2019 ජුනි 08 වන සෙනසුරාදා

ඒක ලෝකයම වශී කරපු චිත්‍රපටයක්

 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 624

- Art  එකේ  කැරට්ටුව..

හඬ: රොඩ්නි විදානපතිරණ

අද ටිකක් පාරවල් ට්‍රැෆික්, මමත් ටිකක් පරක්කුයි...
කාර්යාලයට ඇතුළුවෙලා ඉක්මනට ගියේ නිතර දකින අපි දන්න කියන කෙනෙක් මුණගැහෙන්න...

උදේ පාන්දරම ඔහු කාර්යාලයේ අසුන මත... ලොකු කල්පනාවකට සමවැදිලා.. 
ආයුබෝවන්... සමාවෙන්න ඕනෙ මම ටිකක් පරක්කුයි....
ඔහුගේ කල්පනාව නම් බිඳුනා...

ආ... ආයුබෝවන්... මමත් දැන් තමයි ආවේ... 
එයා ගැන මම මෙහෙම පටන්ගන්නම්කො... කලාව ගැන වෙනස්ම විදිහක රහක් තියෙන, නිර්මාණයට උපරිම සාධාරණයක් ඉටුකරන්න කැපවෙන අපිට ඉන්න ප්‍රවීණයෙක්.. ඔහුගේ දක්ෂතා පැති කිහිපයකටම විහිදෙනවා... චිත්‍රපට අධ්‍යක්ෂණය, ගීත රචනය වගේම සංචාරක පොත් කීපයක්ම දැනටමත් ඔහු අතින් ලියවිලා අවසන්... ඔහුගේ ලිවීම ගැන අමුතුවෙන් කතා කරන්න දෙයක් නෑ මොකද ඔහු වෘත්තියෙන් මාධ්‍යවේදියෙක්නෙ....
කරඹ යායේ ළවැලි පාරේ... මගේ හද දිනු අරුන්දතී...  

එයාව දැක්ක ගමන් මට මතකයට ආවේ එයා ලියපු මේ ලස්සන ගීතය.. මම කලිනුත් කිව්වා වගේම.. ලංකාවේ ජනප්‍රිය ගීත කිහිපයක්ම මෙයාගේ සුරතින් තමයි ලියවිලා තියෙන්නෙ.. සාගර තරංගා මුදු වෙරළ සිඹින්නා.. ඒ තව එකක්.. 
මේ වෙන කවුරුත් නෙමේ රොඩ්නි... රොඩ්නි විදානපතිරණ... 

රොඩ්නි  කොහොමද... මේ දවස්වල මොනවද වෙන්නෙ... අපි එහෙම පටන් ගමු නේද?
සාමාන්‍ය පරිදි ජීවිතය ගතවෙනවා... විශේෂයෙන් මේ දවස්වල මගේ අලුත් චිත්‍රපටයේ වැඩත් එක්ක ටිකක් විතර කාර්යබහුලයි... මේ දිනවල චිත්‍රපටයේ සංස්කරණ කටයුතු තමයි කරන්නෙ... චිත්‍රපටයේ නම තමයි "සුදු අප්පච්චි"... ඕවා තමයි ඉතින්.....
හරි... අපි එහෙනම් මතෘකාවට බහිමුකෝ...

රොඩ්නි විදානපතිරණගේ නිර්මාණ අපි රසවිඳලා තියෙනවා... ඒවා ගැන නෙමේ... ඔබේ  හිතට තදින්ම කාවැදුනු නිර්මාණයක් ගැන චුට්ටක් කතා කරමුද? හැබැයි... ඒක සින්දුවක් වෙන්නත් බෑ...
ඔව්.. එහෙම නිර්මාණ ගොඩක් තියෙනවා... ඒ අතරින් මගේ හිත ගොඩක් කැමති සිනමා අධ්‍යක්ෂවරයෙක් තමයි ඉන්දීය ජාතික සත්‍යජිත් රායි... පළවෙනියටම එයා නිර්මාණය කරපු "පාතර් පංචාලි" කියන චිත්‍රපටයට මම ගොඩක් කැමතියි. හරිම ආශාවෙන් විඳපු නිර්මාණයක් තමයි ඒක..  

හරි.. රොඩ්නිට මෙච්චරම මේ චිත්‍රපටයට ආස හිතෙන්න නිර්මාණයේ තියෙන විශේෂත්වය මොකක්ද?
මුලින්ම කියන්න ඕනෙ මේ චිත්‍රපටය බෙංගාලි චිත්‍රපටයක්. ඒ නිසාම මේ නිර්මාණයේ පසුබිම ගොඩක් ලංකාවට සමානයි... අවට පරිසරයත්, නිර්මාණයේ ඉන්න චරිත ගොඩනැගෙන්නේ අපේ ජීවිතවලට ගොඩක් කිට්ටුවෙන්... හරිම මටසිලුටු විදියට තමයි ඒ චරිත ගොඩනැගෙන්නේ... 1955 තමයි මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නේ... මම මේ චිත්‍රපටය බලන්නේ 1980 මුල භාගයේදී... අවුරුදු ගාණක් ගියත් මේ නිර්මාණයේ තිබෙන නැවුම් ගතිය තාමත් අපේ හදවතටම දැනෙනවා. සත්‍යජිත් රායි කියන අග්‍රගන්‍ය අධ්‍යක්ෂවරයාගේ අතිශය සියුම් අධ්‍යක්ෂණයත් හේතුවෙන්න ඇති මේ චිත්‍රපටය ප්‍රේක්ෂකයාට මෙච්චරම දැනෙන විදියට නිර්මාණය වෙන්න.

පාතර් පංචාලි නිර්මාණය වෙන්නේ නවකතාවක් ඇසුරෙන්... විභූති භූෂණ ඛන්දෝත්පද්‍යාය තමයි මේ නවකතාව ලියන්නේ.... පසුකාලෙක මාවතේ ගීතය නමින් මේ කෘතිය සිංහලට පවා පරිවර්තනය වෙනවා. මේ චිත්‍රපටය සත්‍යජිත් රායි නිර්මාණය කරන්නේ දැඩි ආර්ථික අපහසුකම් මැද්දේ... ඔහුගේ ළඟ තිබෙන පෞද්ගලික ධනය පවා යොදවනවා මේ නිර්මාණයේ වැඩ අවසන් කරන්න... නමුත් බැරිවෙනවා... අන්තිමේදී බෙංගාලි රජයේ සංවර්ධන අරමුදලකින් තමයි ආධාර කරන්නෙ වැඩ අවසන් කරන්න. 1952 තමයි මුලින්ම මේ චිත්‍රපටය නිර්මාණය කරන්න පටන් ගන්නෙ අවසන් වෙන්නෙ 1955 දි. අවුරුදු 3 පමණ ගත වෙනවා සම්පූර්ණ වැඩ නිමවන්න. රවී ශංකර් තමයි මේ චිත්‍රපටයේ සංගීතය නිර්මාණය කරන්නෙ. 

බෙංගාලේ දුෂ්කර ගමක් තමයි මේ කතාවට පසුබිම් වෙන්නෙ.. ඒ ගමේ ඉන්නවා බ්‍රාහ්මණ වංශයේ දුප්පත් කලාකරුවෙක්... ඔහුගේ පුතා තමයි අපූ. ඔහු වටා තමයි මේ චිත්‍රපටය ගොඩනැගෙන්නේ... පසුකාලෙක අපූ ත්‍රිත්වය කියලා අපූගේ ජීවිත කතාව අවදි තුනකට නිර්මාණය වෙනවා... සත්‍යජිත් රායි මේ චිත්‍රපටයට උපයෝගී කරගන්නේ අපූගේ ළමා කාලය. ඔහු සමාජය දකින විදිය, ඔහු ගීතයක් රසවිඳින ආකාරය, වාණිජත්වය ගම කරා ළඟාවෙන හැටි. අපූ ඒක අත්විඳින විදිහ තමයි සියුම්ව සිනමා කෘතියට ගෙනැල්ලා තියෙන්නෙ... ඔහුට ඉන්නවා සහෝදරියක්, අපූගේ අම්මා ගෘහණියක්, තාත්තා දැඩි ආර්ථික අපහසුකම් මැද්දෙ ජීවත්වෙන කෙනෙක්. අපූට ඉන්නවා ආදරණීය මිත්තනියක්... ඇයත් අපේ සමාජයේ ඉන්න මිත්තනියන් වගේම තමයි... අවසාන කාලේ නැන්දම්මලා, ලේලිලාගේ පොඩි පොඩි බහින් බස්වීම් නිසා ඒ ගෙදරින් තරහවෙලා වෙන සහෝදරියකගේ ගෙදර ගිහින් නවතිනවා... ආයිත් තරහා නිවුනාම ගෙදර එනවා... ඒ වුණාට ළමයින්ට හරිම ආදරෙයි ඇය. අපූ මුල්වරට මරණය ගැන දැනගන්නේ මිත්තනියගේ මරණයෙන්... හරිම සංවේදී විදියට මේ සියලු චරිතය ගොඩනැගීම තමයි මම මේ චිත්‍රපටයේ සර්ථකත්වය ලෙස දකින්නෙ. මේ චිත්‍රපට ඉන්දීය සිනමාවේ හැරවුම් ලක්ෂය කිව්වත් වැරැද්දක් නෑ... ලෝකයම වශී කරපු සිනමා කෘතියක් තමයි පාතර් පංචාලි කියන්නෙ. 

මේ චිත්‍රපටයේ නරඹද්දී ඔබට සමීපම වෙච්ච චරිතයක් එහෙම ඇති නේද?
මේ චිත්‍රපටයේ එක චරිතයක් කියලා තෝරගන්න හරිම අමාරුයි. හැම චරිතයක්ම හරිම විශිෂ්ඨයි. මම ගොඩක් කැමති තාත්තාගේ චරිතයට නමුත් මගේ අවධානය වැඩියෙන්ම දිනාගත්තේ ප්‍රධාන චරිතයක් වෙන අපූ කියන දරුවාගේ චරිතය. ඒ චරිතය හරිම සංකීර්ණ චරිතයක්.. සුභීර් බනීර්ජී තමයි ඒ චරිතයට පණපොවන්නේ. හරිම සියුම් විදියට ඔහු ඒ කාර්යය ඉටුකරනවා. 

රොඩ්නිව කම්පනය කරපු අවස්ථා මේ චිත්‍රපටය පුරා ගොඩක් ඇති නේද... එකක් දෙකක් මතක් කරමුද?
මේ චිත්‍රපටයේ ගොඩක් තැන් එහෙම තමයි. ඒ අතරින් මම ආස කරනම එක දර්ශනයක් තියෙනවා අපූ සහ දුර්ගා... (දුර්ගා කියන්නෙ අපූගේ පුංචි සහෝදරිය) වැස්සේ සෙල්ලම් කරන අවස්ථාව... ඔවුන් හරිම ආසාවෙන් වැස්සේ තෙමි තෙමී සෙල්ලම් කරනවා... පසුව දුර්ගාට අසනීප වෙනවා.. ඒ වෙනකොට අපූගේ තාත්තා රැකියාවක් කරන්න බරණැසට ගිහින්... බරණැස තියෙන්නේ ඔවුන්ගේ ගමට සෑහෙන ඈතින්... අන්තිමේදී දුර්ගා නිව්මෝනියාව නිසා මියයනවා... වැහි කාලේ දුෂ්කර ගමක වෛද්‍ය පහසුකමුත් නැති නිසා අම්මට කිසිම දෙයක් කර කියාගන්න බැරිවෙනවා... අන්තිමේදී අම්මාගේ අතේදීම දුර්ගා අවසන් හුස්ම හෙලනවා... තාත්තාට මේ පණිවිඩය දෙන්න විදියකුත් නෑ... දුරකතන පහසුකම් ඒ කාලේ නැහැනේ... මේ කිසිදෙයක් නොදන්න තාත්තා බරණැස ඉඳලා කාලෙකට පස්සෙ ගෙදර එන්නේ දුර්ගා, අපූ කියලා කෑගහගෙන... අම්මා කිසිවක් කතා නොකර බලාගෙන ඉන්නවා... තාත්තා ගෙනාපු රෙදි දිගඅරිනවා... ඔයාට මේ සාරිය... මේක දුර්ගාට කිව්වාම අම්මා වේදනාවෙන් අඬා වැළපෙනවා...  හරිම සංවේදීයි ඒ දර්ශනය...

කොහොමද මේ නිර්මාණය මුලින්ම ඔබේ ඇස ගැටුණේ....
මට ඒ කාලෙ ඉඳන්ම චිත්‍රපට පිස්සුවක් තිබුණා.... ඒ දවස්වල දවසට අපි චිත්‍රපට තුනක් විතර බලනවා. රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානය, ඕ.සී.අයි.සී. එක එහෙම අපි එකතුවෙන තිත්පොළවල් තමයි... ප්‍රසන්න විතානගේ, නාලන් මෙන්ඩිස්, මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු වගේ අයත් ඔය තැන්වලට එකතුවෙනවා චිත්‍රපට බලන්න. ඒවා ගැන කතාකරනවා... තිස්ස අබේසේකර එහෙම පාතර් පංචාලි චිත්‍රපටය වශීවෙලා හිටියා. හරි ලගන්නා සුළු විදියට එයා ඒ කතාව අපිට විස්තර කරනවා... ඒකත් එක හේතුවක් වුණා... මේ චිත්‍රපටය මම නරඹන්න... කොහොමත් පාතර් පංචාලි මම කියවලා තිබුණා.. ඉන්දීය සිනමාවේ හැරවුම් ලක්ෂය කියලා මම අහලා තිබුණා.. නමුත් අපිට බලන්න පහසුකම් තිබුණේ නෑ... ටෙලිවිෂන් ආපු අලුත... ඒ කාලේ ටෙලිවිෂන්වල චිත්‍රපට පෙන්නුවේ නෑ. ඊට ටික කාලෙකට පස්සෙ යම්කිසි තැනක මට හරියට තැන මතක නෑ.. පොඩි ටීවී එකක තමයි මම මුලින් මේ චිත්‍රපටය බැලුවේ... 

මෙච්චර ආසකරන නිර්මාණය කී පාරක් ඔබ නැරඹුවද?
මම පාතර් පංචාලි බලලා ඇති පහළොස් වතාවකට වැඩිය... 

මේ චිත්‍රපට තුළින් ඔබ ඔබේ ජීවිතයට මොනවගේ දෙයක්ද එකතු කරගන්න පුළුවන් වුණාද...?
මම චිත්‍රපටය නිර්මාණවේදියෙක් විදියටත් චිත්‍රපටවලට කැමති කෙනෙක් විදියටත් ගොඩක් දේවල් එකතු කරගත්තා... කැමරාව හසුරවන විදිය, චරිත කොහොම හසුරවන්න ඕනෙ කියන එක... මං විතරක් නෙමේ. ලංකාවේ බොහෝ සිනමා අධ්‍යක්ෂවරුන්ට මේ නිර්මාණය බලපාලා තියෙනවා. මීට දශක තුන හතරකට කලින් බිහිවෙච්ච නිර්මාණවල පාතර් පංචාලි චිත්‍රපටයේ තියෙන දර්ශනවලට සමාන දර්ශන  එකතුකරගෙන තිබ්බා... රායිගේ බලපෑම ගොඩක් සිනමාවේදීන්ට උත්තේජනයක් වුණා..

රොඩ්නිට මේ චිත්‍රපටය අවසානයේ දැණුනු  හැඟීම වචනවලට පෙරළමුද?
ඕනම නිර්මාණයක් බලද්දී මම ඒ නිර්මාණය විඳිනවා... සමහර වෙලාවට ඇස්වලට කඳුළුත් එනවා.. අතිශය හැඟීම්බර වෙනවා... මගේ ජීවිතයේ වැඩියෙන්ම හැඟීම්බර වුණු චිත්‍රපටය තමයි රායිගේ පාතර් පංචාලි... දැන් වුණත් අන්තර්ජලයෙන් මේක බැලුවොත් ඒ හැඟීම මට දැනෙනවා... මට ඒ දැනිච්ච හැඟීම විස්තර කරන එක ලේසි දෙයක් නෙමේ. කෙටියෙන්ම සරලව කිව්වොත්. මේ තරම් විශිෂ්ට නිර්මාණයක් මට තව වෙනතුරු හමුවෙලා නෑ... 
එහෙම තමයි එයා කතාව ඉවර කළේ... 

කතාව ඉවර වුණාට කතාව ඉවරම නෑ කියලා මට හිතුණේ....

 

► Text - Danushka Wijesiri   /   Pic - Internet