තෝමස් අල්වා එඩිසන් කියන මහා විද්‍යාඥයා ගැන අපූරු කතාවක් ඇහුවා. තෝමස් ඉස්කෝලේ යන කාලෙ දවසක් එයාගේ පාසලෙන් එයාගේ අතේ ලියුමක් එව්වා මේ ලියුම ඔයාගේ අම්මට දෙන්න කියලා. ලියුම කියවපු අම්මා හුඟක් වෙලා ඇඩුවා.
ඇයි අම්මා අඬන්නේ.. මොනවද ලියුමේ තියෙන්නේ..
පුතා අනිත් දරුවන්ට වඩා හුඟක් දක්ෂ දරුවෙක්ලු.. ඔයා ඒ ළමයින්ට වඩා හුඟක් ඉදිරියෙන් ඉන්න දරුවෙක් නිසා ඔයාට උගන්වන්න ගුරුවරුන්ට අපහසුයිලු.. ඒ නිසා ඔයාට ගෙදරට ගුරුවරු ගෙනල්ලා උගන්වන්නලු.
මට ඔය ලියුම බලන්න දෙන්න අම්මා
නෑ ඔයා ඒ ලියුම බලන්න ඕන නෑ.. පුතා ආය ඉස්කෝලේ යන්නේ නෑ.. මම ගුරුවරු ගෙදරට ගේන්නම්.
ගුරුවරු ගෙදරට ගෙනැවිත් උගන්වන්නට තෝමස්ගේ අම්මාට වත්කම් නොතිබුණත් ඈ තම දරුවා වෙනුවෙන් යුතුකම් සියල්ල නොපිරිහෙලා ඉටුකළේ ගේ දොර වියදම් ඉතා අරපිරිමැස්මෙන් කරමින් මුදල් ඉතිරි කරගනිමිනි. ඒ දරුවා ලෝකයේ මහා විද්‍යාඥයෙක් බවට පත්කිරීමේ මඟ හසර හදන්නට උර දුන්නේ ඒ ආදරණීය අම්මාය.
ඒ අම්මා මේ ලෝකය හැරගොස් කාලයක් ගතවෙද්දී අම්මා හැර ගිය දවසක් සමරද්දී තෝමස්ට පාසල් වියේදී ගුරුවරිය අම්මා වෙත එවූ ලිපිය අහම්බෙන් මතකයට නැගුණේය. කිසිදා නොකියවූ ඒ ලියුම කියවන්නට තෝමස්ට ආසාවක් ඉපදුණි. ඔහු සෑහෙන වෙලාවක් වැය කර අම්මා සඟවා තිබූ ලියුම සොයාගත්තේය.
ඔබේ පුතා තෝමස් අල්වා එඩිසන් ඉතාමත් අදක්ෂ පන්තියේ සිටින මෝඩම ශිෂ්‍යා. ඔහුගේ හැසිරීම් අනිත් ශිෂ්‍යන්ට හරි කරදරයක්. ඒ නිසා හෙට සිට දරුවා පාසලට එවන්න එපා. එව්වොත් ඔහුගේ නොමනා හැසිරීම් නිසා ඔහු පොලීසියට බාර දෙන්න අපට සිදුවෙයි.
තෝමස් මීට අවුරුදු ගණනකට පෙර පාසලෙන් එවූ ලිපිය අම්මා තමන්ට කියූවේ කොයිතරම් වෙනස් විදිහකටද කියලා තෝමස් කල්පනා කළා. ඒ තමා අම්මා. ඒ තමා අම්මගේ ආදරය. ඒ තමා අම්මගේ ප්‍රඥාව. සොබාදහමේ නියමයට එකඟව ළය ලෙය කිරිවුණු පලියට ගර්භාෂය යුක්තානුවකට තිඹිරි ගෙයක් කළ පලියට ගැහැනියකට අම්මා කෙනෙක් වෙන්න බෑ. හුදෙක් මවු ගුණය කියන්නේ දරුවන් වැදීමටවත් ළය ලෙය කිරට හැරවීමටවත් නෙවෙයි. එය ඉන් එහා ගිය මහා උත්තරීතරත්වයක්. තමන්ගේ කුසින් බිහි නොකරන දරුවන්ට අම්මලා වෙන ගැහැනියක් සහ තමන්ගේ ලෙයින් ජාතක නොකරන දරුවකුට සැබෑ පියෙක් වන තාත්තා කෙනෙක් දරුවන් ජාතක කරන පියවරුන්ට දරුවන් කුස මඬල දරන අම්මා කෙනකුට වඩා හුඟක් උත්තරීතරයි. නාමික පියවරුන් සහ නාමික මව්වරුන් අතර ඒ මව්පියවරු මම දකින්නේ මනුෂ්‍ය වේශයක් ඉල්ලගෙන මේ ලෝකයට ආව දෙවිවරු විදිහට. ඒ පිය ගුණ ඒ මව් ගුණ තියෙන සැමියෙක් බිරිඳක් හමුවීම කියන්නේ මට හිතෙන්නේ සංසාර පුණ්‍ය කර්මයක්. ජීවිතය කියන කටු අත්ත මල් පල දරන මහා ගසක් බවට පරිවර්තනය කරන්න පුළුවන් එවන් හමුවීමකට. ඒත් මේ ලෝකයේ ඒ වගේ වාසනාවන්තයන් කීදෙනක් ඉන්නවද කියලා කියන්න කවුද දන්නේ.. ජීවිතය කියන්නේ ඉල්ලන හැමදේම දෙන කප්රුකක්නම්.. සුරබි දෙනක්නම්.. අපි කවුරැත් අඬන්නේ නෑ අද.. ඒත් ජීවිතය කියන්නේ සොඳුරු වෙහෙසක්ම මිස අන් කවරක්ද?