2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා

රැජනක් වුණත් හිස්තැන් ගොඩයි

 2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 72

අපි කවුරුත් වයස අවුරුදු පහ හය වෙද්දි පාසල් යන්න පටන් ගන්නවා. මේ පාසල් ගමන ඉවර වෙන්නේ අවුරුදු දොළහකට දහතුනකට පස්සෙයි. හැබැයි බ්‍රිතාන්‍ය රැජන කිසිමදාක ඉස්කෝලෙ ගිහින් නැහැ. දැන්නම් බ්‍රිතාන්‍ය රාජකීයයෝ ඉස්කෝලෙ යනවා, සාමාන්‍ය ළමයි එක්ක ගැවසෙනවා වුණාට, දෙවැනි එළිසබෙත් රැජනත් ඇගේ සොයුරිය මාග්‍රට් කුමරියත් ඉගෙන ගත්තේ ගෙදරට ගෙන්වපු ගුරුවරුන්ගෙනුයි. මේ කුමාරිකාවන් ව්‍යවස්ථා ඉතිහාසය සහ නීතිය වගේ තමන්ට ඉදිරියේදී වැදගත් වන විෂයන් වැඩිපුර හැදෑරූ බවත් අහන්න ලැබෙනවා. හැබැයි ඉතින් ඉස්කෝලේ නොගිය නිසා රැජනට කවදාවත් ඉස්කෝලේ යාළුවෝ කියලා පිරිසක් හිටියෙත් නැහැ. 

තව දෙයක් තමයි බ්‍රිතාන්‍ය රාජකීයයන් පාස්පොට්, රියැදුරැ බලපත්‍ර වගේ දේවල් ඉබේම ලැබෙනවා. දෙවැනි ලෝක යුද්ධ කාලෙ ට්‍රක් රථ රියැදුරෙකු විදිහට ස්වේච්ඡා සේවයේ යෙදුණත් දෙවැනි එළිසබෙත් රුජන කිසිදාක රියැදුරු පරීක්ෂණයකට ඒ කියන්නේ ඩ්‍රයිවින් ටෙස්ට් එකකට මුහුණ දීලා නෑ. වයස අවුරුදු අනූ දෙකක් වන රැජන තවමත් ඉඳහිට තමන්ගේ ලෑන්ඩ් රෝවර් රථය පැදගෙන එහා මෙහා යනවා. 

ඒ විතරක් නෙමේ, බ්‍රිතාන්‍ය රුජන කවදාවත් ආදරවන්තියක් ලෙස කාලය ගතකරලා නැහැ. ඈට පිලිප් කුමාරයාව හමුවන්නේ තමන් වයස දහඅටවත් සම්පූර්ණ නොවුණු කාලයකදීයි. හැබැයි රුජන වයසෙන් බාල වුණු නිසා දෙදෙනාට ආදරවන්තයින් ලෙස ප්‍රකාශ කිරීමට සිද්ධ වුණේ රුජනගේ වයස අවුරුදු විසි එක සම්පූර්ණ වුණාට පසුවයි. 

ඡන්දය කියන්නේ අපි හැමෝටම තියෙන අයිතියක්. හැබැයි බ්‍රිතාන්‍ය රැජන කවදාවත් ඒ අයිතිය පාවිච්චි කරලා නැහැ. ඒ සඳහා ඈට නීතියෙන් බාධාවක් නැති වුණත් රාජ්‍ය නායිකාව විදිහට දේශපාලන කටයුතුවලදී පක්ෂග්‍රාහී වීම ඈට අකැපයි. කොහොම වුණත් බ්‍රිතාන්‍ය අගමැතිවරයා සතියකට සැරයක් රුජන මුණගැහිලා අලුත් දේශපාලන තොරතුරු ඈට වාර්තා කිරීමේ සම්ප්‍රදායක් පවතිනවා. 

අනිත් ප්‍රධාන කරුණ තමයි රැජන කවදාවත් රස්සාවක් කරලා නැහැ. උදේ 9 ඉඳන් හවස 5 වෙනකල් කරන මේ වගේ රස්සාවක් රැජනට මොකටද කියලත් සමහරු ප්‍රශ්න කරන්න පුළුවන්. හැබැයි අපි ගොඩක් දෙනෙක් අත්විඳින ඒ අත්දැකීමත් රැජනට මඟහැරිලා ගිහින් තියෙන බව කියන්න ඕනෙ. 

රජ පවුලේ සමහර සාමාජිකයන් ෆේස්බුක්, ට්විටර් වගේ සමාජ මාධ්‍ය පාවිච්චි කළාට රැජනට කවදාවත් ෆේස්බුක් වගේ සමාජ ජාල ගිණුමක් තිබිලා නැහැ. හැබැයි රහසිගත ගිණුමක් පවත්වාගෙන යනවාද කියලා තාම හොයාගෙනත් නෑ. 

 Mirror.uk.co ඇසුරෙන්  

► Text - Suranga

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00