ළා රත් පැහැගත් හැන්දෑවක පටන් ගත්තු අපේ පුංචි වයින් සාදය කෙළවර වුණේ රෑ දොළහත් පහුවෙලා. ජීවිතේ වෙච්ච නොවෙච්ච හුඟාක් දේ ගැන කතා කරමින් මමත් ජානාත් වයින් බෝතල් දෙකකට කිට්ටු ගණනක් හිස් කරලා තිබුණා. හුදකලාව ගෙවිච්ච මගේ ජීවිතයට කාලයකින් පසු ඈ හමුවීම ඇත්තටම සුන්දර අත්දැකීමක් වුණා. රාත්‍රිය ගෙවී ගියේ හුඟාක් හෙමින්. අහසේ පලින් පල තරුකැට එක දෙක පායලා තිබුණා. ගණදුර දුරලන්න තරම් පුළුවන්කමක් ඒ තාරුකාවන්ට නොතිබුණත් ඒ තාරුකා අහසට එක්කර තිබුණේ හිස්බව ගැල්වුණු චමත්කාරයක්.
වයින් ගතට එක්කර තිබූ සැහැල්ලු මත්බව හිතටත් දැනෙමින් තිබුණා. නිදිමතක් වෙනුවට ඇස් දෙකට ගොඩවැදෙමින් තිබුණේ මායාකාරී බවක්. නිදිමතක් නැතත් යන්තම් කැරකිලි ගතියක් සිතට දැනෙමින් තිබුණු නිසා මම හිටියේ ඇඳේ විට්ටමට හිස හේත්තු කරගෙන.
මොකෝ...
පොඩ්ඩක් කැරකිල්ල ගතියක් දැනෙනවා
සිගරට් එකක්...
එපා
එකක්... friend ship එකට
friend ship එකට කවුද බං සිගරට් බොන්නෙ
ජානා දඹර ඇඟිල්ලත් මැද ඇඟිල්ලත් අතරේ රඳවාගෙන සිටි සිගරට්ටුව දෙතොල් අතරෙ රඳවා ගත්තෙ ඇස් කොණකින් මට ඉඟි කරන ගමන්
ජීවිතේ වුවමනාවට වඩා නාස්ති කරගන්න එපා... අන්තිමට ඉතුරු වෙන්නෙ මහ එපාවීමක් විතරයි.
ජීවිතෙත් හරියට වයින් වීදුරුවක් වගේ... ලස්සනයි... රහයි... දිලිසෙනවා... ඒත් ටිකක් තිත්තයි
ජානා මගේ ඇඳේ කෙළවරක ඉඳගත්තෙ එහෙම කියන ගමන්
මට ආයෙත් පල්ලියට යන්න හිතෙනවා... සිස්ටර් සේරා කොයි විදිහට වෙනස් වුණත් මට අංජලීව මතක් වෙනවා... පව් කාත් කවුරුත් නැති අසරණ කෙල්ල
ඔය අතීතයේ හැම දූවිල්ලක්ම අතුගාලා දාපන්... මොකටද හිත අස්සෙ හංගගෙන විඳවන්නේ.
ජීවිතේ කිසිදෙයක් උඹ හිතන තරම් ලේසියෙන් අමතක කරලා දාන්න බෑ ජානා... තනිවෙන හැම මොහොතකම ඒ අතීතය මගේ මතකයට එනවා
උඹ කැමති නැද්ද ආදේශ්ව කසාඳ බඳින්න
නැහැ...
ඇයි?
දුරින් තියෙද්දි ලස්සනට පේන හුඟක් දේවල් ළඟට ගත්තම හරි කැතයි
ඒත් ආදේශ් කියන්නෙ උඹට ජීවිතය දුන්නු මිනිහෙක්...
ඒ මනුස්සයට මම ජීවිතේ හැමදාමත් ආදරෙයි
එහෙනම් ඇයි උඹ ඒ මනුස්සයා දාලා ආවෙ?
මම එයාව දාලා ආවෙත් නෑ... එයා මාව දාලා ගියෙත් නෑ...
උඹ තාම ආදේශ්ට ආදරෙයිද?
දන්නෙ නෑ... ඒත් ඒ මනුස්සයා ළඟ ඉද්දී මට දැනුණේ මහ රූස්ස ගහක් යට ඉද්දී දැනෙන හැඟීමක්...
පිස්සි...
උඹ මටද එහෙම කීවෙ?
හ්ම්...
දැන් නිදිමතයි... මම එහෙම කියාගෙන ඇඳේ අනිත් පැත්තට පෙරළුණා