙන මේ කඩවසම් තරුණයා නොබෝදා ලංකාවටත් හොරරහසේම ඇවිල්ලා විවාහ උත්සවයකටත් සහභාගීවෙලා ගිහින් තියෙනවා. මෙන්න මේ සිනමාපටවලින් ඔබ ඔහුව දැකලා තියෙනවා.
Band Baaja Baaraat (2010), Lootera (2013), Gunday (2014), Dil Dhadakne Do (2015), Goliyon Ki Raasleela Ram-Leela (2013), Bajirao Mastani (2015), Padmaavat (2018)
සම්මාන බොහොමයක් තමන්ගේ නමට වෙන්කරගෙන තියෙන ඔහු හින්දී සිනමාවේ ඉන්න සුරූපිණියක් තමන්ගේ ප්‍රිය භාර්යාව කරගත්තා. මේ කියන්නේ වෙන කිසිවෙක් ගැන නෙවෙයි, දීපිකා පදුකෝන් එක්ක විවාහ වුණු රන්වීර් සිං ගැනයි. රන්වීර් සිං තමයි ගලීබෝයි හින්දී සිනමාපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ. ඔහුගේ ප්‍රේමවන්තයන්ගේ චරිතයට පණපොවන්නේ ඉතාම සුරූපිනියක් වගේම දක්ෂ කෙල්ලෙක්. එයා මෙන්න මේ සිනමාපටවලින් ඔබට දකින්න ලැබුණා. ඔබට ඒ කවුද කියලා මතක් වෙනවද බලන්නකෝ.
Student of the Year (2012), 2 States (2014), Humpty Sharma Ki Dulhania (2014), Badrinath Ki Dulhania (2017), Kapoor and Sons (2016), Dear Zindagi (2016), Highway (2014), Udta Punjab (2016), Raazi (2018)
සෆීනගේ චරිතයට පණපොවන්නේ 1993 මාර්තු 15 වැනිදා ඉන්දියාවේ මහාරාෂ්ට්රා ප්‍රාන්තයේ මුම්බයි නගරයේදී ඉපදුණත් බ්‍රිතාන්‍ය පුරවැසියෙක් වන ගායිකාවක් වගේම නිළියක්ද වන ඇයයි. 2012 වසරේ පටන් ඇය හින්දී සිනමාව නියෝජනය කරනවා. ඇය වෙන කිසිවෙක් නෙවෙයි, ජනප්‍රිය හින්දී සිනමාපට අධ්යක්ෂවරයෙක් සහ නිෂ්පාදකයෙක් වන මහේෂ් භාත් සහ සෝනී රස්දාන්ගේ දියණිය ආලියා භාත්. ඇය තමයි සෆීනාගේ චරිතයට පණ දෙන්නේ.
රන්වීර් සිං සහ ආලියා භාත් එක්ක මේ සිනමාපටයේ චරිත හැඩකරන්න මෙන්න මේ කියන නළු නිළි පිරිසත් එකතුවෙලා ඉන්නවා. කල්කී කොච්ලින්, සිද්ධාර්ත් චතුර්වේදී, විජේයි රාස්, විජේයි වර්මා සහ අමෘතා සුභාෂ් තමයි ඒ කට්ටිය. ගලීබෝයි හින්දී සිනමාපටයේ තියෙන සුන්දර ගීත ගැනත් කතා නොකරම බැහැනේ. මනබඳින සුන්දර වචන එකට අමුණලා හිතට දැනෙන්න ඒ ගීපද ලියා තියෙන්නේ ෆර්හාන් අක්තාර්, ජාවේද් අක්තාර් සහ සෝයා අක්තාර් කියලා තමයි කියන්නේ. ස්පිට්ෆිරේ, ඩම් ශර්මා සහ දිවිනේ විසින් සප්ත ස්වරයෙන් හැඩකරලා තියෙන ඒ ගීතවලට පණ දෙන්න තමන්ගේ හඩ මුසුකරලා තියෙන්නේ රන්වීර් සිං, දිවිනේ, නෙක්සස්, රාහුල් රාහි, එමිවේ, ඩී චැප්ටර්, බීට් රෝ, අන්කුර් තිවාරි සහ ඩබ් ශර්මා. මතකනේ ඔබට සින්දගී මිලේගී දොබාරා කියන සිනමාපටය අධ්‍යක්ෂණය කළෙත් සෝයා අක්තාර්. කොහොම වුණත් ප්‍රේමවන්තයන්ගේ දිනයේදී බොහොම සුන්දර සිනමාපටයක් හින්දී සිනමාපටවලට ප්‍රිය කරන ඔබ වෙනුවෙන් දකින්න ලැබෙන බව මතක් කරමින් අදට සමුගන්නම්.
► Translation — Chandana Waravitage