මේ දවස්වල ඔබ මොනවද කරන්නේ..?
මේ දවස්වල සුපුරුදු පරිදි මගේ සංගීත පන්ති පවත්වාගෙන යනවා. ඒ අතරේ විවිධ ගායනා තරගවල විනිශ්ච කටයුතු සඳහා සහභාගී වෙනවා. මේ දවස්වල ප්‍රසංග පවත්වන්නේ නැති නිසා සාමාන්‍ය විදිහට සංගීත පන්ති පවත්වාගෙන යනවා. මගේ සංගීත පන්ති පවත්වන්නේ පාගොඩ ආනන්ද බාලිකා පාරෙයි. එතනදී වැඩිහිටියන් සඳහා වෙනමම සංගීත පන්තිත්, පාසල් දරුවන් සඳහා තවත් වෙන පන්ති මම පවත්වනවා. ඉන්දියානු සංගීත විභාග සඳහා දරුවන්ව පුහුණු කරනවා. ඔය දේවලුත් එක්ක සංගීත කටයුතුවල මම නියැලෙනවා.
ඔබේ ළමා කාලය ගැන අපි ටිකක් කතා කරමුද?
ඔව්.. පොඩි කාලේ ගැන මතක් කළොත් මගේ පප්පයි, මමීයි අනිවාර්යයෙන්ම මතක් කරන්නම ඕනේ. ඒ දෙන්නා ගොඩාක් සංගීතයට ළැදි දෙන්නෙක්. මගේ පප්පා හවස් කාලය සංගීතයට පොඩ්ඩක් වෙන් කරනවා. මගේ මමී ගාව මැන්ඩලීනයක් තිබුණා. ඉතින් මමී ඒක වාදනය කරනවා. අපි ඔක්කොම එකතුවෙලා හවසට පල්ලියේ ගීතිකා ගායනා කරනවා. ඊට අමතරව සින්දුවක් කියනවා. අපිට වාදනය සපයන්නේ මගේ මමීයි, පප්පයි. ඉතින් අපි හවස් වෙනකම්ම එහෙම සින්දු කිව්වට පස්සේ ආගම කියනවා.
ළමා කාලේදී ඔබ දඟ චරිතයක්ද?
දඟයි කියන්නත් බැහැ.. හැබැයි දඟ නැහැ කියන්නත් බැහැ. මගේ පවුලේ වැඩිමලා මල්කාන්ති අක්කා. දෙවැනියා කුමාර අයියා. ඊටත් පස්සේ අපේ පවුලට එකතුවුණු අක්කා කෙනකුයි, අයියා කෙනකුයි නැති වුණා. ඒ දෙන්නට පස්සේ මම පවුලට එකතු වුණා. මට පස්සේ නෙරංජලා නංගීත්, සකුන්තලා නංගීත් පවුලට එකතු වුණාට පස්සේ තමයි මනෝජ් මල්ලී අපේ පවුලට එකතු වුණේ. පුංචි කාලේ මම නැටුම්වලට හරි ආසයි.. මම නෙරංජලා නංගිවයි, සකුන්තලා නංගිවයි ළඟින් තියාගෙන සෙල්ලමට නැටුම් පන්ති පවත්වනවා. මම තමයි නැටුම් ගුරුවරිය. මම නටන විදිහට ඒ දෙන්නා නැටුවේ නැත්නම් බැණුම් කෝටියයි.
සෙල්ලමට නැටුම් ගුරුවරියක් වුණු ඔබ අද සංගීත ගුරුවරියක්. මේ ගමන එන්න ඔබේ වැඩිමහල් සහෝදරිය වුණු මල්කාන්ති නන්දසිරි හේතුවෙන්න ඇති නේද?
ඔව්.. මල්කාන්ති අක්කා ඇත්තටම අපිට අම්මා කෙනෙක් වගේමයි. මම ඉගෙන ගත්තේ කෝට්ටේ ශාන්ත තෝමස් විද්‍යාලයේ. ඉස්කෝලේදී අපි පහළ පන්තිවල ඉගෙන ගනිද්දී අක්කා හැමවෙලේම අපේ පන්තිවලට ඇවිත් අපිව බලලා යනවා. අපි කෑවද බලනවා. වතුර ටික පවා පොවලා තමයි එයා පන්තියට යන්නේ. ඇත්තටම අපි අක්කටයි, කුමාර අයියටයි බයයි. ඒ දෙන්නා අපිට වඩා ලොකුයිනේ. අපි තමයි දඟ වැඩකරන සමහරදාට අපි තුන්දෙනා රණ්ඩුත් වෙනවා. ඔය වෙලාවට අක්කා තමයි අපිව බේරන්නේ.
පාසලේදී ඔබ මොනවගේ චරිතයක් ද?
පාසලේදී මම ගොඩාක් නිහඬ චරිතයක්. හැබැයි මම පාසලෙන් පවත්වපු සංගීත තරගවලට සහභාගී වුණා. ඒ හැම තරගයකින්ම මම තමයි පළවෙනියා වුණේ. රෙජි කොරයා කියන ඒ කාලේ ගුවන්විදුලියේ හිටපු ප්‍රවීණ නිවේදකයත් සංගීත තරගයට විනිශ්චය කරන්න ආවා. ඒකේදීත් මම පළවෙනියා වුණා. ඒ වගේ ප්‍රවීණ කවුරු ආවත් ඒ හැම වෙලේම පාසලේදී ගායනා අංශයෙන් පළවෙනියා වුණා. ගායනයට මම ගොඩාක් දක්ෂයි. හැබැයි මම පිට තරගවලට ඉදිරිපත් වෙනවා හරිම අඩුයි. මගේ ඉස්කෝලේ සිරිල් පෙරේරා කියන ගුරුතුමා මට හරි ආදරේයි.
ඒ ගුරුතුමා මගේ කටහඬ හරියට අගේ කරපු කෙනෙක්. ඒ ගුරුතුමා බොහෝ තරගවලට මාව යොමුකරන්න උත්සහ කළාට මම ඒවාට සහභාගී වුණේ නැහැ. පන්තිවල කවි මට කියලා ඒ ගුරුතුමා ගායනා කෙරෙව්වා. සිරිල් ගුරැතුමා ඒ වගේම පාසලේදී මාව සංගීත තරගවලට ඉදිරිපත් කරන්න බොහෝ උත්සහ ගත්තා. මගේ පාසලේ ඒ කාලේ පෙරදිග සංගීතය තිබුණේ නැහැ. සංගීතය කියන විෂය ඒතරම් දුරට හදාරන්න අවශ්‍ය පහසුකම් පාසලේ තිබුණේ නැහැ. පියානෝ සංගීතය තමයි පාසලේ තිබුණේ. මමත් පියානෝ වාදනය ඉගෙන ගත්තා. සමස්ත ලංකා අත්අකුරු තරගයේ මම පාසල නියෝජනය කරලා මම පළමුවැනියා වුණා. හැබැයි ඔය මොනදේ කළත් පාසලේදී වැඩිය කා එක්කවත් ඇසුරට ගිය නැති මම මගේ පාඩුවේ හිටපු කෙනෙක්.
ගුවන් විදුලියට ඔබට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ කොහොමද?
ගුවන් විදුලියට මට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ මගේ අක්කා නිසයි. අක්කා තමයි මුලින්ම ගුවන් විදුලියට ගියේ. ඊට පස්සේ අක්කා අපිව ළමා මණ්ඩපයට එක්කගෙන ගියා. අක්කා තමයි මාව සරල ගී පරීක්ෂණයට ඉදිරිපත් කළේ. මගේ මේ ගමනේදී මුලින්ම මට අතදුන්නේ මගේ අක්කයි. ළමා මණ්ඩපයට ගියාට හැමදාම අපිට සමූහ ගීතවලට සහභාගී වෙන්න තමයි අවස්ථාව ලැබුණේ. ඒ දවස්වල හැමදෙයක්ම සජීවී වැඩසටහන් තමයි ගුවන් විදුලිය ප්‍රචාරය වුණේ. එක දවසක් මහ හයියෙන් වැස්සා. ළමා මණ්ඩපයට ඒතරම් ළමයි ඇවිත් හිටියේ නැහැ.
ඒ වෙලාවේ කරුණාරත්න අබේසේකර මහත්තයා “නංගී අද සින්දු කියන්න ඕනේ කියලා කිව්වා. ඇත්තටම මම එහෙම අවස්ථාවක් එනතුරුම හරිම ආසාවෙන් බලාගෙන හිටියේ. ඉතින් කරු අයියා එහෙම කියද්දී මම ගොඩාක් සතුටු වුණා. ඒ කාලේ හැමදාම සමූහ ගායනාවලට ඉදිරිපත් වුණ නිසා තනි ගීතයක් ගායනා කරන්න මට අවස්ථාව එනතුරැ බලාගෙන හිටියේ. ඉතින් මම එක ගීතයක් ගායනා කරලා පෙන්නුවා. ආයේත් මට කිව්වා තව ගීතයක් කියන්න කියලා. මට තාම මතකයි මට රෝහණ සිරිවර්ධන එක්ක යුග ගීතයක් ගයන්න අවස්ථාව ලැබුණා. ඉතින් එදා මම තනියෙන් ගීතයකුත්, යුග ගීතයකුත් ගායනා කළා. ඇත්තටම එදා මට ගොඩාක් සතුටු දවසක්.
අහම්බෙන් ලැබුණු අවස්ථාවෙන් ඔබ උපරිම ප්‍රයෝජන ගත්තා වගෙයි?
ඔව්.. එදා තමයි කරුණාරත්න අබේසේකරයන් ඇතුළු ගුවන් විදුලියේ අය අපේ හැකියාවන් හඳුනාගත්තේ. ඊට පස්සේ ළමා මණ්ඩපයේ බොහෝ අවස්ථා මට ලැබුණා. ඔය අතරේ මගේ අක්කා තරගවලට මාව ඉදිරිපත් කළා. මට අවුරුදු දොළහක් විතර කාලයේදී “මැලිබන් ගුවන් තොටිල්ල කියන ආධුනික වැඩසටහනින් මම ජයග්‍රාහිකාව වුණා. ඊට පස්සේ “පිබිදෙන ගායන පරපුර කියන ගී තරගාවලියට මාව අක්කා ඉදිරිපත් කළා. ඒකෙන් මම අවසාන තරගය වෙනතුරු තේරුණා.
මම තමයි වැඩිම ලකුණු අරගෙන තිබුණෙත්. මහ තරගය දවසට පෙර දවසේ පුහුණුවක් ලබාදෙන්න එන්න කියලා මාව අක්කා එක්කගෙන ගියාම මගේ ගීත තැටියක් තියෙනවා කියලා මට පෙත්සමක් ඇවිත් තරගයෙන් මාව සංවිධායකවරු ඉවත් කරලා තිබුණා. ගුවන් විදුලියේ ළමා ගී තැටිය ගැන තමයි කවුරු හරි එහෙම පෙත්සමක් එවලා තියෙන්නේ. ඒ කාලේ ඒ නීති ගැන අපි දැනගෙන හිටියේ නැහැ. ඊට පස්සේ මම සරල ගී පරීක්ෂණයට ඉදිරිපත් වුණා. එහිදී “ඒ ශ්‍රේණියේ ශිල්පිනියක් ලෙස මම සමත් වී තිබුණා. එදා සිට මම ගුවන් විදුලියේ සරල ගී වැඩසටහන් ඉදිරිපත් කළා. පසුකාලයේදී ගුවන් විදුලියේ සංගීත පාඩම මම කළා. රූපවාහිනියේ ගායනා වැඩසටහන් කළා. විශේෂයෙන් දරුවන්ට සංගීත විෂය නිර්දේශය ඇතුළත් වැඩසටහන් මම ඉදිරිපත් කළා.
ඔබේ විවාහය සිදුවන්නේ කොයි කාලේදිද?
මම විවාහ වුණේ 1972 වසරේදියි. මම ගුවන් විදුලියට යන කාලයේදී විජේ (විජේරත්න රණතුංග) එහි වාදක මණ්ඩලයට සහභාගී වුණා. ඉතින් අපි නිතර කතාබහ කළා. උසස් පෙළ විභාගයට සහභාගී වෙලා ප්‍රතිඵල එන්නත් පෙර මායි විජේයි විවාහ වුණා. විජේගේ මව්පියන් ඉක්මනින් අපිට විවාහ වෙන්න කියලා යෝජනා කළා. ඒකට අපේ ගෙදරිනුත් කැමැත්ත දීලා තිබුණ නිසා අපි විවාහ වුණා. එතකොට විජේගේ අක්කලා නංගීලා ගොඩාක් ගෙදර හිටියා. ඒ අය මට වඩා වැඩිමල්. ඒ නිසා විජේ මාව ඉගෙන ගන්න යොමු කෙරෙව්වා.
මම සංගීත විශාරද උපාධිය සමත් වුණා. විවාහ වෙන්න පෙර පියානෝ පරීක්ෂණ තුනකුත් මම සමත් වෙලයි හිටියේ. විජේ මම සංගීතය හදාරණවාට ගොඩාක් කැමති වුණා. විජේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්යවරයෙක් විදිහට කටයුතු කළා. එයා දක්ෂ තබ්ලා වාදකයෙක්. ඒ නිසා ගෙදර අපි සංගීත පන්ති පැවැත්වුවා. ඉතින් අද වනතුරු මම මගේ සංගීත පන්ති පවත්වාගෙන යනවා. මගේ මහත්තයා මිය යාමට පෙර රෝහලේ ඉද්දී කරපු ඉල්ලීමක් තමයි “පන්ති නවත්වන්න එපා. ඒක ඒ විදිහටම කරන්න. ළමයි පව්.. අසරණ වෙනවා. කියලා. ඉතින් අද මම මේ තැනට ආවේ සංගීතය ඉගෙන ගෙනයි. මගේ ජීවිතේ විශේෂයෙන් වැඩිහිටියන් වෙනුවෙන් කරන පන්තිවලින් විශාල තෘප්තියක් ලැබෙනවා. එතනදී හොඳ උගත් පිරිසක් මගෙන් ඉගෙන ගන්නවා. හඬ පුහුණු කිරීම් එක්ක මම සංගීතය උගන්වනවා. අද තිබෙන බාල ගණයේ ගීතවලට වඩා අපේ රටේ සුභාවිත ගීත පැත්තට ඔවුන්ව නැඹුරු කරන්න මට පුළුවන් වුණා. ඒ අය මේ වෙනකොට බොහෝ ඇළුම් කරන්නේ අපේ රටේ සුභාවිත ගීතයට. ගායනා කරලා පෙන්වන්නේ ඒ ගීතයි.
මේ වෙනකොට ඔබේ දියණිය, සෙව්වන්දිත් ගායනයට යොමුවෙලා තියෙනවා. මොකද හිතෙන්නේ?
මමයි විජේයි කවදාවත් පුතාටවත්, දුවටවත් කිසිම දේකට බලකළේ නැහැ. පුතා තබ්ලා වාදනය ඉගෙන ගෙන පාසල් මට්ටමේ සමස්ත ලංකා තරගාවලියෙන් ප්‍රථමයා වුණා. ඒ වුණාට එයාත් ඒක දිගටම ගෙනිච්චේ නැහැ. දුව වුණත් ඒක ලොකුවට හිතුවේ නැහැ. මගේ කැමැත්තට එයා ඉන්දියානු සංගීත විභාග කිහිපයක් කළා. ඊට පස්සේ සී.ඩී. එකක් කරද්දී දුව එක්ක “සිනා මල් ගොඩක් ගීතය ගායනා කළා. ඒක ගොඩාක් ජනප්‍රිය වුණා. ඒ ගීතය ගායනා කරලා බොහෝ කාලයකට පස්සේ නෙරංජලා ගීත ගායනා කිරීම නතර කළාටත් පස්සේ එක්තරා වැඩසටහනකදී එයාගේ ගීත අනුරාධාටත්, මගේ දුවටත් ගායනා කරන්න අවස්ථාව ලබාදුන්නා. ඊට පස්සේ දුවට ආරාධනා බොහෝමයක් ලැබුණා.
අද ඔබේ දවස ගෙවෙන්නේ කොහොමද?
බොහෝ මව්පියන්ට අද සිදුවෙලා තියෙන්නේ දරුවන්ගේ දරුවන්ව බලාකියාගෙන ජීවිතේ සැදෑ සමය ගෙවන්නටයි. මව්පියන් බොහෝ දුක්විදලා දරුවන් හදලා අවසානයේදී ඒ මව්පියන්ට දරුවන් බලාගන්නටත් සිද්ධ වෙලා. එතනදී මගේ දුවයි පුතයි පූර්ණ නිදහස මට දුන්නා. ඒ නිසා තමයි අද වෙනකොට මට නිදහසේ ඔහේ සංගීත පන්ති පවත්වාගෙන නිදහසේ ජීවත් වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ දෙන්නා මට සලකනවා මිසක් මගෙන් වැඩ ගන්නේ නැහැ. පුතාටත් පුතෙක් ඉන්නවා. දුවට දරුවන් දෙන්නෙක් ඉන්නවා. ඉතින් මම ඒ දරුවන්ව බලන්න යනවා. දුව හැම ඉරිදාවකම මාව එයාලගේ ගෙදර එක්කගෙන එනවා. පුතත් මාව බලන්න එනවා. ඒ විදිහට තමයි මගේ කාලය ගෙවෙන්නේ. වැඩිපුරම කාලය ගෙවෙන්නේ මගේ පන්තිවලයි. ඒක මම ගොඩාක් ආසාවෙන් කරන්නේ.. ගිය වසරේ මම මගේ පන්තිවල සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් එකතුකරගෙන “ගී තෙර නමින් ලොකු ප්‍රසංගයක් පැවැත්වූවා. ඒකට හොඳ ප්‍රතිචාර ලැබුණා.
► Text - Dishani / Pic - Sumudu