2019 පෙබරවාරි 23 වන සෙනසුරාදා

තුම්පනේ නෙවෙයි නම් මාරුවෙන්න සර්

 2019 පෙබරවාරි 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 162

අපේ ප්‍රවීණ කලා ශිල්පියෙක් ළඟදී ගියාලු බොරැල්ල පැත්තෙ ප්‍රසිද්ධ සුවිසල් වෙළෙඳ සංකීර්ණෙකට.
ඔන්න ඒ වැඩේ ඉවර කරලා එළියට ඇවිත් කල්පනා කළාලු, ටවුන්හෝල් පැත්තෙ තියෙන ඒ වගේම වෙළෙඳ සංකීර්ණෙකට යන්න. කොළඹ එනකොට මේ ශිල්පියා තමන්ගෙ වාහනේ එන්නෙ නැහැ. දැන් බොරැල්ල සුවිසල් වෙළෙඳ සංකීර්ණයෙන් එළියට බැස්ස ගමන් ත්‍රීවිල් රියදුරෙක් සිනාමුසු මුහුණින් ඇහුවලු, කොහෙට යන්නද ඕනෙ කියලා.

මෙයා ටවුන්හෝල් අර ප්‍රසිද්ධ වෙළෙඳ සංකීර්ණයේ නම කිව්වලු. වැඩිම වුණොත් එතෙන්ට දුර කිලෝමීටර් 2 ½ක්ලු.
මෙන්න ත්‍රීවිල් පොර රුපියල් 400ක් ඉල්ලුවලු. මීටර් නැහැ.

කලා ශිල්පියා එකපාරටම ඇහුවලු අපි තුම්පනේ කියලා හිතුවද? කියලා.
තුම්පනේ නෙවෙයි නම් මෙතනින් මාරුවෙන්න සර් කියලා ත්‍රීවිල් රියදුරාත් පට්ගාලා කිව්වලු.
කේන්තියට වඩා ලජ්ජාවට පත්වෙච්ච කලා ශිල්පියා එතනින් මාරු වුණාලු.

 

සෙල්ෆි කට්ට

මේ ලෝකෙ කිසිම කෙනෙක් එක සමාන නැහැනෙ. සමහරු උසයි, සමහරු මිටියි. කෙට්ටුයි, මහතයි, තලඑලළුයි, සුදුයි. ඒත් ඒවා විහිලුවට භාජනය කරන එකනම් හොඳ දෙයක් නෙවෙයි. 
මෑතකදී පැවති උත්සවයකට සහභාගි වූ නැටුම් සිසුන් පිරිසක් අතර සිදුවූ සුහද කතාබහක් අපට ඇහුණෙ මේ විදිහට. මෙය හුදෙක් විනෝදයට පළකරන එකක් බවත් සැලකිය යුතුයි.

උඹ දැක්කද අර කෙල්ලගෙ සෙල්ෆි කට්ට fb එකේ..? 

සෙල්ෆි කට්ට.. කාගෙද?
අරයගෙ..
ආ ඔව් ඔව්.. කොහොමද කටු බොඩිය...
ඔව් බං පාන් කාලක් කන්න ඇඟේ මස් කෑල්ලක් නැහැ, ඒ වුණාට කොහොමද සෙල්ෆියේ බර?

 

මුල මතකම නෑලු

නළුවෙක් වෙන්න, නිළියක් වෙන්න පෙරුම් පුරන තරුණ කට්ටිය අපි ඕන තරම් දැකලා තියෙනවනෙ. ඒ වගේ කතන්දර කොච්චරක්නම් අහලා තියෙනවද?
අද රංගන ක්ෂේත්‍රයේ ජනප්‍රියතම තරු තරුණ කාලෙ රඟපෑමේ පිස්සුවකින් පෙළෙන්න ඇති. එහෙම පිස්සුවක් නැත්නම් කලාකරුවෙක් වෙන්න බැහැයි කියලත් සමහරු කියනවා.

ඒ වුණාට නළුවෙක් වෙන්න කට්ට කාපු අතීතය ගැන සමහරැ ආඩම්බරෙන් කතා කළාට සමහරුනම් තැනකට ආවම ඒ අතීතය පරිච්ඡේද පිටින්ම අමතක කරලා තියෙනවා.
ඔන්න ඔය වගේ කට්ට කාපු සමහර කලාකරුවො දැන් හැසිරෙන්නෙ හරියට අහසින් කඩාවැටුණු තරු වගේ කියලා එක්තරා නිෂ්පාදකවරයෙක් ළඟදී මැසිවිලි නැගුවා.
මේ වගේ අතීතය අමතක කළ සමහර තරු නාට්‍යයකට, චිත්‍රපටයකට තෝරාගත්තම මුළු නිෂ්පාදක කණ්ඩායමම අමාරුවෙ දානවලු.

අධ්‍යක්ෂකවරයා මාරුකරන්න කියනවලු, කලා අධ්‍යක්ෂක මාරුකරන්න කියනවලු, සහාය අධ්‍යක්ෂකවරයා මාරුකරන්න කියනවා. සල්ලි යට කරන නිෂ්පාදකවරයා විතරක් බේරෙනවා.

 

► Text - Mithra