2019 මාර්තු 16 වන සෙනසුරාදා

සරච්චන්ද්‍ර මහත්තයා මට මුණගැහීම අවශ්‍යයි කියලා පොඩි ලියුම් කෑල්ලක් එවලා තිබුණා

 2019 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 12:31 254

ඔබ මේ දවස්වල අලුත් නිර්මාණවලට සම්බන්ධ වුණේ නැද්ද..?
නැහැ. මේ දවස්වලනම් එහෙම විශේෂ කටයුත්තක් කරන්නෙ නැහැ. පසුගිය කාලයෙදී මම ටිකක් අසනීප වුණා. ඒ නිසා ළඟදී එහෙම නිර්මාණයක් බාරගත්තෙ නැහැ. පසුගිය කාලයෙදී මම ඉන්දික ෆර්ඩිනැන්ඩුගේ අලුත් චිත්‍රපටයකට දායක වුණා. ඒක හරි අපූරු චිත්‍රපටයක්. බස් රථයක වෙන සිදුවීම් මාලාවක් එකතු කරලා තමයි ඒක නිර්මාණය කරලා තිබුණේ. ඒකෙ මම රඟපාන්නෙ කොළඹ රෝහලේ නතරවෙලා ප්‍රතිකාර ලබන අනුරාධපුරේ ඉන්න ආච්චි කෙනෙක්ගෙ චරිතයක්. තම සැමියාට අනුරාධපුරේදී අලියෙක් ගහලා කියලා ආරංචි වුණු මේ ආච්චි ඉස්පිරිතාලෙටත් හොරෙන්ම සේලයින් එක පිටින් තම මුණුපුරා එක්ක අනුරාධපුරේ බස් එකේ නැඟලා ගමට යන සිද්ධියක් තමයි ඒකෙ තියෙන්නෙ. මම හරිම ආසාවෙන් ඒ නිර්මාණයට දායක වුණා. මාස එකහමාරක් විතර අපි අනුරාධපුරේ ඒක ෂූටින් කළා.

හඳගමගේ අසන්ධිමිත්තා චිත්‍රපටයටත් ඔබේ දායකත්වය ලබාදීලා තියෙනවා?
ඔව්.. අසන්ධිමිත්තා කියන චිත්‍රපටයේ මම දායකවෙන චරිතයත් හරිම වෙනස්. මට රෝදපුටුවේ ඉඳගෙන රඟපාන්න තමයි තිබුණේ. ඒ චිත්‍රපටයට දායක වුණේ හරිම කැමැත්තෙන්.

ඔබේ ළමා කාලය ගෙවුණේ කොහේද...?
මම ඉපදුණේ හලාවත මාදම්පේ. ඉගෙන ගත්තෙ කරුක්කුව සුගතානන්ද මහා විද්‍යාලයෙ. පියා ව්‍යාපාරිකයෙක්. අම්මා රැකියාවක් කළේ නැහැ. හැබැයි අපේ තාත්තා ඉස්සර ටීටර් නළුවෙක්. තාත්තා කලාවට හරි කැමතියි. පවුලේ වැඩිමලා තමයි මම. මට මල්ලි කෙනෙකුයි නංගිලා තුන්දෙනෙකුයි ඉන්නවා. ඉස්කෝලෙදී මම කලාව පැත්තෙන් කැපීපෙනෙන ශිෂ්‍යාවක් වුණා. නැටුම් නටන්න, සින්දු කියන්න වගේම ක්‍රීඩාවටත් මම දක්ෂයි. මට ඉස්කෝලෙ යාළුවෝ කතා කළේ ටෙන්ඩිස් කියලයි. (අනුලා විවාහ වීමට පෙර අනුලා මෙන්ඩිස්) සමස්ත ලංකා නැටුම් තරගාවලිත් මම ගොඩක් දිනුවා. හැබැයි අපිට සංගීතය උගන්වන්න ගුරුවරයෙක් හිටියෙ නැහැ. හැබැයි නැටුම්වලට ගුණදාස මාස්ටර් හිටියා. එයාගෙන් මම නැටුම් ඉගෙන ගත්තා. ප්‍රාරම්භය, මධ්‍යම දෙකම මම පාස්. එතකොට උසස්පෙළ පන්තියෙදී මම හේවුඩ් එකට යන්න තමයි හිතාගෙන හිටියෙ. එතකොට පණිභාරත සර් හිටියෙ.

ඒ වුණාට ඔබට හේවුඩ් එකට යන්න හැකිවු‍ණේ නැහැ. එහෙම නේද..?
ඔව්.. ඔය කාලෙදී සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවට සේවකයෝ ගන්නවා කියලා පත්තරේක දැන්වීමක් දාලා තිබුණා. මට ඒ සඳහා සුදුසුකම් හොඳටම තිබුණා. ඒ වෙලාවේ මට ඕන වුණේ අම්මා තාත්තට බරක් නොවී ඒ දෙන්නට උදව් කරන්නයි. ඒ නිසා මම ඒ රැකියාවට අයදුම්පතක් දැම්මා. දැන් වගේ ඒ කාලේ රස්සාවල් ගන්න මැති ඇමැතිවරු පස්සෙ යන්න ඕනෙ නැහැ. සුදුස්සාට සුදුසු රස්සාව ලැබුණා. සම්මුඛ පරීක්ෂණයෙනුයි මට රැකියාව ලැබුණේ. මාදම්පේ සතොසටම මට පත්වීම ලැබුණා.

දිගටම මාදම්පෙ සතොසෙද වැඩ කළේ..?
නැහැ.. ටික කාලයක් එහේ ඉඳිද්දී මට කොළඹට මාරුවීමක් ලැබුණා. එතකොටත් මගේ නංගිලා ඉස්කෝලෙ යනවා. මම හැමදාම උදේ පාන්දර කොළඹට කෝච්චියෙන් රස්සාවට ආවා. හවස ආයෙමත් කෝච්චියෙන් ගෙදර ගියා. එතකොට මගේ වයස අවුරුදු දාහතයි. සමහර දවස්වලට කෝච්චි කැඩෙනවා. පීලි පනිනවා. ඉතින්.. රෑ වෙනවා. මඟ රස්තියාදු වෙනවා. හැබැයි කොහොම හරි රස්සාවත් කරගෙන ගියා.

රස්සාවක් කරපු ඔබ කලාවට සම්බන්ධ වුණේ කොහොමද..?
එක දවසක් අපේ කාර්යාලයේදී මම දිහා බොහොම ඕනකමින් තරුණයෙක් බලාගෙන ඉන්නවා මට තේරුණා. ටික වෙලාවකට පස්සෙ මම ඉන්න තැනට ආපු මේ තරුණයා අපි කලා කවයක් පිහිටුවා ගන්නවා. ඒකෙන් මම නාට්‍යයක් කරනවා. ඒකට එකතුවෙන්න පුළුවන්ද? කියලා ඇහුවා. ඔහුත් වැඩ කළේ සතොසෙම තමයි. ඔහු තමයි ආර්.ආර්. සමරකෝන්. එහෙම තමයි මම කලාවට එකතු වුණේ. අපි තමයි ආර්.ආර්. සමරකෝන්ගේ මුල්ම නාට්‍යකාරයො. අපේ ඔෆිස් එකේ උඩ තට්ටුවේ ලොකු ශාලාවක් තිබුණා. ඒකෙ තමයි අපි පුහුණුවීම් කළේ. 1968 දී සමරකෝන් එක්ක වේදිකාවට පය තියපු ගමන තමයි තාමත් මේ ගෙවාගෙන යන්නෙ.

සම්බන්ධ වුණු මුල්ම වේදිකා නාට්‍ය මොකක්ද..?
මුලින්ම ආර්.ආර්. නාට්‍ය දෙකක් කළා. ලෙඩක් නැති ලෙඩෙක් සහ චරිත දෙකක් කියන නාට්‍ය දෙකම සමරකෝන් කළා. චන්ද්‍රා කළුආරච්චිත් චරිත දෙකක් නාට්‍යයේ රඟපාන්න එකතු වුණා. 

තාත්තා ටීටර් නළුවෙක් වුණාට ඔබ කලාවට සම්බන්ධ වෙනවට ගෙදරින් කැමති වුණාද..?
තාත්තනම් කැමති වුණා. හැබැයි අම්මා ටිකක් අකමැති වුණා. ඒකට එකම හේතුව වුණේ ගෙදර එනකොට රෑ වෙන එකයි. අපි හැමෝම සතොසෙ වැඩ කරලා ඉවර වුණාට පස්සෙ තමයි පුහුණුවීම් කළේ. ඉතින් පුහුණුවීම් ඉවරවෙලා රෑ දහයට එකොළහට මට තනියම ගෙදර යන්න බැහැනෙ. ඒ නිසා අම්මා දවසක් කොළඹ ආවා. ඒ දවස්වල මම නැවතුණේ චන්ද්‍රලාගේ ගෙදරයි. ඉතින්.. අම්මා චන්ද්‍රලාගේ ගෙදරත් ආවා. මට එතන ආරක්ෂිතයි කියලා දැනගත්තට පස්සෙ අම්මත් කැමති වුණා. හැමදාම පුහුණුවීම් ඉවරවෙලා මහ රෑ මායි චන්ද්‍රායි එයාලගේ ගෙදර ගියා. එහෙම තමයි අපි නාට්‍ය පුහුණුවීම් කළේ. හැබැයි කොච්චර මහන්සිවෙලා පුහුණුවීම් කටයුතුවල නිරත වුණත් අපිට ඒක ගාණක් තිබුණේ නැහැ. අපි හැමදේම කළේ හරිම සතුටින්. චරිත දෙකක් නාට්‍යයෙන් පස්සෙ බර්ටි ගලහිටියාව ගුවන්විදුලියේ කරපු රාවණා නාඩගම නාට්‍යයේ සීතාට මාව තෝරාගත්තා.

ඔබ  හෙන්රි ජයසේනයන්ගේ කුවේණි නාට්‍යයේ කුවේණිටත් රඟපෑවා නේද..?
ඔව්.. හෙන්රි ජයසේනගේ කුවේණි නාට්‍යයේ කුවේණිට රඟපෑවේ මානෙල් (මානෙල් ජයසේන). ඉතින් ඔහොම රඟපාමින් ඉඳිද්දී මානෙල් දරුවෙක් බලාපොරොත්තුවෙන් හිටපු නිසා වැඩිය වෙහෙසෙන්න එපා කියලා වෛද්‍යවරු උපදෙස් ලබාදීලා තිබුණා. ඔය කාලෙදී මම රඟපාපු රාවණා නාඩගම හෙන්රි බලලා තිබුණා. ඒ නිසා මට කුවේණිගේ චරිතයට කතා කළා. කාලයක් මම කුවේණි විදිහටත් රඟපෑවා.

වේදිකා නාට්‍ය එකින් එක වැඩිවෙද්දී ඔබ රුකියාවෙන් ඉවත් වුණාද..?
නැහැ නැහැ. රස්සාවත් කළා. ඒ වෙනකොට මම විවාහවෙලා හිටියෙ නැහැ. රට පුරා නාට්‍යවලට සම්බන්ධ වුණා. විවාහ වුණාට පස්සෙත් ඒ හැමදේම හරි පිළිවෙලට කරගෙන ගියා. ලෙස්ලි බොතේජු නිර්මාණය කරපු කතෝලික නාට්‍යයක මම මරියාගේ චරිතයට රඟපෑවා. සුගතපාල ද සිල්වාගේ නාට්‍යවල රඟපෑවා. ලූෂන්ව මට මුණගැහෙද්දී මම වේදිකාවට සම්බන්ධ වෙලා ඉවරයි. ටවර්හෝල් රඟහල 1978 පුනරැත්ථාපනය කරපු වෙලාවේ නාට්‍ය තුනක් කළා. ඒ සිරිසඟබෝ, ශ්‍රී වික්‍රම, සමුද්‍රදේවි නාට්‍ය තුනයි. ඒකෙදී ශ්‍රී වික්‍රම නාට්‍යයේ ඇහැලේපොළ කුමාරිහාමිගේ චරිතයට රඟපෑවේ මමයි. ඒ නාට්‍ය බොහෝ ජනප්‍රිය වුණා.

ඔබ වේදිකා නාට්‍යවල රඟපෑවා වගේම වේදිකා නාට්‍ය ගීත පවා ගායනා කළා. ඒ අවස්ථාව උදාවුණේ කොහොමද..?
මම රස්සාවට යන අතරතුරදී ගුවන්විදුලි වර්ගීකරණයේදී A ශ්‍රේණියේ ගායිකාවක් වෙලා ගුවන්විදුලියේ සරල ගී ගායනා කළා. හැබැයි මම සංගීතය හදාරලා තිබුණේ නැහැ. ඔය කාලෙදී මගේ දුවටයි පුතාටයි සංගීතය කරන්න ඕන වුණා. මුලින්ම නන්දා මාලිනී ළඟ ඉගෙන ගත්තා. ඊටපස්සෙ මාලනී බුලත්සිංහල ළඟ ඉගෙන ගත්තා. පස්සෙ මුදුන්කොටුව මහත්තයගේ එරන්දතී කලායතනයෙත් ඉගෙන ගත්තා. මම මුදුන්කොටුව මහත්තයගේ ගෙදරට එක්කගෙන ගිහින් දරුවන් දෙන්නට පුහුණුවීම් කෙරෙව්වා. ඒ අතරේ මමත් ඉගෙනගෙන සංගීත විභාගවලට පෙනී ඉඳලා සමත් වුණා. උත්තර භාරතීය රාගධාරී සංගීතයේ ඩිප්ලෝමාවක් මට තියෙනවා. මම ඒ ඩිප්ලෝමාව ගනිද්දී ගුවන්විදුලියේ A ශ්‍රේණියේ ගායිකාවක්. විශාරද විභාගය ගන්න මට බැරි වුණා. ඔය කාලෙදී වේදිකා නාට්‍ය රට පුරා ගියා. ඒ කාලෙදී පුදුම දුකක් වින්දා. හරියට යන්න වැසිකිළියක් නැහැ. නින්දක් ඇත්තෙම නැහැ. සමහරුන්ට වාහනයේ නින්ද ගිහින්. බ්‍රේක් ගහද්දී සීට් එකෙන් බිමටත් වැටෙනවා. හැබැයි කවුරැත් ඒ දුක කලකිරීමක් කරගත්තෙ නැහැ. අපේ කට්ටිය හරි එකතුයි.

එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ නිර්මාණවලටත් දායක වෙන්න ඔබට අවස්ථාව ලැබුණා. ඒ අවස්ථාව ලැබුණේ කොහොමද..?
මගේ රතු හැට්ටකාරි නාට්‍ය බලපු සරච්චන්ද්‍ර මහත්තයා මට මුණගැහීම අවශ්‍යයි කියලා පොඩි ලියුම් කෑල්ලක් එවලා තිබුණා. ඊටපස්සෙ මම ඔහු මුණගැහෙන්න ගියා. ඒ කාලෙදී ඔහු මනමේ කරනවා. මාව මනමේ කුමාරියට තෝරාගත්තා. අපි පුහුණුවීම් කළා. සරච්චන්ද්‍ර මහත්තයා මට ගැලපෙන කුමාරයෙක් වේදිකාවෙන් හෙව්වා. ඒ කාලේ කුමාරයෙක් ඔහුට මුණගැහුණේ නැහැ. කිහිප දෙනෙක්ම ගෙනාවට හරි ගියේ නැහැ. මම මාස දෙකක් විතර පුහුණුවීම් කළා. කුමාරයෙක් නැති තැන මනමේ එතනින්ම ටික දවසක් නතර වුණා. ඊටපස්සෙ මහාසාර නාට්‍ය කරන්න පටන් ගත්තා. ඒකෙ මහාසාර රැජනට තෝරාගත්තෙ මාවයි. ඔය කාලෙදී මම රතු හැට්ටකාරි රඟපානවා. මහාසාර රඟපානවා. රතු හැට්ටකාරි ඉවරවෙලා ඒ බස් එකෙන් මහාසාර බස් එකට නඟිනවා. ඔන්න ඔහොම නාට්‍ය ගණනාවක රඟපෑවා. දයානන්ද ගුණවර්ධන කරපු මධුර ජවනිකා වේදිකා නාට්‍යයත් හරි ජනප්‍රිය වුණා. බොහෝ චරිත මම රඟපෑවේ ඉතිහාසයේ සිටි සැබෑ චරිතයි. ඒ ගැන මම ගොඩක් සතුටු වෙනවා. වේදිකාවේ වගේම පුංචි තිරයෙත්, සිනමාවෙත් බොහෝ නිර්මාණවලට මට දායක වෙන්න අවස්ථාව ලැබුණා. රූපවාහිනියේ මම මුලින්ම රඟපෑවේ ලූෂන්ගේ සෝමාගේ සිහිනය කියන ටෙලිනාට්‍යයි.

පසුගිය කාලෙදී ඔබ අසනීප තත්ත්වයෙනුයි පසුවුණේ. ඇත්තටම මොකද වුණේ..?
මට ආතරයිටීස් රෝගය තිබුණා. ඒක මට එච්චර ගාණක් වුණේ නැහැ. ගෙදර වැඩ කළා. නාට්‍ය කළා. බෙහෙත් කළා. ඒකට ගත්ත බෙහෙතක් එකදිගට ගැනීම නිසා මට එකපාරටම අසනීප වෙලා මාව හොඳටම කෙට්ටු වුණා. තව අසනීප කිහිපයක් ඇතිවුණා. දැන්නම් ඒ රෝග හොඳයි. හැබැයි කෙට්ටු වුණු එක අඩුකරගන්න බැරි වුණා. තාමත් ඇඟට ටිකක් මහන්සියි. වෙනදා තරම් මහන්සිවෙලා වැඩ කරන්න බැහැ. දැන්නම් ගොඩක් දුරට හොඳයි.

ඔබේ ආදරණීය දියණිය සහ පුතාත් කලාවට සම්බන්ධකම් කියන දෙන්නෙක්..?
ඔව්.. අපේ දුව දැන් ඉන්නෙ ඔස්ට්‍රේලියාවෙ. චාපා ප්‍රේමසිරි කේමදාසයන්ගේ හොඳ ගෝලයෙක්. දුවට ඕස්ට්‍රේලියාවට ශිෂ්‍යත්වයක් ලැබුණා. මීට අවුරුදු ගණනාවකට උඩදී දුව ඔස්ට්‍රේලියාවට ගියා. ඔපෙරා ගැන එයා බොහෝ දේ ඉගෙන ගත්තා. දැන් එයා ඒ රටේ හොඳ ඔපෙරා ගායිකාවක්. එයා දැන් විවාහවෙලා ඉන්නෙ. නිවාඩුවට ලංකාවටත් ආවා. දුව ගැන මට සතුටුයි. ඒ වගේම තමයි පුතා හර්ෂ. පුතා කැනඩාවට ගිහින් Audio engineering ඉගෙනගෙන ලංකාවට ආවා. නමුත් ඔහු ඉගෙන ගත්ත දැනුමෙන් මේ රට නිසි ප්‍රයෝජනයක් ගත්තෙ නැහැ. ළඟදීම හර්ෂ නැවතත් කැනඩාවට යන්න බලාපොරොත්තු වෙනවා. දරුවන් දෙන්නා ගැන මට සතුටුයි. ඒ අය එයාලගේ හැකියාවත් එක්ක එයාලගේ ගමන යනවා.

 

► Text - Dishani  /   Pic -  Sumudu