2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා

වඩින තුරු සඳ  දුරින් ඉන්නම් 

 2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 294

සර්... එකම එක දවසක් දෙන්න මට... මහා බර පොත් පැත්තක තියලා ජීවිතේ ගැන කතා කරන්න... සර් අකුරුවලින් විතරක්ම නෙවෙයි කතා කරන්නෙ මම... අකුරුවලින් විතරක්ම නෙවෙයි ලියන්නෙ මම. කොහේ ඉපදෙනවද බිඳෙනවද පැළවෙනවද කියලා නොදන්න මහා සිතුවිලි සාගරයක් මහෝඝයක් වී රළ නගන හැටි... හිස් අවකාශයේ හැමතැනම රළ නගන ඒ කවි පද... සර් හන්තාන කඳු මුදුනෙ ඉඳන් අහසට සැතපුම් කීයක් දුරද ඇහුවොත් සර් ළඟ තියෙනවද මට දෙන්න උත්තරයක්... සර් කියයි ඒ දුරත් අනන්තයක් කියලා... සර් අනන්තයත් මට සැතපුමක් ඔබ ගාව... ඉතින් ඇයි මගෙන් තවත් නිර්වචන ඉල්ලන්නෙ ප්‍රේමයට... පුරසඳ අඩ සඳක් වී වඩින දා අහසට මම ආසයි ඔබ ළඟ දැවටි දැවටි ජීවිතේ පාර දිගේ ලෝකාන්තය හොයාගෙන ඇවිදින්න... සර් පුරසඳ අඩ සඳක් වෙද්දී කෝ ඇස් දෙකෙන් හැංගෙන හඳේ ඉතිරි සඳ පළුව අහසෙ කොහේද කියලා වලාකුළු අස්සෙන් ඇවිද ඇවිද හොයන්න... ආසයි මම ඔබත් එක්ක... මේ සරසවි බිමට අකුරු ඇහිදින්න ආව ඉස්සරෝම දවස මට හිතෙන්නෙ සර් දැක්ක මුල්ම දවස කියලා... මම ආසම ළා නිල් පාට අත්කොට කමිසයක් ඇඳලා මගේ ඉස්සරහට ආව ඒ දේහධාරී  රූපකාය ඇතුළෙ තිබුණේ අමුතු හදවතක්... ඒ හද දෑල එක්පසක් මහා කළු ගලක් වගේ... කළුගල් හයිය තරමටම හරිම සියුමැලියි... යටින් දිය සීරා ගලාගෙන යනවා... ඉසියුම් කැටයම් නෙලන්නෙත් ඒ කළුගල් මත... හද දෑල අනික්පස මම ජීවිතේ කියවපු ලස්සනම කවිය... ප්‍රේමණීයම කවිය ලියපු සුයාමයේ කැටපත් පවුර... සර් මගේ ජීවිතේ මහා ගහක් නම් ඒ ගහේ මුදුන්මුල දිවෙන්නේ සංසාරේ කොච්චර දුරකටද මේ ප්‍රේමයේ මුදුන්මුලත් එතන... තවත් කොහොම කියන්නද මම මගේ ප්‍රේමයේ තරම මෙතෙකැයි ඔබට... අවසඟව ගියත් ඔබ ඒ ප්‍රේමය අස... මලක් සේ දෝතට නෙලනු බැරි හන්තාන අඩවියේ පීදුණු සිහිනය ළඟ මං තනියම අඬනවා සර් 

බලා වැළපෙමි නෙලාගනු බැරි 
හන්තාන සිහිනේ 
වරංගනා... මගේ සිසුවිය මම ඔබට මෙසේ කියමි.

නොහඬනු මැනව... ඔය ඇස් අග කඳුළු කැට දරා හිනැහෙනු මැනව... හදවතේ මා වෙනුවෙන් ඉපදුණු සිහින ප්‍රේමයේ පිපුණු කුසුම් දෝවනය කර හදවත හිස්තැනක් කරගන්න... එපා මට නවාතැන් ඔය යොවුන් සෙනසුණේ... මේ හන්තාන ආරණ්‍යයේ මහා රුක් යට ඔබ ශිල්පයේ භාවනාව වඩනු මැනව හෙට ජීවිතය හොයාගෙන ඇවිදින්න පාරක් සොයනු පිණිස... සංසාර සිහිනයක් ගොතන්න ඔබ මේ හන්තාන ආරණ්‍යයේ මහා සිහිලැල් ගසක් යට නැවතී... රුවැත්තියේ ගිම් නිවන්න ජීවිතේ යස උරහිසක් හමුවේවි නිසැකයෙන්ම... හන්තාන අඩවියේ මහා කන්දට ඉහළින් සඳක අසිරිය විඳගන්න ඔබ කියවන සොඳුරු හදවත් නැතුවාම නෙවෙයි... බලාගෙන ඉන්න ඉතින්... අතනෑර අත අල්ලා ගන්නකම් 

දරා නෙත් අග 
දොවා සිත් මල 
ගොතනු මැන ළඳුනේ 
සංසාර සිහිනේ 

සර්... ආසයි මට දවසක පොළොන්නරැවේ අනුරාධපුරයේ ගල්කැටයම් අතරේ තනිවෙන්න... කාට කියන්නද මං මගේ හිත... කවුරු අහන්නද මගේ හිත... ඒ ගල්කණු අහන් ඉඳියි... ඒ කණු ගල් වුණේ මහා ඉතිහාසයක් පුරා ඒ කණු යටට වී මිනිස්සු කීව මහා දිග දුක් කතාන්දර අහගෙන ඉඳලමද කියලා මට හිතෙනවා සර්... සර් දම්පාට අහසට වැහිළිහිණින් ඉගිල්ලෙන්න එද්දී දන්නවා මම අහස ගයන්නේ එදාට වැහි පිරිතක මහා සන්ධවනිය කියලා... මට ආසයි ඉතින් අනේ ඒ වැස්සක තෙමෙන්න ඔබත් එක්ක වියළි පොළවකට වහින වැස්ස කොච්චර වටිනවද කියලා වචන වලින් කියන්නේ කොහොමද මං ... හීගඩු පිපෙද්දී වාන් දමන සීතලේ ඔය පපුවට තුරුළු වෙන්න ආසයි ඒ වැස්සෙදී ... ජීවිතය කියන මේ මහා රඟමඬලේ ප්‍රේමයේ ගීතිකාව ගයන්න ආසයි මං ඔබේ දෑතට තුරුලු වෙන්නට... ඇයි ඔබට නොවැටහෙන්නේ නොදැනෙන්නේ ප්‍රේමය... ඒ තමා සර් ජීවිතේ හුස්ම... මම හොයන්නෙ හුස්මක් වැටෙන ජීවිතයක් සර්... අහන්න දැන්වත් ඉතින් ඔබ... හිතන්නෙ කොහොමද මං සර්  කියන්නෙත් මේ මහා ගල්කණුවක් කියලා 

වැහි පබළු යට 
රඟමඬල මැද 
ඔබේ දෑතේ 
තුරුලු වෙන්නට 

වරංගනා නොඑනු මැන ළඳුනේ... මගේ ලෝකයට නොඑනු මැන ළඳුනේ... හැර ගියත් ඈ තවම මගේ ළඟ... මගේ ප්‍රේමරාජ්‍යයේ බිසෝවුන් වහන්සේ තාමත් ඇය... පෙම් නොකරයිනම් තවමත් මම ඇයට කියාවිද මගේ බිසෝයැයි මම ඇයට... කොහොමද වරංගනා නුඹේ පෙම් හිත ළඟ මුසාබස් ගොතන්නේ මම... ඇයට මම ආදරෙයි තවම... ආදරේ කියන්නේ හැර ගියත් අත්හැරෙන දෙයක් නෙවෙයි... ළඟ නැතත් හැර නොයන දෙයක් වරංගනා... මගේ ජීවිතයට අයිති අතීතය කියන පාළු සොහොන් බිමේ මාත් එක්ක ඇවිදින්න එන්න කියලා කොහොමද අත දිගු කරන්නේ මම... මගේ ජීවිතය ළසෝගිනි ඇවිලෙන රඟහලක්. අමාවක අන්ධකාරය ඇරෙන්න ඔබට සිහිලක් දෙන්න දියවරක් එළියක් දෙන්න සඳවරක් ඒ ළසෝ රඟහලේ කොතනකවත් නෑ වරංගනා... ඒ අඳුර විඳවන්න ඒ ගින්දරේ දැවෙන්න එන්න එපා ඔබ මගේ ලෝකයට 

බිසෝ හැරගිය 
ළසෝ රඟහල 
අමාවක අඳුරේ 
නොඑනු මැන ළඳුනේ 

සර්... මං බලා හිඳින්නම්... කවදාහරි ඔබ එතැයි මං බලා හිඳින්නම්... මගේ හීන කන්දට මුදුනින් පුරසඳ මෝදු වෙනකම් මම බලා හිඳින්නම්... ප්‍රේමය කියන්නේ අයිතියට නෙවෙයි සර්... ජීවිතය කියන ගිරි ශිඛරයට ඉහළින් දෙවියෙක් වී වැඩ ඉන්න එකට... ඒ දේවත්වයේ අනුහසින් හදවත් කියවන එකට ඔබ සඳක් වී වඩින්න හැකි දවසක වඩින්න මගේ ජීවිතය කියන මහා කන්ද මුදුනේ ඉඳන් බලද්දී මට දකින්න හැකි ඉසව්වකට... නෙලාගන්න බැරිනම් ඒ සඳ දෝතට ඒත් මං බලා හිඳින්නම්... අමාවක අඳුරින් පිරිච්ච ඔබේ ලෝකයට සඳ එළිය ගලන දවසක් එනකම් බලා ඉන්නත් පුළුවන් මට... අඳුර සේදුණු දවසක දීප්තිය නොවේද ඔබේ ලෝකයේ අයිතිකාරයා... ඒ දවසට අපි ඉඩ දෙමු එහෙනම්... අවසරයි මට ඒ දවස සපැමිණෙන තුරු බලා ඉන්නට... ඔබ අතින් ලියවෙන කවියක ගීයක මිහිරත් එක්ක ජීවිතය එතෙක් විඳින්නම් මම... සර් මතකද මම සර්ව දැක්ක ඉස්සරෝම දවසේ සර් හිටියේ මොනවදෝ කන ගමන්... සර් මට කතා කරන්න ආවේ ඉඳුල් තැවරුණු  අත ගුලි කරගෙන... සර් ජීවිතේ මට හමුවුණු අප්‍රමාණ හදවත මම කියවපු පළමුවැනි තත්ත්පරය තමයි ඒ... මේ හන්තාන අඩවියේ සරසවි ක්ෂේමභූමියේ පැළවෙච්ච සාර මහා ගස් අතරේ අහස සිඹින ඉහළකට එසවෙච්ච ගහ ඔබ කියලා හිතෙනවා මට... මම ඒ ගහ පාමුල පුංචි ළපල්ලක් සාර සිප් සොයා වෙහෙසෙන... ඒත් ඒ පුංචි ළපල්ල මේ මහා ගහට අප්‍රමාණ ආදරෙයි සර්. 

වඩින තුරු සඳ 
දුරින් ඉන්නම් 
තරු ඇදුරු පෙම් 
ගී අහන්නම් 

වරංගනා... ඔබ කවියක්... ඒත් ඒ කවිය කියවන්න මගේ ඉරණමේ ඉඩහසරක් හොයන්න බෑ මට... මොහොතක් මොහොතක් ගාණේ හැමදේම වෙනස් වෙනවා... දන්නෙ නෑ වරංගනා මගේ බිසවට අයිති හදවත මතු යම් දවසක ඇගේ ප්‍රාණ භුක්තියට යටත් වූ අයිතියකින් ඔබ සන්තක වෙන දවසක් ඒවිද නොඑවිද කියලා... ඔබට හැකිනම් බලා හිඳින්න... නොඑසේනම් ඔබ හැරී යන්න. ඒත් සොඳුරු සඳ දිය දිගේ එන්නම් මම... එන්න හැකි වුණොත් මට... ඔබත් ඉන්න - ඉන්න හැකි වුණොත් ඔබට... ගීතය කවිය කලාව ඒ තමා මගේ ලෝකයේ ප්‍රේමය... උපත ජීවිතය ජීවත්වීම හා මරණය මට උගන්වන මහා දර්ශනය කියන්නේ ඒ කලාව... ඔබේ ලෝකෙට මම ඒ සොඳුරු සඳ දිය කළ දියවරේ එන්නම් තව්සෙකු වෙසින් හිස්තැන් තරණය කරන්නට මේ ජීවන ළසෝ රඟහලේ... ඔබ ඉන්න මේ හන්තාන ආරණ්‍යයේ...

සොඳුරු ඒ සඳ 
දියේ එන්නම් 
ඉඳිනු මැන සොඳුරේ 
හන්තාන අරණේ 

 

► දන්ත ශල්‍ය වෛද්‍ය අසේල විජේසුන්දර

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00