2019 මාර්තු 30 වන සෙනසුරාදා

වීදි ළඳුන්ගෙන් තරුවට පාඩමක්

 2019 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 55

ජූලියා රොබට්ස් කියන්නේ හොලිවුඩය බිහිකරපු ජනප්‍රියම සිනමා තාරකාවක්. විශේෂයෙන්ම අනූව දශකයේ තිරගත වුණු ප්‍රිටි වුමන් (Pretty Woman) චිත්‍රපටය හරහා ඇය ගොඩක් ජනප්‍රිය වෙනවා. ප්‍රිටි වුමන් චිත්‍රපටයේ ඇයට තිබුණේ ගණිකාවකගේ චරිතයක් රඟපාන්නයි. ඇය ඒ චරිතය රඟපාන්න ගත්ත කැපකිරීම ගැන මෑතකදී නැවත කතාබහක් මතුවෙලා තිබුණා. මේ ඒ ගැනයි. 

ප්‍රිටි වුමන් අධ්‍යක්ෂණය කළේ ගැරී මාර්ෂල් කියන හොලිවුඩ් අධ්‍යක්ෂකවරයායි. ඔහු විවියන් වෝඩ් නම් ගණිකාවගේ චරිතයට ජූලියා තෝරාගත්තාට පස්සේ ඇයට ගණිකාවන්ගේ ජීවිතය ගැන තරමක් විපරම් කරලා සොයා බලන්න වුවමනා වුණා. ඒකට හොඳම මාර්ගයක් හදලා දෙන්නත් ගැරීට පුළුවන්කම තිබුණා. 

ගැරීගේ බිරිය ඒ දිනවල ලොස් ඇන්ජලීස් නුවර වෛද්‍ය සායනයක ස්වේච්ඡා සේවිකාවක් විදිහට කටයුතු කරමින් හිටියා. නොමිලේ වෛද්‍ය පරීක්ෂණ පැවැත්වෙන මෙතැනට ලොස් ඇන්ජලීස් නගරයේ ඉන්න වීථි සරන ළඳුන් වැඩි ප්‍රමාණයක් එන බවත් ගැරී දැනගෙන හිටියා. ඒ නිසා ඔහු කළේ තමන්ගේ බිරිය වෙච්ච බාබරාට ජූලියාගේ ඉල්ලීම දැනුම් දෙන එකයි. 

“ජූලියාට අපේ අලුත් චිත්‍රපටයේ තියෙන්නේ ගණිකාවකගේ චරිතයක්. එයාට පුළුවන්නම් ගණිකාවෝ දෙතුන් දෙනෙක් මුණගස්වන්න. එයාට අවශ්‍ය පොඩ්ඩක් කතාබහ කරන්න විතරයි” ගැරී බාබරාට කියලා තිබුණා. 
බාබරාත් එයාලගේ සායනයට එන ගණිකාවන් දෙදෙනෙක් වැඩේට ලෑස්ති කර ගත්තා. එයාලට පැයකට ඩොලර් 35 ගාණෙ ගෙවන්නත් පොරොන්දු වුණා. 

අන්තිමේදී කලින් යොදාගත්ත විදිහටම ජූලියා වෛද්‍ය සායනයට පැමිණියා. බාබරාත් ඇය හඳුනන ගණිකාවන් දෙදෙනාව ජූලියාට හඳුන්වා දීලා, එයාලට කතා කරන්න වෙනම තැනකුත් ලෑස්ති කරලා දීලා, ආපහු තමන්ගේ වැඩවලට යොමුවෙලා. ඔහොම මිනිත්තු විස්සක් විතර යද්දි ජූලියා, ගණිකාවෝ දෙන්නත් එක්ක ඇවිත් බාබරාට කතා කරලා. 

“බාබරා මම මෙයාලත් එක්ක පොඩ්ඩක් එළියට යනවා. ඉක්මණට එන්නම්” ජූලියා කියලා තියෙන්නේ ඇඟට පතට නොදැනී වගේ. 
හැබැයි බාබරාට නම් තරමක බයක් දැනිලා. ජූලියා පිටත්ව ගියාට පස්සේ එයා ගැරීටත් කතා කරලා විස්තරේ කියලා. ඉතින් ජූලියා ආපහු කොයි වෙලාවෙ එයිද, නැත්නම් මොනව හරි කරදරයක් වෙයිද කියලා බාබරා කනස්සල්ලෙන් ළතැවි ළතැවී ඉන්දැද්දි පැයකට විතර පස්සෙ ජූලියා වෛද්‍ය මධ්‍යස්ථානයට ඇවිත්. 

“තැන්ක් යූ වෙරි මච් බාබරා. එයාලා මට ගොඩක් උදව් කළා. මම සෑහෙන දේවල් ඉගෙන ගත්තා” ජූලියා කියන්න පටන් අරන්. 

අන්තිමේදී චිත්‍රපටය තිරගත වෙන දවසේ ජූලියාගේ රඟපෑම දැකලා තමන් එදා මවිතයට පත්වුණු බවත් බාබරා මෑතකදී පුවත්පත්වලට සඳහන් කරලා තිබුණා. ඒ වගේම එක් ජවනිකාවකදී තමන් එක්ක ඉන්න එඩ්වඩ්ට විවිධ කොන්ඩම් වර්ග කිහිපයක් පෙන්නලා, එයා ආරක්ෂාව ගැන හිතන කෙල්ලෙක් කියලා කියපු ජවනිකාවට බාබරාගේ හිත ගොඩක්ම ඇදිලා ගිහින් තියෙනවා. 

“අපි ඒ දවස්වල සමාජ රෝග මැඬපවත්වන්න ගොඩක් වැඩ කළා. අපි කරපු වැඩ ගැරීත් අගය කරපු බව තමයි ඒ ජවනිකාවෙන් පේන්නෙ” බාබරා පවසනවා. 

( ඩේලිමේල් ඇසුරෙන් )

► Text - Suranga

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00