තුෂානි අපි මුලින්ම ඔයාගේ පවුලේ විස්තර ටිකක් කියමුද?
මගේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, නංගියි, මමයි විතරයි. මගේ තාත්තා වයලින් වාදකයෙක්. තාත්තා අශෝක ජයවර්ධන. අම්මා ගෘහණියක්. අම්මගේ නම මල්ලිකා ජයවර්ධන. මගේ නංගි ඒ ලෙවල් කළා. එයාගේ නම එෂාණි ජයවර්ධන.
තුෂානිගේ තාත්තාත් දක්ෂ වයලින් වාදකයෙක්නේ. ඔයා ළමා කාලයේදීම ඇහෙන්න ඇත්තෙත් ඒ සංගීතයයි. වයිලින් වාදනයට තුෂානිගේ හිත යොමුවුණේ මේ ගෙදර පරිසරයම නේද?
ඔව්... එහෙම වෙන්න ඇති. මම මුලින්ම වයලින් එක වාදනය කරන්න පටන් ගනිද්දී මට වයස අවුරුදු හයයි. තාත්තා ඒ කාලෙදී බටහිර සංගීතය තමයි වාදනය කළේ. තාත්තා ප්‍රසංගවලට යද්දී බොහෝ දවස්වලට අපිවත් එක්කගෙන ගියා. ගෙදර පුහුණුවීම් කරද්දී වුණත් මම අහගෙන ඉඳලා තියෙනවා. අපිට නිතරම ඇහුණේ සංගීතයයි. මම ඉස්කෝලේදී කළෙත් බටහිර සංගීතයයි.
තුෂානි පාසල් අධ්‍යාපනය ලැබුවේ කොහේද?
මම මුලින්ම කොලොන්නාව බාලිකාවට ඇතුළත් වෙලා ඉගෙන ගත්තා. ඒකෙන් මම ශිෂ්‍යත්ව විභාගය හොඳට සමත් වෙලා කොළඹ විශාකා විද්‍යාලයට ඇතුළත් වුණා. පාසැල් දෙකේදීම මම මුල්තැන දුන්නේ අධ්‍යාපනයට තමයි. හැබැයි සංගීත කටයුතුවලට මම පාසල් දෙකේදීම සම්බන්ධ වුණා. ඒ වුණාට මම ඉගෙනීමට තමයි වැඩිපුරම මුල්තැන දුන්නේ. ශිෂ්‍යත්ව විභාගයෙන් මම කොට්ඨාසයෙන්ම ප්‍රථමයා වුණා. හැබැයි පාසලේ විවිධ ප්‍රසංග, සංගීත ප්‍රසංග තියෙද්දී මම මුල්තැන ගත්තා.
තුෂානි ළමා කාලේදී හීනය වෙලා තිබුණේ තාත්තා වගේ සංගීත පැත්තට යොමුවෙන්නද?
චූටිම කාලේදී කවුරු හරි මගෙන් ඇහුවොත් කවුරු වෙන්නද ආස කියලා. මම එකපාරටම කිව්වේ දොස්තර කෙනෙක් වෙන්න කියලයි. ඇත්තටම මම A/L වලට තෝරා ගත්තෙත් විද්‍යා විෂයයි. උසස්පෙළ හදාරන අතරතුරේදී මට විදේශගතවෙලා සංගීතය වැඩිදුර ඉගෙන ගන්න ශිෂ්‍යත්වයක් ලැබුණා.
තුෂානි රිද්මයානුකූලව හරි අපූරුවට වයලින් වාදනය කරනවානේ... වෘත්තීමය වයලින් ශිල්පිනියක් වුණේ කොයි කාලේදීද?
මම පාසැල් ඉගෙනීමත් එක්ක වයලින් වාදනය කරන්නත් ඉගෙන ගත්තා. පාසැල් අධ්‍යාපනයත් වයලින් වාදනයත් මම දෙකම සමබරව කරගෙන ගියා. සංගීත විභගාවලට මම ඉදිරිපත් වුණා. ඒවාත් සමත් වුණා. මම වයලින්, පියානෝව වගේම ගායන විභාගවලටත් පෙනී සිටියා. මම අවුරුදු නවයේ ඉඳන් Youth Orchestra එකේ වාදනය කළා. ඊට පස්සේ අවුරුදු දොළහේ ඉඳන් Symphony Orchestra of Sri Lanka එකේ වයලින් වාදකයෙක් විදිහට කටයුතු කළා.
තුෂානි විවාහකයිනේ... අපි ඔහු ගැනත් කියමුද?
ඔව්.... මම විවාහ වුණේ ආසිරි ජයවර්ධන එක්කයි. ඒ 2011 වසරේදී. ආසිරි කියන්නේ කලාවට සම්බන්ධ කෙනෙක් නෙමෙයි. ඔහු පෞද්ගලික ආයතනයක විධායක නිලධාරියෙක්. හැබැයි ඔහු කලාවට හරි ආදරෙයි. ප්‍රේම සම්බන්ධතාවයකින් තමයි ආසිරියි මමයි විවාහ වුණේ. හැබැයි ඒ වෙනකොට ආසිරි වැඩිය රූපවාහිනිය බලපු කෙනෙක් නෙමෙයි. ඒ වෙද්දී මම එක්තරා රියැලිටි වැඩසටහනකට සංගීතය සපයමින් හිටියේ. අඩුම ගානේ ආසිරි ඒ වැඩසටහනවත් බලලා තිබුණේ නැහැ. අද වෙද්දි මගේ කලා කටයුතුවලට ආසිරිගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. දැන් අපිට දරුවන් දෙන්නෙක් ඉන්නවා. ලොකු දූගේ වයස අවුරුදු පහමාරයි. එයාගේ නම ගිහන්සා ජයවර්ධන, චූටි පුතාගේ වයස මාස හතයි එයාගේ නම ලියම් ජයවර්ධන.
මාස හතක චූටි පුතෙක් ඉන්න අතරතුරේ පහුගිය කාලේදී තුෂානි රියැලටි වැඩසටහන සංගීතයත් සැපයුවා. පුහුණුවීම් කටයුතු කළේ කොහොමද?
ඔව්... දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරඟාවලිය අවසන් වෙලා දැන් හරියටම සතියයි. පුහුණුවීම් කටයුතු අපි එහෙම ලොකුවට කළේ නම් නැහැ. පුහුණුවීම්වලට යන වෙලාවට බබාලා දෙන්නවම අරගෙන ගිහින් කාර් එකේ ආසිරි තියාගෙන ඉන්නවා. ගෙදර ඇවිත් ආයෙත් පුහුණුවීම් කරන්නේ නම් නැහැ. නෝට්ස් ලියාගන්න දේවල් නම් කරන්නේ බබාලා දෙන්නා නිදාගත්තට පස්සේ තමයි.
තරගවලට සංගීතය සපයද්දී අමතක නොවන සිදුවීම් එහෙම වෙලා නැද්ද?
එහෙම විශේෂ දෙයක් නම් වෙලා නැහැ. හැබැයි ඉතින් මේ දෙන්නා ඉපදුනාට පස්සේ කලබලෙන් තමයි හැමදාම ගිහින් තියෙන්නේ. චූටි පුතා ඉපදිලා සති දෙකෙන් තමයි Dream Star Season viii පටන් ගත්තේ. ඉතින් එතකොට පුතාවත් අරගෙන තමයි ඒකට ගියේ. එක සින්දුවක් ඉවරවෙලා ඉක්මණට පුතාව බලන්න කාර් එකට එනවා. ආයේ දුවලා ගිහින් වාදනය කරනවා. ඒක ටිකක් කලබල කාලයක් වුණා. වාදනය කරන මොහොතේදී තමයි මම ඒකට අවධානය දුන්නේ. අනිත් වෙලාවට අවධානය තිබුණේ දරුවන් දෙන්නට තමයි. ඇත්තටම ඒ කාලය හරියට යුද්ධයක් වගෙයි.
දැන් ටිකක් ඒ යුද්ධය ඉවර වුණානේ... මේ දවස්වල තුෂානිට ටිකක් විවේකය ලැබිලා නේද?
ඔව්... පහුගිය සතියම ටිකක් කාර්යබහුල වුණා... දැන් චුට්ටක් විවේකය ලැබුණා. මම වයලින් පියානෝ සහ ගායනය අමතර පන්ති කොළඹ සහ මීගමුවේ පවත්වනවා. ඊට අමතරව මම විශ්වවිද්‍යාලයේ වයලීන් වාදනය සම්බන්ධ කථිකාචාර්යවරියක් විදිහටත් කටයුතු කරනවා.
► Text - Dishani / Pic - Internet