අරවින්ද යායේ තවත් මලක් පිපුණා. එහෙම නේද?
හැමවෙලේම මගේ ජීවිතේ අරවින්ද යාය කියලා මම අදහස් කළේ මගේ ජීවිතේ ආදරය, රැකවරණය දුන්නු ආදරණීය යායටයි. මම ගිය ගංඟාවල්, කදු මම එනකල් බලන් ඉන්නවා කියලා මම හිතනවා. එහෙම කෙනෙක් ජීවිතේ මල් පිපෙන වසන්ත කාලයක් හැමවෙලේම ප්‍රාර්ථනා කරනවා. මම බොහෝම සුභවාදීව ජීවිතේ ගැන බලන කෙනෙක්. නිවන් යන්න උත්සාහ කරන කෙනෙක් නෙවේ. ඒ නිසා අරවින්ද යායේ තවත් මලක් පිපුණා.
නීලූව මුණගැහුණේ කොහොමද? මේක අහම්බෙන් ඇතිවුණ ප්‍රේමයක්ද?
නැහැ. මේක අහම්බෙන් ලැබුණු මලක් නෙවෙයි. 2015 මගේ ජීවිතේ දෙවැනි විවාහය කෙළවර වුණා. මම වෙනස් විදිහට හිතන කෙනෙක්. ඇඟේ ඇඳුම් පුළුටක් නැතිව පුංචි කාලේ ඉපදුණු කෙනෙක් ජීවිතේ එක එක යදම් බැඳගන්නවා. පාසැල් යදම්, රැකියා යදම්, විවාහ යදම්, ආගමික යදම්, බය යදම් ආදී බොහෝ බැඳගන්නා. වයස හතළිහ හතළිස් පහ වෙද්දි බැඳගන්න යදම් නැහැ. බැහැයි මම පොඩි කාලේ ඉඳන් ඒ යදම් ලිහාගත්තා. නිදහස හොයාගෙන යාමේ අයිතිය සිදුහත් කුමාරයට විතරක් අයිති වුණේ නැහැ. බොහෝ අත්දැකීම් මැද්දේ 2015න් පස්සේ මම ජීවිතේ කතා කරන්න, මම විදිහට හිතන්න, වෙලාව නැකැත් ශාස්ත්‍රය බලන්නේ නැති, මිනිසුන්ව විශ්වාස කරන, ජීවිතයක් වෙනුවෙන් මම බැඳී හිටියා. මම දකුණට හැරෙන සෙනඟ මැද්දේ වමට හැරෙද්දි නිලූ කියන ඇයත් වමට හැරිලා හිටියා. ඒක තමයි ඇගේ මම දැක්ක පළවෙනි වෙනස.
නිලූ ඔබට මුණගැහෙන්නේ ලංකාවෙදි නෙවෙයි?
ඔව්. ඇයි බ්‍රිතාන්‍ය පුරවැසිකම තියෙන කෙනෙක්. එංගලන්තේ හිටියට ඇය ලංකාව ගැන හිතන කෙනෙක්. අපි කතාබහ කරන්න පටන්ගත්තට පස්සේ නිලූ ලංකාවට නිතර නිතර ආවා. අපි සාමාන්‍ය ඇසුරක් තියාගෙන කතා කරද්දී මොකද්දෝ වෙනසක් මම නිලූගෙන් දැක්කා. ඇය මගේ ජීවිතේ අතීතයන්ට බොහෝ ගරු කළා. මම ජීවිතේ ගෞරව කරපු ස්ථානවලට ඇයත් ගෞරව කළා. එතැනින් එහාට ටිකින් ටික අපි ගොඩක් දුර ආවා. මගේ ජීවිත කාලය තුළ මිනිස්සු වෙනස්වෙන ගැහැනු වෙනස්වෙන හැටි මම දැකලා තිබුණා. මගේ ලෝකෙ පුංචි වුණාට මම විශෘල මිනිස්සු ප්‍රමාණයක් ඇසුරු කරලා තිබුණා. ඒ අත්දැකීම් එක්ක බොහෝම පුංචි දේවල්වලින් මිනිස්සු ගැහැනු වෙනස් වෙන විදිහ මම දැකලා තිබුණා. ගෙවල් නොතිබුණ අය ගෙවල් දැකලා වෙනස් වෙන සමාජයක් අපිට තිබෙන්නේ. හැබැයි තමන්ට පුරවැසිකම් තියෙන හොඳ රටක් අතහැරලයි ඇය මා ළඟට එන්නේ. ඇය හොඳ රැකියාවක් කළා. ඒකත් ඇය අතහැරියා. ඒ නිසා තවදුරටත් අරවින්ද යාය මම ඉතිරි කරන්නේ නැහැ. ඒ අරවින්ද යායට මම ගිනි තිබ්බා. අරවින්ද යායේ පිපුණු අන්තිම මල ගාව මම දණගැහුවා කියලා මට හිතෙනවා. මගේ ජීවිතේ ඇත්ත මම ඇයට කියලයි තියෙන්නේ. ඒ නිසා මම දැන් නිදහස්.
අරවින්ද යායේ පිපුණු අලුත් මල ගැන අනිත් අය දැනගෙන හිටියද?
නැහැ. එහෙම විවෘත මනසක් හැමෝටම නැහැ. විවාහ ජීවිතේ කියන්නේ කාමර දෙකකට වෙලා මළමිනී දෙකක් වගේ ඉන්න එක කියලා කවුරුහරි හිතුවොත් ඒක තමන් තමන්වම රවටාගැනීමක් විතරයි. මට ලෝකෙට පේන්න ලෝකයාව රවට්ටගෙන මාව දුක්විඳවන්න ඕන වෙන්නේ නැහැ. මම එහෙම වහලෙක් නෙවේ. විශේෂයෙන් මාත් එක්ක ජීවත් වෙන්න ටිකක් අමාරුයි. මම ළඟ විවේචන නැහැ. එක එක්කෙනා ගැන ඕපදූප කතා කරද්දී මගෙන් උත්තර නැහැ. ගෑනුන්ට ඉරිසියා කරන කෙනෙක්ට මාත් එක්ක ජීවිතේ ගෙවන්න බැහැ. තවත් ගැහැනියකගේ දක්ෂතා දැක්කොත් මම එයාට ගරු කරනවා. රාත්‍රී සමාජ ශාලාවල සාධු ලක්ෂණ තියෙන ගැහැනුන් ඉන්නවා. පන්සල් ඇතුළේ කුහක ගැහැනු ඉන්නවා. ඉතින් මේ සියල්ලන් මැද්දේ ඒ මල්වලට මේ තොරතුරු කියන්න තිබ්බනම් කොච්චර ලස්සනද? නමුත් එහෙම වුණේ නැහැ. අපි නුවර ගිය වෙලාවේ මම එක තැනක වාහනය නවත්තලා නිලූට කිව්වා මේ තැනේදී තමයි මම ඇයගේ මුලින්ම අතින් අල්ලලා ඇයව සිපගත්තේ කියලා කියද්දි නිලූ ඒ තැන දිහා ටික වෙලාවක් හරි අපූරුවට බලාගෙන හිටියා. ඇයගේ මුහුණේ ඉරියව් ඇතුළේ තිබුණේ අනේ එහෙමද? කියන හැඟීම පමණයි. ඉතින් මම ඒ හැමදේකින්ම නිදහස්. මට බොරු කරන්න දෙයක් නෑ. හෙට අසනීපයක් වුණත් මාත් එක්ක මම ආදරය කරන තැන්වලට මාත් එක්ක නිලුත් එන බව මට විශ්වාසයි.
ඒ කියන්නේ මධූ හිතන විදිහට ජීවිතේ ගත්තු හොඳම තීරණය නිලූද?
නැහැ. මම එහෙම කියන්නේ නැහැ. කලින් ගත්තු තීරණ වැරදි කියලා මම කවදාවත් කියන්නේ නැහැ. ඒ මොහොතේදී මම ගත්තු හොඳම තීරණ හමාරයි. මේ මොහොතේදි මම ගත්තු හොඳම තීරණය මාරයි.
මධූමාදව අරවින්ද තුළ කලාකරුවෙක් වගේම දේශපාලනඥයෙක් ද ඉන්නවනේ. මේ චරිත දෙකෙන් නිලූ වැඩියෙන්ම ආස වුණේ කාටද?
නිලූ ඇත්තටම ආස වුණේ ඔය දෙන්න මැද හිටපු කෙනාටයි. මිනිස්සු විටෙක මම කලාකරුවෙක් විදිහට දැක්කා. සමහර වෙලාවට දේශපාලනඥයෙක්. වෙලාවට මම යකෙක් වගේ. ජාතිය ගැන කවුරුහරි විවේචනය කරද්දි ඇත්තටම මට මරලා හංඟන්න පුළුවන්. මම පව්වලට බය නැහැ. මම නඩුවලට බය නැහැ. මගේ ජාතියට වින කරන කෙනෙක් මට දුන්නොත් මම ඕකව කපලා මරනවා. මට නිවන් යන්න වෙලාව නැහැ. ස්වර්ගයට යන්නත් වෙලාව නැහැ. එහෙම කෑගහන මම ටික වෙලාවකින් පුංචි සංවේදී දෙයකට දරුවෙක් වගේ ඇස්වල කඳුළු පුරෝගෙනත් ඉන්නවා. ඉතින් මගේ ඇඟ ඇතුළේ ඉන්න ළදරුවා, රුවා, තරුණයා, නපුරා, දුෂ්ඨයා, දේශපාලනඥයා, කලාකරුවා මේ හැම එකක්ම එකින් එක හඳුනාගන්න හරි අමාරුයි. හැබැයි නිලූ මගේ ජීවිතේට ආවෙම තොරණක් බලන්නයි. රාමු ගොඩක් තියෙන මිනිහෙක්ව කියවන්න තමයි නිලූ ආවේ. ඒ නිසා ඇය වඩාත්ම කැමති මගේ මේ ඇත්තටයි. මම කියන මගේ ඇත්ත ඇතුළේ ගොඩක් වෙලාවට මම පරදිනවා. ඒ ඇත්ත කියන නිසා ඇයට මාව කියවන්න පහසු වුණා.
► Text - Dishani / Pic - Internet