ගී පද රචනය - බන්දුල නානායක්කාරවසම්
සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය - නිරෝෂා විරාජිනී
අනවසරයෙන් මම ඇගේ දිනපොත දිගහරිමි.
ජීවිතේ දුක්බරම කවියක
අකුරු අකුණක් පුපුරලා ගිය
පපුව හරි මැද හිස තියා මම
හඬමි ඒ දුක් නියංසායට
රෑ රැහැයියන් හඬන මැදියම
පහන් තරුවක් සොයා ඉකිලන
සිතේ අසරණ මහෝඝයමැයි
හමා එන්නේ සුළං වී අද
පමා වී ආ වසන්තය අස
රිදුම් බොහොමැයි දරා හිනැහෙන
සසර මෙතෙකින් නිම නොවන සඳ
කඳුළු සඟවා හිඳින්නම් මම...
තවත් පිටුවක් පෙරළන්නට මගේ ඇඟිලි තුඩු මට කියයි.
දෙවියන් වහන්සේ මට දිව්‍යමය ප්‍රේමය කිමැයි ඉගෙනගන්නට මිනිසත් වෙසින් ආ දෙවියකු මුණගස්වා තිබේ. එහෙත් දෙවියන් වහන්සේගේ කැමැත්ත ඒ ප්‍රේමයේ අයිතිය මගේ ඉරණමේ හිමිකමක් බව ලියා තැබීම නොවේ.
එහෙත්..
නොහඬා ඉන්නම් ගිලිහුණු දා පෙම් ලොව මල්දම්
දුටුව නිසා ආදරයේ දෙව් රුව ඔබගෙන් මං
මම ඇගේ දින පොත වසාලමි. එහෙත් මම ඇගේ හදවත කියවමි. ප්‍රේමයේ විරහී වේදනාවේ අප්‍රමාණතාවය කොතෙක්දැයි කියනු කුමකට? සොබාදහම මහා ගිනි කඳු ලෙස අවුළුවන්නේ ඒ විප්‍රයෝග ප්‍රේම කතන්දරවල නොදැවුණු භෂ්මාවශේෂයැයි මට සිතේ. මන්දමාරුත වී හිතුවක්කාර ලෙස හමා යන්නේ ඒ සුසුම්සරයැයි මට හැඟේ. අසෙනි වැහි වී මහා පොළොව දෙදුරැම් කවන්නේ ඇස් අග්ගිස්සට නොපැමිණ හදවත් දෙවොල් තුළ සඟවා දරා හිඳින අසංඛ්‍යක් කඳුළු කැටයැයි මට දැනේ. දෙවියන් අස දෙවියන් වෙනුවෙන් බැතින් දල්වාලූ ප්‍රේමයේ පහන දෙවියන් විසින්ම සොරා ගත් නිමේෂයක...
සිනා තොටක් විය ඔබ පාමුල මා ලද සරදම්
මහෝඝයක් විය ඔබෙන් ලැබූ අපමණ අභිමන්
නොහඬා ඉන්නම් ගිලිහුණු දා පෙම් ලොව මල්දම්
දුටුව නිසා ආදරයේ දෙව් රුව ඔබගෙන් මං...
වෙන කුමක් කියන්නද?
ප්‍රේමයේ නිර්වචනය අයිතිය නොවේ. ප්‍රේමයේ නිර්වචනය යුතුකම් වගකීම් නොවේ. ප්‍රේමයේ බන්ධනය අනුරාගය නොවේ. ප්‍රේමයේ පහන්සිල සංතෘෂ්ටිය නොවේ. ප්‍රේමයේ නිර්වචනය නිර්වාණය මිස අනෙකක් නොවේ. ඉදින් ප්‍රේමයේ මහරැත් මෙයැයි අරුත් පසිඳිනු කෙළෙසද?
ලෝකය කියන සම්මතය අබිමුව මම නිරපේක්ෂක වෙමි. එහෙයින් මම අසම්මතය නොපිළිගනිමි. මගේ හෘද සාක්ෂිය නැමැති විනිසුරු හා පමණක් මම එකඟ වෙමි. ඉඳින් මා නිදහස්ය. එහෙත් තටු විදා මගේම අහසක ඉගිල්ලෙන්නට සැරසෙද්දී විස කටු ඇනී ඒ පියාපත් සීරෙයි. සීරුණු පියාපත් ගැඹුරින් ලේ ගලා යයි. ඒ වේදනාබර හැම තුවාලයක්ම රිදුමක්ම අවසානයේ මට මා අහිමි කර ඇත. මා මගෙන් උදුරාගෙන ඇත. තීරකයා ලෝකය වූ කලී.. වරදකරුට පළමු ගල ගසන්නට ලෝකයම එක පෙළට පෙළ ගැසෙද්දී, ප්‍රේමයේ මහරුත් මේ නිරුදක කතරේ සරණ අධ්‍යාත්මික දුගීන්ට නොවැටහෙද්දී...
සිනා තොටක් විය ඔබ පාමුල මා ලද සරදම්....
ඔබෙන් සහ ඔබ නිසාත් මම සරදම් ලැබුවෙමි. මගේ ප්‍රේමය මගේ භක්තිය මටම මිස ඔබටවත් නොවැටහෙද්දී මම ඔබටත් රහසින් හඬා වැටුණෙමි. එහෙත් ඔබ අබිමුව සිනා තොටුපොළක් ඉහිරැවා මම කඳුළු කැට සඟවා ගත්තෙමි. ඔබ මහා කන්දක් වූ සඳ මම ඒ කඳු පාමුල ළපල්ලක් වීමි. ඒ ගිරිහිස මුදුනත ඔබ පුර සඳක් වී වැඩි දා ඒ සඳ රුස් අංශුමාත්‍රයකට අනන්තයක් වී පෙම් කළ බිම් තීරය මම වීමි. ඔබ මහා සාගරයක් වූ කල මම මුව දොරක් මුණගැසෙන තෙක් ඔබ සොයා ආ ගංඟාවක් වීමි. ඒ සා ඉවසන්නට කරුණු කිම්දැයි විමසනු මැනවි.
මහෝඝයක් විය ඔබෙන් ලැබූ අපමණ අභිමන්..
ඉඳින්.....
නොහඬා ඉන්නම් ගිලිහුණු දා පෙම් ලොව මල්දම්
දුටුව නිසා ආදරයේ දෙව් රුව ඔබගෙන් මං ...
ඔබ මගේ ගෙල පැලැන්දු ප්‍රේමයේ සුවඳැති මල්දම පරවී පෙති ගිලිහෙනදා මම නොහඬමි. හඬන්නට කඳුළු නැති නිසාවෙන් නොව ආදරයේ දෙවියන් මම ඔබෙන් දුටු නිසා... ආදරයේ දිව්‍යමය උත්තරීරත්වය මම ඔබෙන් දැන හඳුනාගත් නිසා මම නොහඬා දරාගන්නෙමි ඒ ලසෝ දුක...
බෝසත් ඔබ සිත ළඟ උවැසිය වී දැහැනට වී
සිටියා මිස නොදනිමි කොහි සිටියාදැයි මලවී
බෝසත් සිත් මේ සසර සුවිසැරියේ හමුවීම විරල අහම්බයකි. නොඉල්ලා කිසිවක්ම බොහෝ දේ දන්දෙන්නට සොබාදහමටම මිස කිසිවෙකුටවත් හැකිදැයි මම විමසමි... ඔබට ඔබටත් වඩා කෙනකුට ප්‍රේම කළ හැකිනම් දාන පාරමිතාවක් පූරණය කරන උත්තුංග බෝසත් හදවතක් ඇත්තේ එතැන පමණකි. ජීවිතය පුණ්‍ය තීර්තයක් වූ අතීතයේ එක් කාල පරිච්ඡේදයක ඒ බෝසත් සිතකට මමත් පෙම් කළෙමි. ඒ බෝසත් සිත පාමුල ප්‍රේමයනම් දැහැනට සමවැදී මා ඔබ වෙනුවෙන්ම පේ වුණෙමි. දාසියක වී මෙහෙ කළෙමි. උවැසියක වී උවටැන් සත්කාර කළෙමි. සැබැවින්ම මා ඔබෙන් උගත්තේ ප්‍රේමයද ප්‍රේමයේ නිරාමිස විරාගිකත්වය ද මම නොදනිමි. සාමිස ආශාවන්ගෙන් අපේ ප්‍රේමය නමැති මහා ගස මල් පල නොදරද්දී...
පුදසුන් මත මියයද්දී සහසක් මල් පරවී
නොපිදූ මල තවමත් ඇත ඔබ ගැන බැතිබර වී
තවමත් මා ඉකි නොබිඳී කන්‍යා ලේ කඳුළක අයිතිකාරියක වී හිඳිමි. සහසක් මල් සුබ නැකත් අහිමිවම පර වී යද්දී ඔබ ගැන භක්ත්‍යාදරයෙන්ම මා කිසිවෙකුටවත් නොපිදූ මගේ ප්‍රේමයේත් පවිත්‍රත්වයේත් පුෂ්පය දරා හිඳිමි.
ඔබෙන් මිඳුණු ලොව.. ඔබ අහිමි ලොව.. ඔබ දුරස් ලොව මට වේදනාවේ උල්පත් උපද්දවන වේදනා සාගරයක් වුවත්..
මගෙන් මිදුණු ලොව ඔබට මිහිරිනම් එය සැපකී..
මගේ සතුට නොව ඔබේ සතුට මට මගේ සතුටයි. ජීවිතයේ දුක් වේදනා දෝමනස්ස අකුරැකර මුදාහල සැනසිල්ලේ නිම්නය ඔබම විය, ඒ නිම්නයේ සුවසේ හිස තබා වැතිරෙන්නට නොව ඇසිල්ලක් ගිමන් හරින්නට නවතින්නටවත් ඉඩක් නැති සඳ එය දරාගන්නේ කෙලෙසකදයි කියාදෙන්නටවත් ඇසිල්ලක් ඔබ එනවනම්...
එහෙත් ඔබ නේන බව දනිමි.. මක්නිසාදයත්,
මෙවැනි බැඳුම් අදහනු බැරි ලෝකය සිරගෙයකී..
එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකී
ප්‍රේමය ප්‍රේමය ලෙසින් කිසිදිනෙක වටහා නොගත් ලෝකයම මහා සිර ගෙයකි.
එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකි..
අවසන උරුමය සිඳු දිය පරදවන වේදනාවේ විප්‍රයෝගයේ නොසිඳෙන උල්පතක්නම් අප හමුනොවී සිටියානම්යැයි කියනු මිස වෙන කුමක් කියන්නද මං..
ප්‍රේමය නිර්වාණයකි....
බෝසත් සිතක් අස විදසුනක් සේ වැඩිය හැකිනම්....
► දන්ත ශල්‍ය වෛද්‍ය අසේල විජේසුන්දර