2019 පෙබරවාරි 16 වන සෙනසුරාදා

දෙවැනි මනමාලි රස්සාවේ මාර කොන්ත්‍රාත්...

 2019 පෙබරවාරි 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 156

විවාහ මංගලෝත්සවය කියන්නේ ඕනෑම කෙනෙක්ගේ ජීවිතේ තියෙන සුන්දරම අවස්ථාවක්. ඒක පිරිමින්ට වඩා කාන්තාවන්ට තවත් විශේෂයි. මොකද පිරිමි පාර්ශ්වය වගේ නෙමෙයි, කාන්තාවක්, තරුණියක් තමන්ගේ විවාහ මංගල්‍යය ගැන හිතන්න තීන්දු තීරණ ගන්න පටන් ගන්නේ පොඩි කාලේ ඉඳන්මයි.

ඉතින් විවාහ මංගල්‍යයේදී මනාලියට තමන්ගේ දෙවැනි මනාලිය තෝරගන්න එකත් ලොකු තීරණයක්. ඒ තැන සාමාන්‍යයෙන් හම්බවෙන්නේ මනාලියගේ හොඳම යෙහෙළියකටයි. හැබැයි බ්‍රිතාන්‍ය ජාතික ටිෆ්නි රයිට් කියන්නේ වෘත්තීමය දෙවැනි මනාලියක්. ඔව් දෙවැනි මනාලියක් ලෙස විවාහ මංගලෝත්සවවලට සහභාගී වීම තමයි ඇගේ රස්සාව. 

2016 අවුරුද්දෙදි ටිෆ්නි මේ විදිහේ රස්සාවකට යොමුවෙන්නේ විවාහ මංගල්‍යය රැසකට සහභාගී වීමෙන් ලබපු අත්දැකීම් අනුවයි. මේ රස්සාව පටන්ගන්න කලින් මම අවුරුදු දෙකක් තුළ විවාහ 17කට සහභාගී වුණා. ඒ හැම එකකදීම ආතතියෙන් පෙළෙන මනාලියක් තමයි මට දකින්න ලැබුණේ. ඉතින් මනාලියගේ ආතතිය දුරුකරන විදිහේ දෙවැනි මනාලියක් වෙන්න ඕන කියලා මට හිතුණා. ඈ එහෙම කියනවා. 

ඇය ගෙවුණු අවුරුදු දෙකක කාලය තුළ අවස්ථා 150කට වැඩි සංඛ්‍යාවක දෙවැනි මනාලිය ලෙස කටයුතු කරලා තියෙනවා. එක් විවාහ මංගල්‍යයක් සඳහා ඈ සාමාන්‍යයෙන් පවුම් 5,000ක විතර මුදලක් අය කරනවා. ඒ වගේම විවාහ මංගල්‍යවලදී ලැබුණු ගවුම්වලිනුත් ඇගේ අල්මාරි පිරී ඉතිරී ගිහින්. 

මේ විවාහ මංගලෝත්සවවලදී ඈට විවිධාකාර ගති ලක්ෂණ තියෙන මනාලියන් මුණගැසී තිබෙනවා. සමහර මනාලියන් මඟුල් ඇඳුම පවා ඇඳලා පරීක්ෂා කරන්න තියෙන කම්මැලිකමට ඒක පරීක්ෂා කරන්න දීලා තියෙන්නේත් ටිෆ්නිටයි. තවත් මනාලියක් මංගල්‍යයට කලින් මනාලයා තමන්ගේ යාළුවොත් එක්ක විනෝද වෙන්න කියලා යොදාගත්තු තනිකඩයින්ගේ පාටියට ටිෆ්නිව හොරෙන් යවලා. ඒ මනාලයා මොනවා හරි වැරදි වැඩක් කරනවද කියලා බලලා මනාලියට රපෝර්තු කරන්නයි. හැබැයි වෙලාවට මනාලයා කිසිම අවුල් වැඩකට පැටලිලා නැහැ. 

මේ ගොඩක් මංගලෝත්සවවලදී මනාලියවත් මනාලයාවත් ටිෆ්නි වෘත්තීය දෙවැනි මනාලියක් කියන බව හෙළිදරව් කරන්නේ නැහැ. “හැබැයි මනාලයායි මනාලියයි ටිකකින් දෙකක් දාගත්තට පස්සෙ හැමෝටම මම කවුද කියලා අඳුන්වලා දෙනවා” ටිෆ්නි කියන්නේ හිනැහෙමින්. 

තවත් වතාවකදී එක් මනාලියක් මංගලෝත්සවයට පැමිණ සිටි එක්තරා යුවලකගේ ඡායාරූප ගැනීමෙන් වැළකී සිටින ලෙසට ඡායාරූප ශිල්පියාට දන්වන ලෙසට ටිෆ්නිට පවසා තිබෙනවා. අදාළ යුවල ඉතා ආකර්ෂණීය පෙනුමකින් යුත් යුවලක් වීම නිසා විවාහ දිනයේ තමන්ට ලැබිය යුතු ආකර්ෂණය හා අවධානය ඔවුන්ට යොමුවේවි යැයි බියෙන් එම මනාලිය එවැනි තීරණයක් ගත් බව ටිෆ්නි පවසනවා. 

“මේ රස්සාව ටිකක් දුෂ්කරයි තමයි. විශේෂයෙන්ම සමහර මනාලියෝ හරිම අමාරුකාරියෝ. හැබැයි මේකට මම ගොඩක් ආසයි. මීට වඩා හොඳ රස්සාවක් ගැන මට හිතන්න අමාරුයි” ඈ කියනවා. 

ඩේලිමේල් ඇසුරෙනි

► Text - Suranga