2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා

පැදුරු පාටියේ බයිලාකාරයා මමයි

 2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 431

ශ්‍රී ලංකා ටෙස්ට් ක‍්‍රිකට් පිලේ ආරම්භක පිතිකරු කෞෂාල් සිල්වා සංගීතයට වඩාත් ප‍්‍රිය කරන චරිතයක් බවට ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් අතර ප‍්‍රසිද්ධියක් උසුලනවා. ඔහු සංගීතයේදී ක‍්‍රිකට් ක‍්‍රීඩාවට හාත්පසින්ම වෙනස් චරිතයක් බව ඔහුගේ සමීපතමයෝ කියනවා. පිතිකරුවකු ලෙස වඩාත් තැන්පත්ව පන්දුවට පහරදීමට ප්‍රසිද්ධ කෞෂාල් ගීත ගායනයේදී වේග රිද්මයේ ගීතවලට වඩාත් හපනෙක්ලු. ඒ හින්දම අපි කෞෂාල් එක්ක කතා කළේ සංගීතය ගැන.

කෞෂාල් සිල්වා සංගීතයට වඩාත් ඇළුම් කරනවා කියලා කියන්නේ ඇත්තද?
ඔව්. මම සංගීතයට කැමතියි. මම කවදත් සංගීතය, එසේ නැත්නම් ගීත රස විඳිනවා. නමුත් මට සංගීතය ඉගෙන ගන්න කියලා ආසාවක් තිබුණේ නෑ. 
මම පොඩි කාලේ ඉඳලම අහන්න කැමති වේග රිද්මයේ ගීත තමයි. බොහෝ දෙනෙක් කියන්නෙ 6, 8 කියලා එවැනි ගීත තමයි. තවත් විදියකට කියනවා නම් නැගලා යන ගීත. මම බයිලා ගීතවලට ගොඩක් ප්‍රිය කරනවා. 

ඔබ කැමතිම ගායකයා සහ ගායිකාව කවුද?
මම ගොඩක් කැමතියි ක්ලැරන්ස් විජේවර්ධන මහත්මයාගේ ගීත අහන්න. මම තරගවලට යන වෙලාවටත් ක්ලැරන්ස්ගේ සින්දුවක් රස විඳිමින් තමයි යන්නේ. ක්ලැරන්ස්ගේ ‘මංගෝ කළු නැන්දේ’ ගීතය තමයි මගේ ප‍්‍රියතම ගීතය. ඔහුගේ ගොඩක් ගීතවලට මම ආසයි. චම්පා කල්හාරි මහත්මියගේ ගීතවලටත් මම ගොඩක් ප‍්‍රිය කරනවා. ගායිකාවෝ කියලා නම් විශේෂයක් නෑ ගීත අහනවා. මම ඉංග‍්‍රිසි ගීතවලට ගොඩක් ආසයි. රිහානාගේ ගීතවලට වඩාත් ප්‍රිය කරනවා. 

 මෑතකදී නැරඹූ සංගීත ප‍්‍රසංගය මොකක්ද?
පසුගිය කාලේ තරග තිබුණ නිසා ලංකාවෙ නම් මෑතකදී යන්න බැරිවුණා. නමුත් විදේශ සංචාරවලදී ප‍්‍රසංග බලන්න ගිහින් තියෙනවා. මෑතකදී එංගලන්ත සංචාරයකට ගිය අවස්ථාවක මමයි භාග්‍යයයි ගියා සංගීත ප‍්‍රසංගයක් බලන්න.

 මේ දිනවල ඔබේ මතකයේ නිරන්තරයෙන් තිබෙන ගීතය මොකක්ද?
එහෙම එක ගීතයක් කියලා කියන්න බෑ. කාලයෙන් කාලයට ඒක වෙනස් වෙනවානේ. බයිලා ගීතවලට තමයි මම වඩාත් කැමති. එවැනි ගීත තමයි ඉතින් මතකයේ තියෙන්නේ. 

ඔබේ බිරිය කලාවට සම්බන්ධයි. ඇයත් ගායිකාවක්. ඇයට ඔබෙන් ලැබෙන සහයෝගය කොහොමද?
ඇය කේමදාස සර් ළඟ සංගීතය හදාරලා හොඳ දැනුමකුත් තියෙනවා. මම ඇයට නිරන්තරයෙන් කියනවා සංගීතය අත්හරින්න එපා කියලා. නමුත් ඇය ඒ තරම් උනන්දුවක් නෑ. 

ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ සංචාරවලදී ගීත ගායනා කරනවනේ එහිදී ඔබ වඩාත් ප‍්‍රිය කරන්නේ කාගේ ගීතද?
අපි සංචාරවලට යන විට බස් එකේදී ගීත ගායනා කරනවා. ඊට අමතරව අපිට තරග නැති දිනවලදී ගීත ගායනා කරන්න පැදුරු පාටි වගේ ඒවා සංවිධානය කරනවා. එහිදී චම්පක අයියා (චම්පක රාමනායක) තමයි වැඩියෙන්ම සින්දු කියන්නේ. ඇන්ජි (නායක ඇන්ජලෝ මැතිව්ස්), චන්දි (දිනේෂ් චන්දිමාල්) අපි හැමෝම සින්දු කියනවා. මගේ අවස්ථාව එන්නේ පස්සෙනේ. ඇයි බයිලා කියන්නේ ඉවරවෙන්න ළං වෙලානේ. එහිදී මම සින්දු කියනවා.   

Text – Yohan

 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00