ඉස්සර අපි යූරි ගගාරින්, වැලන්ටිනා තෙරෙස්කෝවා, නීල් ආම්ස්ට්‍රෝන්ග් ගැන කතා කියෙව්වේ ඇස් උඩදාගෙන සුරංගනා කතාන්දර අහගෙන ඉන්නවටත් වඩා උනන්දුවෙන්. පොළොවෙන් මිදිලා උඩු ගුවනට ගියපු මේ මිනිස්සු ඒ වගේ අත්දැකීමක් ලබන්න කොයිතරම් වාසනාවන්ත වෙන්න ඇතිද කියලා ඒ කාලේ ඉඳන් තාමත් හිතෙනවා. හැබැයි කාලෙත් එක්ක උඩු ගුවනට යන එක සාමාන්‍ය දෙයක් බවට පත්වුණා. කොටින්ම ඩොලර් ලක්ෂ ගාණක් තියෙනවා නම් උඩු ගුවනට යන එක අපි ඕන කෙනෙක්ට කරන්න පුළුවන් දෙයක්.
හැබැයි දැන් උඩු ගුවනට යන්න විතරක් නෙමේ උඩු ගුවනේ නැවතිලා ඉන්නත් පුළුවන් විදිහේ අලුත් ව්‍යාපෘතියක් සිද්ධ වෙනවා. ඒ තමයි Aurora Station. කැලිෆෝනියාවේ සමාගමක් නිර්මාණය කරන මේ අජටාකාශ මධ්‍යස්ථානය ඇත්තටම හෝටලයක්. පෘථිවියට උඩින් රඳවලා තියෙන අභ්‍යවකාශ හෝටලයක්.
මේ හෝටලේ සැලසුම් පහුගියදා පළවෙනි වතාවට මාධ්‍යයට නිකුත් කෙරුණා. ඒ සැලසුම්වලට අනුව එක්වර සංචාරකයන් හතරදෙනකුට මෙහි නවාතැන් ගන්න පුළුවන්. ඒ වගේම කාර්ය මණ්ඩලයේ දෙදෙනකුට ඉඩ තියෙනවා.
මෙතැන නැවතිලා ඉද්දි, ගුරුත්වාකර්ෂණයක් නැති තැනක ජීවිතය අත්විඳින්න, පෘථිවියේ සුන්දර දර්ශනය විඳින්න වගේම පෘථිවි කක්ෂය වටා ගමන් කරන්නත් පුළුවන්. මේ හෝටලය විසින් දින 12ක පැකේජයක් තමයි සංචාරකයන්ට ලබාදෙන්නෙ. ඉතින් ඒ කාලය තුළ දවසකට හිරු නැගීම් සහ බැසීම් වාර 16 බැගින් දකින්න පුළුවන්ලු.
හෝටලයේ ප්‍රමාණය දිහා බැලුවොත් ඒක ජෙට් ගුවන් යානයක කැබිනයක ප්‍රමාණයටයි හදලා තියෙන්නෙ. ඒ කියන්නෙ, දිගින් 43.5ක් සහ පළලින් අඩි 14.1ක්. මේකෙ සැකැස්ම ගත්තම ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය ආදර්ශයට ගනිමින් තමයි හදාගෙන යන්නෙ. ඒ වගේම තාක්ෂණය අතින් සහ පහසුකම් අතින් අති නවීන හෝටලයකට නොදෙවෙනි විදිහට තමයි සියල්ල සිද්ධ කෙරෙන්නෙ.
කොහොම වුණත් මේ සුපිරි අභ්‍යවකාශ හෝටලේ නවාතැන් ගන්න එක්කෙනකුට ඩොලර් මිලියන දහයකට ආසන්න මුදලක් වැය වෙනවා. ඒ කියන්නේ රුපියල් කෝටි 180ක් විතර. ඉතින් උඩුගුවනේ හැදෙන මේ හෝටලේ, තමන්ගේ පළමු ප්‍රකෝටිපති සංචාරකයා පිළිගන්න සූදානමින් සිටින්නෙ 2022දීයි. ඒ වෙද්දි කෝටි 180ක් 200ක් හොයාගත්තොත් ඔයාලටත් මේ අපූරු හෝටලේ නවතින්න පුළුවන්.
► Text - Suranga