2019 මාර්තු 09 වන සෙනසුරාදා

මම යාළුවන්ට සංග්‍රහ කළේ අතින් පයින්....

 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 130

Art එකේ කැරට්ටුව..

හඬ: ක්ලීටස් මෙන්ඩිස්...

හලෝ කොහොමද....?
ඒ තමයි ඔහුගේ මුල්ම ආමන්ත්‍රණය...
ඔහු කෙනෙක් පිළිගන්නේ එහෙම තමයි...

අමුතු පැහැදිලි කිරීම් නැතුව මම ඔහුව හඳුන්වා දෙන්නම්කො... මේ වෙන කවුරුත් නෙමේ ක්ලීටස් මෙන්ඩිස්...  සිංහල සිනමාවේ චණ්ඩියා...  
ක්ලීටස් මෙන්ඩිස් සම්මානනීය රංග ශිල්පියෙක්, හොඳ වින්දන පරාසක් හදාගත්ත, නිදහස් අදහස් දරන, සැහැල්ලුවෙන් ජීවිතය විඳින්න කැමති කෙනෙක්. සරලවම කිව්වොත්... සුහදශීලි ජ්‍යෙෂ්ඨයෙක්. 
ඒ තමයි අපිට එයාව දැනෙන විදිය...

ක්ලීටස්ගේ ජීවිතේ මේ දවස්වල ගෙවන තැනින්ම කතාව පටන්ගමු නේද?
පොඩි පොඩි වැඩ ටිකක් යනවා. මේ දවස්වල ටිකක් විතර බිසී... චිත්‍රපටයකත් රූගත කිරීම් අවසන් කළා... මම පහුගිය දවස් ටිකේම ගොඩක්ම වැඩකළේ ටෙලිනාට්‍යවල තමයි. චිත්‍රපටවලට ඉඳලා හිටලා තමයි සම්බන්ධ වුණේ. වරදක් නෑ ඉතින් වැඩ ටික කරගෙන ඉන්නවා... 

ඔහුගේ ජීවිතය ගලාගෙන යන විදිය කෙටියෙන් එහෙම තමයි කිව්වේ.
ක්ලීටස්ගේ රඟපෑම් අපි ඕනතරම් දැකලා තියෙනවා...  ඒවා ගැන නෙමේ... ඔබේ ජීවිතයට බලපෑමක් කරපු නිර්මාණයක් ගැන චුට්ටක් කතා කරමුද? අපේ වචනෙන්ම කිව්වොත්... බොක්කටම වැදුණු එකක් ගැන... 
මෙච්චර වෙලා සම්මුඛ වුණ ක්ලීටස්... මොහොතට නිහඬයි...

ඔව්... මගේ හිතට වැදුණු හොඳ නිර්මාණ නම් ගොඩක් තියෙනවා. ඒත් මගේ ජීවිතයට බලපෑමක් වුණු මම ආසකරන විශේෂ නිර්මාණ දෙකක් තියෙනවා.. එකක් තමයි පරසතුමල් චිත්‍රපටය... අනිත් එක තමයි 1965 ටයිටස් තොටවත්ත සහ කරුණාරත්න අබේසේකර තිරරචනය කරපු, ටයිටස් තොටවත්ත අධ්‍යක්ෂණය කරපු චණ්ඩියා කියන චිත්‍රපටය. අද මම විශේෂයෙන් කතා කරන්නෙ චණ්ඩියා චිත්‍රපටය ගැන. 

චණ්ඩියා චිත්‍රපටය ක්ලීටස්ට මෙච්චර බලපෑම් කළේ කොහොමද?
ඒකට පළවෙනි සහ ප්‍රධානම හේතුව තමයි ගාමිණී ෆොන්සේකා මහත්මයාගෙ රංගනය. මම මුලින්ම චණ්ඩියා චිත්‍රපටය දැක්කේ මගේ පාසල් කාලයේ... අද මම නළුවෙක් විදියට ඉන්නෙත් ගාමිණී ෆොන්සේකා මහතාගේ රංගනයට වශී වුණ නිසා. මේ චිත්‍රපටය බැලුවයින් පස්සෙ තමයි මට හිතුණේ ගාමිණී ෆොන්සේකා වගේ ඇක්ටර් කෙනෙක් වෙන්න ඕනෙ කියලා... මම ඒ චිත්‍රපටයට කොච්චර ආසා කරාද කිව්වොත්... මම පොඩි කාලේ හරි ලස්සන සිද්ධියකට මුහුණ පෑවා.  පළවෙනි වතාවේ මම චණ්ඩියා චිත්‍රපටය බැලුවේ චිත්‍රපට හෝල් එකේ... හෝල් එකේ බලලා මම ගෙදර ඇවිත් තාත්තගේ සරමකුත් ඇඳගෙන කණ්ණාඩි ඉස්සරහට ගිහින් සරම පැත්තකින් උස්සගෙන ගාමිණී ෆොන්සේකා මහත්තයා වගේ කෑ ගැහුවා... ඊට පස්සෙ අම්මා ඇවිත් මොකද පුතේ කෑගහන්නෙ සරමකුත් ඇඳන් කියලා ඇහුවා. මම ඊට පස්සෙ බොහොම අමාරැවෙන් ෂේප් වුණා... මොකද අම්මලා දන්නෙ නෑනෙ අම්මලාට හොරෙන් මම චිත්‍රපට බලන්න යනවා කියලා... අනිත් එක මම ටිකක් විතර දඩබ්බර චරිතයක් පාසල් යන කාලේ. ඒ නිසාමද මන්දා ගාමිණීගේ රංගනය එදා මම දැක්කේ දැඩි පෞරුෂත්වයක් තියෙන වීරයෙක් වගේ... එදා ඒ රූපරාමු තාමත් මගේ මතකයේ තියෙනවා. 

චණ්ඩියා චිත්‍රපටයේ කැමතිම රංගන ශිල්පීන් ගැනත් පොඩ්ඩක් කතා කරමුද? 
අනිවාර්යයෙන්ම... චිත්‍රපටයේ සියලුම කැරැක්ටස්වලට මම ගොඩක් ආසයි... ඒත් විශේෂයෙන් ගොඩක්ම කැමතියි ගාමිණී ෆොන්සේකා රඟපාපු රෝල් එකට...  සමහර අය කියයි මේ ගාමිණී කරන්නෙ චණ්ඩි කැරුක්ටර් එකක්නෙ කියලා.. ඒත් මගේ ජීවිතේට බලපෑමක් කරපු චරිතය තමයි ඒක... අනුලා කරුණාතිලක, එච්.ඩී. කුලතුංග වැනි අයගේ රංගනයත් හරිම විශේෂයි. සමස්තයක් විදියට ගත්තොත් චිත්‍රපටයේ සියලුම රංගන ශිල්පීන් චරිතවලට හොඳ සාධාරණයක් කරලා තිබුණා... ආර්. මුත්තසාමිගේ සංගීතයත් මේ වෙලාවේ මතක් කරන්නම ඕනෙ. 

ගාමිණී ෆොන්සේකා කරපු චණ්ඩියාගේ චරිතය ක්ලීටස්ට හම්බවුණා නම් කොහොම වෙයිද?
අම්මෝ... මම ගොඩක් ආසාවෙන් කරයි... හැබැයි මට ඉතින් ඒ වගේ චරිතයක් ලැබුණේ නම් නෑ... ආසාව කියන එක වෙනයි... හැබැයි ගාමිණී ෆොන්සේකා වෙන්න බෑ කාටවත්. මම හොඳටම දන්නවා ඒ කාලේ ගාමිණී ෆොන්සේකා වෙන්න කීපදෙනෙක් උත්සාහ කළා. මගේ පොඩි තරහකුත් තිබුණා එහෙම අනුකරණය කරන්න උත්සාහ කරන අයත් එකක්. මොකද ඒ මගේ වීරයනේ. චණ්ඩි කැරැක්ටර්ස් කරන්න ඕන කෙනෙකුට පුළුවන්... මටත් පුළුවන්... ඒත් එයා වගේ වෙන්න කාටවත් බෑ. 

මේ චිත්‍රපටය ඇතුළේ වැඩියෙන්ම දැනුණු ඔබ ආසකරන රූප රාමුවක් මතක් කරමුද?
මම ගොඩක් අසාකරන මට තාමත් මැවිලා පේන රූපරාමුව තමයි ගාමිණී ෆොන්සේකා දුවගෙන ඇවිත් සරම කකුලෙන් අරගෙන ගැටේ ගහලා කෑ ගහනවා. හතුරොත් එකක් ෆයිට් කරන්න තිබ්බේ කරත්ත රෝදයකුත් එක්ක. ජීවිත කිසිමදාක මට අමතක නොවෙන ෆයිට් එකක් තමයි ඒක. එදා සහ අද සසඳලා බැලුවාම අද තාක්ෂණයෙන් තමයි හුඟක්ම මේ වගේ සටන් ජවනිකා කරන්නෙ. එදා එහෙම නෑ... එදා සටන් ජවනිකා හරිම ස්වභාවිකයි.  

ඔබේ ජීවිතය වෙනස් කරපු මේ ෆිල්ම් එක ඔබ කී පාරක් බැලුවාද?
ඒ කාලේ හොරෙන් තමයි චිත්‍රපට අපි බලන්නෙ. මොකද ඉස්කොලෙ ඇරුණට පස්සෙ පොත් ටික ෂර්ට් එක ඇතුළට දාගෙන තමා චිත්‍රපට හෝල්වලට යන්නෙ... ඉස්සර ගොඩක් පොත් තිබුණේ නෑනෙ... පොත් තුන හතරයි තිබුණේ.. ඒකනිසා ඒ පොත් හංගගන්න ලේසයි. මුලින්ම මේ චිත්‍රපටය ආවේ මීගමුව රාජ් සිනමා ශාලාවට. ඒ කාලේ ටිකට් එක සත 55යි... ටිකට් අරගෙන චිත්‍රපට හෝල් එකේ කණුවලට මුවාවෙලා තමයි අපි ඉන්නෙ බයේ. මොකද ගමේ කවුරු හරි දැකලා ගෙදරට කියයි කියලා.. චිත්‍රපටය පටන් ගත්තාම තමයි අපි ඇතුළට රිංගන්නෙ. චිත්‍රපටය බලන්නෙ ගැලරියේ ඉඳන්ම තමයි... එහෙම පස් හය වතාවක් චිත්‍රපටය බලලා තියෙනවා... දැනුත් මම මේ චිත්‍රපටය හොයනවා බලන්න තාම නම් හම්බවුණේ නෑ.. 
කවුද මේ චිත්‍රපටය බලන්න කියලා ඔබව පෙළඹෙව්වේ...

මගේ මාකස් කියලා හොඳ යාළුවෙක් හිටියා පුංචි කාලෙ ඉඳලාම එයාගේ වැඩේ චිත්‍රපටය බලන එක තමයි.  මේ චිත්‍රපටය ආපු පළවෙනි දවසෙම මෙයා තමයි අපිට ඇවිල්ලා කිව්වේ... අම්මට සිරි... මාර චිත්‍රපටයක් එනවා ගාමිණී ෆොන්සේකාගේ. චණ්ඩියා තමයි ඒකෙ නම.... යමුද බලන්න කියලා.. ඊට පස්සෙ තමයි කෑමගන්න ගෙදරින් දෙන සල්ලි එහෙම ඉතුරු කරගෙන චිත්‍රපටය බලන්න යන්න ලෑස්ති වුණේ. මගේ තව යාළුවෙක් හිටියා ඔස්ටින් කියලා... එයා ළඟ ටිකක් යහමින් සල්ලි තිබුණා ඒ කාලෙත්. මේ චිත්‍රපටය විතරක් නෙමේ... අලුතෙන් එන ඕන චිත්‍රපටයක් එන පළවෙනි දවසෙම අපි කොහොම හරි බලනවා. 

ක්ලීටස් මෙන්ඩිස් ආදරය කරන වීරයා මුලින්ම මුණගැහුණ දවසේ මොන වගේ දෙයක්ද වුණේ...?
සංඛපාලි චිත්‍රපටය කරද්දි තමයි මම මුලින්ම ගාමිණී ෆොන්සේකා මහත්තයාව දැක්කේ... ඇන්ටන් ගෙගරි තමයි මාව සංඛපාලි චිත්‍රපටය සම්බන්ධ කළේ. තිලක් ජයවීර එක්ක තමයි මම ඒ චිත්‍රපටයේ රඟපාන්න ගියේ... තිලක් ඒ වෙනකොට ජූනියර් ශ්‍රී ලංකා බොඩි බිල්ඩර් වෙලා හිටියේ. ඒක නිසා එයා ටිකක් ප්‍රසිද්ධයි. මට හම්බවුණේ වල්ලභ කියලා චරිතයක්. අපි දෙන්නා හැමතිස්සේම ගාමිණී ෆොන්සේකාගේ වැඩ දිහා තමයි බලන් ඉන්නෙ. එයා තමයි මේ චිත්‍රපටයේ ඩිරෙක්ටර්.  එක දවසක් අපි දෙන්නට ගාමිණී ෆොන්සේකා හෙලෝ... කමින්... කියලා කතාකළා. මම හිතුවේ තිලක් ටිකක් ප්‍රසිද්ධයිනෙ එයාට තමයි කතා කරන්නෙ කියලා. තිලක් හිතුවේ මට කතා කරනවා කියලා අපි දෙන්නා මූණට මූණ බලාගෙන ඉන්නකොට අයිසේ... දෙන්නම එනවා දෙන්නම එනවා කියලා කිව්වා. අපි ගිය ගමන් ගාමිණී අපි දෙන්නාගෙ කරට අත දාගත්තා. එදා තරම් සතුටුවුණ දවසක් මට මතක නෑ... මගෙන් සහ තිලක්ගෙන් විස්තර ඇහුවා... මම එතකොට වේදිකා නාට්‍යවලට සම්බන්ධවෙලා හිටියේ... මම වේදිකාවට සම්බධයි කියලා දැනගත්තාම එයාට ගොඩක් සතුටුවුණා. ඔහු පසුකාලෙත් මට ගොඩක් සහයෝගයක් දැක්වූවා... මට මතකයි මම මුල්ම සරසවි කුසලතා සම්මානයක් ලබාගත්ත වෙලාවෙ... මට සුබපතලා ලියුම් පවා එව්වා... එතකොට ඔහු උතුරු නැගෙනහිර ආණ්ඩුකාරවරයා. 

චණ්ඩියා ෆිල්ම් එකේ අවසානය මොන වගේ හැඟීමක්ද ඔබේ හදවතට ගෙනාවේ...
ඇත්තටම ගොඩක් සතුටින් තමයි චිත්‍රපට ශාලාවෙන් අපි එළියට ආවේ.. කොටින්ම කිව්වොත් මම මගේ යාළුවන්ට ගාමිණී ෆොන්සේකා එල්ල කරපු සටන් පහරවල්වලින් සංග්‍රහ කර කර ආවේ... ඒ අතරම උද්‍යෝගයකින් හිටියේ. මගේ යාළුවෝ මට කියනවා අඩෝ උඹ ගාමිණී ෆොන්සේකා වෙන්න හදනවද කියලා. 
එහෙම තමයි එයා කතාවට තිත තිබ්බේ...

 

► Text - Danushka Wijesiri   /   Pic- Sumudu & Internet