ගී පද රචනය - ලූෂන් බුලත්සිංහල
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක
රැජන කෝච්චිය හූ කීවේ මගේ දුප්පත්කමට කියලා මට හිතුණු අතීතයේ දවසක් තිබුණා. ඒ දවස්වල මගේ තාත්තා උදේ පහට පොළට යනවා. උදේ හය හමාර වෙද්දී ටියුෂන් පන්ති යන්න පන්ති ගාස්තු ඉල්ලගන්න තාත්තා හොයාගෙන පොළට දුවගෙන එන මට දවසක් ජීවිතේ කවදාවත් මතකයෙන් නොගිලිහෙන බැල්මක් තාත්තා ඉතුරු කළා. හය හමාර වෙද්දී මම දුවගෙන එන්නේ 6.45ට කෝච්චියට නගින්න. එදත් මම එක හැල්මෙ තාත්තා ළඟට දුවගෙන ගියේ පන්ති ගාස්තු ඉල්ලගන්න. තාත්තා වචනයක්වත් නොකියා එදා මගේ ඇස් දෙක දිහා බලාගෙන හිටියා. දුක වේදනාව, නැතිබැරිකම, දුප්පත්කම ගැන හැම හැඟීමක්ම ඒ ඇස් පතුලේ ලියවිලා තිබුණා. උදේ ඉඳන් ඒ වෙනකම් එකම එක රුපියලක්වත් හම්බ කරගන්න තාත්තට එදා බැරිවෙලා. දරුවන් වෙනුවෙන් ඒ සා දුක් උහුලන්න පුළුවන් අම්මාවරුන්ට තාත්තාවරුන්ට විතරද?
අම්මා නැති මට කිරිඅම්මා වී
කරුවල ගෙදරට මිණි පහනක් වී
දැනගත් දා සිට පෙරුම් පිරූයේ
අක්කේ මං මතු සක්විති වෙයි සිතලාදෝ
මාතෘ ගුණ හදවත දරාගත් සහෝදරියන් පීතෘ ගුණ හදවත දරාගත් සහෝදරයන් මුණගැසීම සංසාර තීර්ථයේ මහා පුණ්‍යකර්මයක් කියලා මම විශ්වාස කරනවා. මට මතකයි මගේ නංගිලා දෙන්නා තාත්තාගෙන් ටියුෂන් යන්න සල්ලි ඉල්ලද්දී සමහර දවස්වල තාත්තා දුන්න උත්තරය
අතේ තියෙන්නෙම මෙච්චරයි... ඒක දුන්නොත් අයියට පන්ති ගාස්තු දෙන්න විදිහක් නෑ.. අපි අයියව කොහොමහරි ගොඩදා ගමුද පුතේ... එහෙම කියපු කවදාවත් නංගිලා තාත්තාගෙන් එයාලට පන්ති යන්න සල්ලි ඉල්ලුවේ නෑ. මට පන්ති යන්න ඉඩ හදලා නංගිලා ගෙදර හිටියා. මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන්, එංගලන්තයේ විශ්වවිද්‍යාලයකින්, අමෙරිකානු විශ්වවිද්‍යාලයකින් ඉගෙන ගන්න ලබපු හැම වරමක් පිටිපස්සෙම තාත්තා පොළේ ගිහින් බඩු විකුණලා හම්බ කරපු රුපියල් සතවල දාඩිය සුවඳ, මගේ නංගිලා එයාලගේ පන්ති මගේ පන්ති වෙනුවෙන් කැප කරමින් දරාගත් ඉවසීම තියෙනවා. එක බඩවැල කඩාගෙන ආව සහෝදරකම්වල ලේ සුවඳ එදත් අදත් මම ජීවිතේ මහා වටිනාකමක් විදිහට විඳිද්දී මේ ගීතයේ කියවෙන අක්කණ්ඩියක් මගේ ජීවිතේ මට නොහිටියත් මව් ගුණ හද පිරූ ඒ අක්කව මට ආත්මීයව දැනෙනවා.
අම්මා නැති මට කිරිඅම්මා වී..
මට හිතෙනවා අම්මා කෙනෙක් නැති ගෙදරක වැඩිමහල් දුවක් ඉන්නවනම් ඒ දුව තමයි සහෝදර සහෝදරියන්ට අම්මා කෙනෙක් වෙන්නේ... තමන්ගේ නංගිලාට මල්ලිලාට කවලා පොවලා නාවලා ඉස්කෝලේ යවලා උයලා පිහලා අතුගාලා ගෙදර හැම වගකීමක්ම තවත් අම්මා කෙනෙක් වී දෙවුර දරන දූවරු ඉන්නවා.. අරුත් සුන් සින්තටික් සිහින පස්සේ දුවන කුමර කුමරියන්ට ඒ අක්කණ්ඩිලා මහා පරමාදර්ශයක් කියලා මට හිතෙන්නේ. දරිද්‍රතාවයෙන් බඩගින්නෙන් අනේක ජීවන කම්කටොලු භුක්ති විඳින හුඟක් අම්මලා තාත්තලා හීන දකිමින් පෙරුම් පුරන්නේ තමන්ට අහිමි වෙච්ච, තමන්ට පය තියන්න බැරි වෙච්ච ලෝකයක තමන්ගේ ලෙයින් කිරෙන් හුස්මක් වැටෙන ජීවිත හිමි තම පැටවුන්ව රජ කරවන්න. ගෙදර බුදුන් කීවේ අම්මට.. ඒ තමා අම්මව ඔසවලා තිබුණු මුදුනත.. අම්මගේ අවසන් හුස්ම පොද හිස් අවකාශයට මුහුවෙච්ච දවසක ගෙදර මිණි පහන නිවුණා හා සමානයි.. දුක කියන්න කෙනෙක් කෝ? .දුක අහන්න කෙනෙක් කෝ...?
කරුවල ගෙදරට මිණි පහනක් වී.. ඒ නිවුණු පහන මාතෘ ස්නේහය සදිසි අනුපමේය ස්නේහයකින් දල්වන්නේ අක්කා... ඒ පාරමිතාවක් පුරමින්
අක්කේ මං මතු සක්විති වෙයි සිතලාදෝ..
සක්විති රාජ සංකල්පය කියන්නේ ලෝකෙටම රජෙක් කියන එක.. අක්කගේ හීන අනන්තය තමන්ගේ සහෝදරයා වෙනුවෙන් මහා ගහක් වගේ.. මොහොතක් ගාණේ ළදල්ලක් උපද්දවන ගහ සාර සුබාවට මතු යම් දවසක පොළොව මතුපිට රජ කරන්නේ මහා වනස්පතියක් විදිහට.. තමන්ගේ මල්ලි වෙනුවෙන් අක්කගේ හීනත් ඒ වගේ...
මට මතකයි ඒ කාලේ මම අපිට හිටපු හරක් දක්කගෙන ලඳු කැලෑ වෙල් ඉපනැලි ගාණේ යනවා... හරක්ව දිගේලි කරලා මම සරම උඩට නමාගෙන සරමෙම පොඩි ඉඩක් හදා ගන්නවා. අලුතෙන් දලුලෑව මුකුණුවැන්න ගොටුකොළ වගේ පලා අහුරු කඩාගෙන මම ඒ සරම් ගොටුවේ දා ගෙන ගෙදර යනවා.. දවල් බතට මයියොක්කා වගේ දෙයක් එක්ක ඒ මැල්ලුම තමයි හැදෙන්නේ.. අඹ දිවුල් පලදාව ගහක කොළයක් කොළයක් ගාණේ වෑහෙන කාලෙට මම කුරුල්ලන් ඇස් අරින්නත් කලින් යන්නේ අඹ දිවුල් ඇහිදින්න.. සමහරදාට අඹ දිවුල් බරට සරමත් ලිහිලා වැටෙනවා.. ආයෙත් ඒ සරම් ගොටුව හදාගෙන මම අර අඹ දිවුල් අහුලගන්නවා.. අඹ කාලෙට අපි දවස් දෙක තුන බත් වෙනුවට අඹ කාලා බඩගින්න නිවාගන්නවා.. අපිට ලැබුණු වියළි සහනධාරය වෙනුවෙන් මම උදැල්ල අරන් ගමේ උදුලු ගාන්න, නැත්නම් බෝක්කුවක් හදද්දී උදව්වට යනවා.. ඒත් මගේ තාත්තට ඕන වුණේ මාව සක්විති රජෙක් කරන්න.. දුප්පත්කමේ වේදනාවන් දවසක රත්තරන් ඔටුන්නක් කරන්න.. ඒ තාත්තා ඒ අම්මා ඒ නංගිලා මේ ගීතයේ අක්කාගේ හදවත ගැඹුරේ මට හමුවෙනවා.
පියුම් රටාවට පැදුරක් පිරෙයි රැයේ
අක්කගේ හදවත ගැන කියන සංකේතයක් විදිහට මම මේ ගී පදය දකිනවා... අක්කා පැදුර වියන්නේ රටා මවමින්.. ඇගේ ඇතැඟිලි විහිද යන්නේ හදවතේ ඉසියුම් කලාවක් එක්ක මුහුවෙමින්.. රැයේ නිදිවරමින් පැදුර වියන ඇගේ හදවතේ දහසක් සංකල්පනා සිහින නලියනවා ඇති.. ගම්දොරකඩ කොහේ හරි ඉසව්වක ඉඳන් එබිකම් කරන මනමාල ඇස් ඇගේ ඇස් අස්සට එබෙනවා ඇති.. සඳ පලුවක් ගස් අස්සෙන් ඇවිත් රටා වියන පැදුරු සිදුරු අස්සෙන් එළි ඇබින්දක් පතිත කරද්දී ඒ හිතෙත් හඳ ගැන හීන උපදිනවා ඇති.. ඒත් තමන්ගේ ජීවිතයට හුදෙකලා විමුක්තියක් හෙව්වොත් මල්ලිගේ අනාගතය සාරෙට අස්වද්දන්න කෝ කවුරැත්... ඒ ප්‍රශ්නයත් එක්ක ඇය මවක් වෙන්නේ තවත් ජීවිතයක රන් පාට තවරන්න
උදේට ළිප ළඟ කඩයප්පන් ගොඩවේ
දෙකම්මුලින් වට මුතු වට්ටිය නුඹගේ
පන මට දී මගේ නැණ නෙත් පෑදුයේ
දෙකම්මුලින් වට මුතු වට්ටිය නුඹගේ
මුතු කියන්නේ මහා වටිනාකමක් ඇති සම්පතක්.. අක්කගේ කඳුළු මේ සහෝදරයා දකින්නේ මුතු කැට විදිහට.. ඒ කඳුළු මුතු වට්ටියක්.. තමන්ගේ අක්කා තමන්ව ඇයට අහිමි ලොවක රජ කරවන්න ඇය හෙලන දහඩියට ඔහු දෙන්නේ මහා කෘතවේදී අමිල වටිනාකමක්. රුපියල් කාසි වෙන්නේ ගින්දර ළිප ළඟ ගිනි පිඹිමින් අක්කා හෙලන දහඩිය. .රැයේ පැදුරක් වියමින් ජීවිතය ගෙත්තම් කරන්නට දරන අප්‍රමාණ වෙහෙස..
මෝරා හද ගැබ පෙම් මල් නැහැ පිපුණේ
ඉහිලා බඳ වට ගෝමර ලතැවෙන්නේ
පිරිමියෙකුගේ ආදරයක් රැකවරණයක් ප්‍රේමයක් විඳින්නට අකමැති ගැහැනු හිත් නෑ පිරිමියෙක් නොපතනවනම් මිසක.. කුස යහනේ ලේ කඳුළක පොහොට්ටුවක් විකසිත කරන්න පෙරැම් නොපුරන ගෑනු හිතක් නෑ දරුවන් නොපතනවනම් මිසක. අක්කගේ තාරැණ්‍යයට බඳ වට ඉහිරුණු ගෝමර සාක්ෂියක්.. එහෙත් ඒ පෙම් මල් පිපෙන්නට හැරියොත් තමන්ගේ සහෝදරයව ජීවිතේ දුර ගමන එක්ක යන්න කෙනෙක් කෝ.. අක්කට එහෙම හිතෙන්න ඇති. සමහර වෙලාවට විවාහයකින් පස්සේ ඒ එකතුවෙන පාර්ශ්වය තමන්ගේ සහෝදර සහෝදරියන්ට මවුපියන්ට නෑදෑ පරපුරට සත්කාර ගෞරව දක්වනවට, ඒ බැඳීම් මහා ආදරයක් බවට පත්කර ගන්නවට අකමැතියි. ඒත් ඇයි බැරි තමන්ගේ සැමියගේ හරි බිරිඳගේ හරි සහෝදර සහෝදරියන්ව තමන්ගේ සහෝදර සහෝදරියන්ව කරගන්න.. අම්මා තාත්තා තමන්ගේත් අම්මා තාත්තා කරගන්න.. නෑදෑ පරපුර තමන්ගේත් නෑදෑ පරපුරක් කරගන්න.. ඒ සහෝදර සහෝදරියන්ටත් මාතෘ ගුණ පීතෘ ගුණ හද දරන සහෝදරියක් සහෝදරයෙක් වෙන්න.. බුදුරජාණන් වහන්සේ බිරිඳකගේ යුතුකම් වගකීම් ගැන දේශනා කරමින් කියනවා සැමියාට වරෙක සහෝදරියක් වගේ බිරිඳක් වෙන්න කියලා.. (භගිණි භාර්යා - වැඩිමහල් සහෝදරයෙක් කෙරෙහි බාල සහෝදරියක මෙන් සැමියා කෙරෙහි ගෞරවයෙන් යුක්තව වාසය කරන භාර්යාව) සහෝදරත්වය කෙතරම් වටිනාකමක් දරනවද කියලා එයින් පැහැදිලි වෙනවා.. නිර්වාණය වගේ විමුක්තියක් ගැන කතා කරන බුදුදහම මේ තරම් සියුම් සංවේදී කාරණා කතා කරන්නේ ලෞකික ජීවිතයකට ඒ ධර්මයන් ඒ තරම් ප්‍රශංසනීය වටිනාකමක් ප්‍රදානය කරන නිස.. .ඒ විදිහට සහෝදරත්වයෙන් තමන් අත්වැල් බැඳගන්න පවුලට ආදරණීය දුවෙක් පුතෙක් ලේලි කෙනෙක් බෑනා කෙනෙක් වෙන්න පුළුවන්නම්.. ඔබෙන් පසු දරු පරපුරත් ඒ ගුණ දහම් පරමාදර්ශයක් කරගනීවි. ඒ අද්‍යාත්මික පොහොසත්කම් ජීවිතයට මහා සහන් එළියක් කියලා ඔබට දැනෙයි.
මා ලද ශිල්පද නුඹ හා එක මුල්ලේ
ඒ ගී පදයෙන් ගැඹුරැ සමාජ ප්‍රශ්නයක් ගැන කතා කරනවා.. ශිල්ප චාරිකාවක යෙදුණත් කෝ ඔටුනු පළදින්න කෙම්බිමක්.. කෝ රුකියාවක්.. රටේ විරුකියාව තරැණ අසහනය ඔඩු දුවන පසුබිමක මේ තරුණයාත් එක සංකේතයක්... තවත් අතකින් කොහොමද අක්කේ ජීවිතයම මම වෙනුවෙන් කැප කරපු උඹව දාලා යන්නේ මම කියන හිතුවිල්ලෙන් මේ සහෝදරයා තමන්ගේ අක්කව අත්නොහැර ඇයත් සමඟම ජීවිතය බෙදා ගන්නවා ඇති.. එහෙත් කටු අත්තක මල් පිපුණම කටු අත්තෙත් දලු උපදින සිහින නෙවෙයිද දැකිය යුතු අපි
අවසානයේ මට මෙහෙම හිතෙනවා
කෙනෙකුට කෙනෙක් වෙනුවෙන් තම ජීවිතය දන්දෙන්නට කැපකරන්නට හැකිනම් එය බෝධිසත්ත්ව පාරමිතාවක් මිස අන් කවරක්ද?.
► දන්ත ශල්‍ය වෛද්‍ය අසේල විජේසුන්දර