ගී පද රචනය - සමන් අතාවුද හෙට්ටි
සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය - සුනිල් එදිරිසිංහ
මේ මහා විශ්වයේ ඇරඹුම කොතැනද? එදා ඒ පළමු තත්ත්පරයේ පටන් ලෝකය නැගූ පැනයක් ලෙස හැඟේ මට.
කවුරුන්ද ඔබ මගේ
කවුරුන්ද මා ඔබේ
මට මාත් එක්කම කතා කරන්න ඕනෑ... මම ලෝකයත් එක්ක කොච්චර කතා කරනවද? ඒත් මම කවදාවත් මාත් එක්ක කතා කරනවද? මම ලෝකය කියන දේවල් කොච්චර අහගෙන ඉන්නවද? ඒත් මම කවදාවත් මම කියන දේවල් අහගෙන ඉන්නවද? මම ලෝකයේ සතුට වෙනුවෙන් කොච්චර දේවල් දන් දීලා තියෙනවද? ඒත් මම මගේ සතුට වෙනුවෙන් මට දුන්නේ මොනවද? මම ලෝකයට කොච්චර ආදරය කරලා තියෙනවද? කොච්චර ආදරය කරනවද? ඒත් මම කවදාවත් මම මගේ කරගෙන මට ආදරය කළාද? මම අනිත් අයගේ හදවත් කියවන්න කොච්චර කාලයක් මගේ ජීවිතෙන් වැය කළාද? ඒත් මම කවද්ද මාව කියවන්න මොහොතක් වැය කළේ? මට හිතෙනවා මේ ලෝකයේ කොච්චර මාවත් අතර සැරිසැරුවත් සියක් දහසක් නෙත් මුණගැසුණත් මට තාම මාව මුණගැහිලා නැහැ.. මට මා දුරස්.. මා නාදුනන මා..
ඉතින්....
මට මගෙන්ම මෙහෙම අහන්න හිතෙනවා
කවුරුන්ද ඔබ මගේ
කවුරුන්ද මා ඔබේ
මට හිතෙනවා ජීවිතය කියන්නේ වෙලාවකට මහා අහම්බයක්... දවසක් මගේ කකුල් දෙක පාමුල දැවටුණා ගිම්හාන හුළඟකට කොහේදෝ ඉඳන් ගසාගෙන ආව වරා මලක්... සෘතුවක් කියන්නේ සොබාදහමේ කාල නිර්ණයක් නෙවෙයි... මිනිස්සු සොබාදහම පරිච්ඡේද විදිහට බෙදා වෙන්කිරීමක්.. ජීවිතය කොයිතරම් වෙහෙසකර වුණත් ඒ වෙහෙස සොඳුරු වෙහෙසක් වනු පිණිස අමුතුම අක්ෂරයකින් ජීවිතය කියවන්න පුළුවන්නම් හැමදාමත් හැමතැනම වසන්තය... අහම්බකාරක වරා මල... සංසාරෙත් අතරමඟ දැවටෙන්න ඇති ඇවිත් මගේ පය පාමුල... මගේ යටි පතුල් ජීවිතේ මේ මහා කන්ද නගිද්දී රිදුම් දුන්න හැම මොහොතකම ඒ සියුමැලි මල් පෙති මත සතපවා මගේ දෙපතුල සනසන්න ඇති.. ආත්ම වෙහෙස මගෙන් උදුරාගෙන මට මහා සැනසිල්ලක් අරන් එන්නත් ඇති... අවසානයේ හැර දා යා යුතු දින ඒ වරා මල මා අත්හැර යන්නත් ඇති..
ආවොතින් යා යුතුය
නොගොසින් යළි එන්නට බැරිය
ලොව ඇත්තේ
යාම් ඊම් පමණි
ඒ වරා මලෙන් මම අසමි
කවුරුන්ද ඔබ මගේ
කවුරුන්ද මා ඔබේ..
සංසාරය ඇරඹුම සහ අවසන නොදන්නා දිගු ගමනක්. මමත් එක් යාත්‍රිකයෙක්. දන්නෙ නෑ මම මගේ සියලු තෘෂ්ණාවේ ආත්ම බන්ධන කඩා විසුරැවන නිර්වාණයේ දවසක් ගැන. මම මා අත්හරින දවසක් ගැන. විදසුන් වඩමින් මුනිවර දිවියක නිරාමිස රස සොයන දවසක් ගැන.. මා අත්හල මා සැනසෙන විමුක්තියේ සිහිලසින් මම සසර මඟ තොට පියමං කරන දවසක් ගැන... ඒ දවස ප්‍රාර්ථනාවක් කරගෙන මහා දර්ශනයක් හිස් මුදුනත හිඳුවාගෙන මම අහනවා මගෙන්ම.
කවුුරුන්ද ඔබ මගේ
කවුරුන්ද මා ඔබේ...
මම නවතින්නම් අර වරා මල අස
කියන්න.. අහගෙන ඉන්නම් මම...
ඒ ඇය...
දෙතොල් සලා මුදු සිනහ නගන්නෙමු
දෙනෙත් පුරා පිරි කඳුළු සලන්නෙමු
හදවත් ගැහෙනා රිද්මය අතරේ
සිතින් ගතින් එක්තැන් වී ඉන්නෙමු
සසර ඉම තෙක් අපි ගං දෑල... එහෙමම ඉඳිමු අපි.. ගං දිය නිසලයි.. ගං දිය ගැඹුරුයි... ඒත් සොඳුරුයි.. දුක සැප, ලාභ අලාභ, යස අයස, නින්දා ප්‍රශංසා... රල නගන හැම මහෝඝයක්ම දරාගෙන ඉවසිලිවන්තව පිහිනමු අපි ඉවුරක් හොයාගෙන.. හිනාවෙන අපිම තමයි අඬන්නෙත්.. හිනා නැගෙන ඇස් අගටම තමයි කඳුළු උනන්නෙත්.. ඒත් හිනාවෙන්න මොහොතක් මුණගැසුණම අපි හිනාවෙමු.. කඳුළු හංගන්න දරාගන්න බැරි මොහොතක කඳුළකට කොපුල් ඉස්මත්තේ සැත්කමක් කරන්නට ඉඩක් දෙමු අපි.. ඒ හිනා කඳුළු අස්සේ තමා ජීවිතය තියෙන්නේ.. ප්‍රේමය තියෙන්නේ.. අපි කියවමු හෙමි හෙමින් අපි අපිව... ඉඩක් නැති ලෝකයක ඉඩක් නැති අසරණයන් සේ හැඟෙන මොහොතක දුරින් හිඳ තුරුලු වෙමු අපි.. කොයි තරම් දුරක හිටියත් අනන්තයත් සැතපුමක් ගාණයි ප්‍රේමයේ මුල් හදවත් ගැඹුරටම මුල් ඇදලා පැල වුණාම.. ඒ හැම රිද්මයක් අතරේම ජීවිතය විඳින විඳවන හැම මොහොතක්ම අන්තිමට උගන්වන්නේත් ජීවිතයමයි මට.
ප්‍රේමය ගොළු වී හඬා වැටීලා
ඔබ හද මා හද රිදවන මොහොතේ
ප්‍රේමය නිර්වචනය කරන්න වගේම ප්‍රේමයේ ගැඹුරු රිදුම් ගැන කියන්නත් දන්නෙ නෑ මම වචන... වචන වලටවත් පෙරළන්න බැරි අනේක රිදුම් ඇයි කාටවත් මාව කියවන්න බැරි කියන සිතුවිල්ලෙන් තුන් හිතම පාරද්දී..
ප්‍රේමය රහසේම ඉකිගසමින් අපිව රිද්දනවා.. ජීවිතය මහා දිග ගමනක්.. ප්‍රේමය මහා ගැඹුරු රිදුමක්.
ඉතින් ඒ වගේ මොහොතක..
ජීවිතයට හිමි පැරදුම හමුවේ
නොදොඩා ගොලුවී බලා සිටින්නෙමු
අනන්තයක මහා දුර කොහොමද මම සමාන්තර රේඛාවක් බවට පත්කරගන්නේ.. අපරාජිත ජීවිතයක එකම එක පැරදුමත් එයමදැයි සිතේ. තවත් වචනවලට හරවන්න බෑ ඉකිගසන කඳුළක ඉතිහාසය හා අතීතය... අපි කතා නොකර බලාගෙන ඉමු කතා කරන ඇස් දිහා.. අපි මුණගැහුණු පළමු තත්ත්පරයේත් අපි බලාගෙන හිටියේ අපේ ඇස් දිහා.. අපි වෙන්වෙන දවසෙත් අපි බලාගෙන ඉමු අපේ ඇස් දිහා.
කවුරුන්ද ඔබ මගේ
කවුරුන්ද මා ඔබේ...
I දන්ත ශල්‍ය වෛද්‍ය අසේල විජේසුන්දර