2019 මාර්තු 30 වන සෙනසුරාදා

සින්දු පනහක් ගැයුවත් සද්දයක් නැති ශානිකා...

 2019 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 136

ශානිකා මේ වනවිට ඔබ ගීත පනහකටත් අධික සංඛ්‍යාවක් ගායනා කරපු ගායිකාවක්. ඔබේ ළමා කාලය ගෙවුණ මතකය පොඩ්ඩක් අවදි කළොත්..
ඔව්.. මම ඉගෙනගත්තේ නුගේගොඩ ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයෙන්. මම පුංචි කාලේ ඉඳන් හැදුණේ වැඩුණේ කිරුලපල පොල්හේන්ගොඩයි. මම තමයි පවුලේ වැඩිමලා. මට තව නංගි කෙනෙක් ඉන්නවා. ළමා කාලය හරිම සුන්දරයි. පුංචි කාලේ ඉඳන් මම සංගීතයට හරි කැමතියි. මගේ අම්මට හරි ලස්සනට සින්දු කියන්න පුළුවන්. මගේ තාත්තා ගීතයට හොඳ රසවතෙක්. අපේ ගෙදර මම පුංචි කාලේ තාත්තා අපිට හොඳ සින්දු තමයි අහන්න දුන්නේ. විශේෂයෙන් සුභාවිත ගීත වැඩිපුර අහන්න සැලැස්සුවා. ඒ නිසා මම නිතරම එවැනි ගීත ඇහුවා. අපේ අම්මාගේ හැකියාවත් මට තියෙන්න ඇති. හැබැයි පුංචි කාලේ මම එහෙම හැමවෙලේම ගීත ගායනා කළෙත් නැහැ.

ශානිකාට ගීත ගායනා කිරීමට පාසල උදව් වුණේ කොහොමද?
පාසලේදී මට සංගීතය උගන්වපු මගේ ගුරුවරිය තමයි ශ්‍රියා කාරියවසම් ගුරුතුමිය. එතුමිය පාසලට ආවට පස්සේ තමයි මම ගීත ගායනා කරන්න පටන්ගත්තේ. එතකම් මම සින්දු කියන්න එච්චර කැමැත්තක් තිබුණේ නැහැ. අපිට හය වසරෙදී කලා විෂය තෝරාගනිද්දි ශ්‍රියා ටීචර් මේ ගීතය හොඳට කිව්වොත් සංගීතෙට ගන්නවා කියලා අපිට කියලා තිබුණා. ඉතින් මම හොඳට ඒ ගීතය ගායනා කළා. එදා ඉඳන් ඉස්කෝලෙ හැම කලා කටයුත්තකදීම සංගීත තරගවලටම මාව තෝරගත්තා. බොහෝ තරගවලින් මම ජයග්‍රහණය කළා. ඊටපස්සේ මම නුගේගොඩ කලාභූමියට ඇතුළත් වෙලා ආනන්ද වීරසිරි සර්ගෙන් සංගීතය වැඩිදුර හැදෑරුවා.

පුංචි කාලේ හීන දැක්කකේ සංගීත ගුරුවරියක් වෙන්නද?
එහෙම ලොකු හීනයක් පුංචි කාලේ මගේ හිතේ තිබුණේ නැහැ. හැබැයි මගේ සංගීත ගුරුවරිය නිසා මම සංගීත ගුරැවරියක් වෙන්න ආස කළා. ශ්‍රියා ටීචර්ගේ ඉගැන්වීම, ඒ ආදරය වගේම කවදාවත් ගායිකාවක් වෙන්නනම් හීන දැක්කේ නැහැ. කලා භූමියට ආවට පස්සේ රෝහණ වීරසිංහ සර්ගේ, ලක්ෂ්මන් විජේසේකර සර්ගේ සංගීත කටයුතුවලට මටත් දායක වෙන්න අවස්ථාව ලැබුණා. ඒක මට ලැබුණු ලොකු අවස්ථාවක්. එදා ඉඳන් වසර දහයක් දොලහක් මම ඒ සංගීත කටයුතුවලට දායක වුණා.

ශානිකා ටෙලි නාට්‍ය පසුබිම් ගායනයටත් සම්බන්ධ වෙනවනේ. ශානිකා දායක වුණු මුල්ම ටෙලිනාට්‍ය මොකද්ද?
මම ගායනා කරපු මුල්ම ටෙලිනාට්‍ය ඕලූ ටෙලිනාට්‍යයයි. ඊට කලින් ටෙලි නාට්‍ය කිහිපයකට සම්බන්ධ වෙලා තිබුණා. නමුත් ප්‍රධාන විදිහට පසුබිම් ගායනයෙන් සම්බන්ධ වුනේ ඕලු ටෙලිනාට්‍යයෙන්. ඒකෙදි තේමා ගීතයත් ඇතුළුව සින්දු හතරක් ගායනා කරන්න මට අවස්ථාව ලැබුණා. ඊටපස්සේ ජීවිතේ ලස්සනයි ටෙලි නාට්‍යයේත්, කළුවර ගෙදර, නවරත්න මහතා අධ්‍යක්ෂණය කරපු ටෙලි නාට්‍ය ගීත බොහොමයකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. කළුවර ගෙදර ටෙලිනාට්‍යයට ගීත ගායනා කිරීම නිසා සිඩ්නිස් සම්මානය මටයි, නන්දා මිස්ටයි, සුනිල් එදිරිසිංහ සර්ටයි ලැබුණා.

චිත්‍රපටවල පසුබිම් ගායනයට ශානිකානට අවස්ථාව ලැබුණේ නැද්ද?
නැහැ. තාමනම් එහෙම චිත්‍රපට පසුබිම් ගායනයටනම් අවස්ථාව ලැබුණේ නැහැ. ඕලු ටෙලිනාට්‍ය විකාශනය වෙන කාලෙදිම මම මගේම ගීත කිහිපයක් එළිදැක්වූවා. අද වෙනකොට මගේම ගීත පනහක් විතර නිර්මාණ කරලා තියෙනවා.

මෑත කාලයේදී ශානිකා ගායනා කරපු දිසාපාමොක් ඇදුරුතුමණී ගීතයට හොඳ ප්‍රතිචාරයක් ලැබුණනේ. ඒ ගීතය ශානිකාට ලැබුණේ කොහොමද?
ඔව්.. දැන් ඒ ගීතය පටිගත කරලා අවුරුද්දක් විතර වෙනවා. දැන් අපේ ගීත වැඩිපුරම ජනප්‍රිය වෙන්නේ මුහුණපොත හරහනේ. ඒකෙදි හඳුනාගත්තු සර් කෙනෙක් තමයි නන්දසේන කීඹියහෙට්ටි මහත්මයා. ඔහු රුහුණු විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා ආචාර්යවරයෙක්. මට ඔහු ගීත කිහිපයක් දීලා තිබුණා. මම ගීත ගයද්දි එහි පද රචනාව ගැන හොඳට හිතනවා. ඇත්තටම කීඹියහෙට්ටි සර්ගේ පද රචනාවල හරි වෙනසක් මම දැක්කා. ඒ හැම පද රචනාවක්ම ලස්සනයි. ඒ අතුරින් තමයි මම දිසාපාමොක් ඇදුරුතුමනි කියන පද රචනාව තෝරාගත්තේ. මේ ගීතයෙන් විශ්ව විද්‍යාල ජීවිත ගැන කියවෙන බොහෝ දෙනා කතා කරන්න බය මාතෘකාවක් තමයි කතා කරන්නේ. සමාජයේ පවතින අඳුරු පැතිකඩක් මෙම ගීතය හරහා කතාබහක් කෙරෙනවා. මෙය සංගීතවත් කළේ සමන්ත පෙරේරා මහතායි.

දිසාපාමොක් ඇඳුරුතුමනී
තක්සලාවෙන් යන්න අවසර
හොඳම සිසුවිය නොවී මඟහැර
රැගෙන යන්නම් කුමරි බඹසර
පුරා සූසැට කලා භූෂණ
රන් පදක්කම් දිනා ගෙල පළඳන්
උපාධියේ කළු කබායෙන්
කෙසේ සඟවමි රතු පලස් මත
තිබෙන කඩතොලු තැන්

ඇත්තටම මේ ගීතයට බොහෝ දෙනා කැමති වුණා. මගේ හදවතට ඒ ගීතය දැනුණා. මේ වගේ අදහස් තියෙන ගීතයක් ඊට පෙර තිබුණෙත් නැති නිසා මම මේ ගීතය තෝරාගත්තා.
ශානිකා දරකැවන් තුන්දෙනෙක්ගේ ආදරණීය අම්මා කෙනෙක්. ඒ පුංචි පවුල ගැනත් ටිකක් විස්තර කියන්න.

ඔව්. මම විවාහ වුණේ රවීන් හෙට්ටිආරච්චි එක්කයි. එයා නිසා තමයි මම සංගීතයටත් වැඩිපුර නැඹුරු වුණේ. මම අද ජනප්‍රිය නොවුණාට මේතාක් දුර මාව ගෙනාවෙ එයයි. මම ගොඩක් පිටිපස්සට යන චරිතයක්. මගේ පාඩුවේ පැත්තකට වෙලා ඉන්න චරිතයක්. ඒ නිසා අද වෙනකම් මට මේ ගමන යන්න ලොකු හයියක් වුණේ රවීන්. එයාව මට මුණගැහෙන්නේ සංගීත කටයුත්තකදී. කලාභූමියේ අපි කට්ටිය පැහැසර මතකය කියන ප්‍රසංගයක් පැවැත්වුවා. ඒකෙදි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේදී තමයි රවීන්ව මට මුලින්ම මුණගැසුණේ. දැන් අපිට දුවයි, පුතාලා දෙන්නයි ඉන්නවා. ලොකු දුව තනුල්යා හෙට්ටිආරච්චි. දෙවැන්නා සේනුල හෙට්ටිආරච්චි, චූටියා චත්මල් හෙට්ටිආරච්චි.

මේ දවස්වල මොනවද කරන්නේ?
මේ දවස්වලත් ගීත කිහිපයක් කරන්න බලාපොරොත්තු වෙනවා. මුහුණු පොත හරහා මට හොඳ ගීත පද රචනා කිහිපයක්ම ලැබුණා. ඉතින් ඒ වගේ ලැබුණු ගීත හතරක් විතර ඉදිරියේදී අහන්න පුළුවන් වේවි.

 

► Text - Dishani / Pic – Internet