2017 මාර්තු 11 වන සෙනසුරාදා

තව පොඩ්ඩෙන් මීගමුෙවදි ‘කන්න’ වෙනවා.....

 2017 මාර්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 165

ඔහු සිනමාවේ ප්‍රවීණයෙකි. දෙවනි ඉනිම ටෙලි නාට්‍යයේ රූගත කරන අතරතුරේ ලැබුණු පොඩි විවේක කාලයේදී අපි රෙක්ස් කොඩිප්පිලි නම් ඒ ප්‍රවීණ රංගන ශිල්පියා එක්ක ටිකක් කතාබහකළා. අලුත් අවුරුද්ද වෙනුවෙන් කරනා සත්ක්‍රියාව ගැනත් අපි ඔහුගෙන් අහලා බැලුවා.

මේ දවස්වල මොකද කරන්නේ?

මේ දවස්වල මම සාරංගගේ දෙවනි ඉනිම ටෙලිනාට්‍යයේ ෂූටිංවලට සහභාගි වෙනවා. ඒක හරි ලස්සන ටෙලි නාට්‍යයක්. සතියේ දවස්වල රාත්‍රි අටහමාරට ඒක දෙරණ නාලිකාවේ විකාශනය වෙනවා. මීට අමතරව තවත් නිර්මාණ කිහිපයකම වැඩ කළා. චිත්‍රපට දෙකකත් වැඩකළා. වැඩිපුරම මේ දවස්වල දෙවනි ඉනිමේ තමයි ඉතින් වැඩකරන්නේ.

ඔබ කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක්. මේ වෙද්දී බොහෝ තරුණ කලාකරුවන් කලාකාරියන් ඔබ සමඟ වැඩ කරනවා. මොකද හිතෙන්නේ?

ඇත්තටම ගොඩක් සතුටුයි ඉතින් ඒ ගැන. දැන් අපිව අධ්‍යක්ෂණය කරන්නේ මට වඩා ගොඩක් බාල අය. එතකොට අපිත් එක්ක වැඩකරන්නෙත් අද තරුණ පරපුර. ඉතින් මේ තරැණ පරපුර දක්ෂයි. ඔවුන් බොහෝ දෙනා තුළ හොඳ හැකියාවක් වගේම ප්‍රවීණයන්ගෙන් ඒ චරිතවලට ඕන කරන උපදෙස් එහෙමත් ගන්නවා.

පසුගියදාක ඇබැද්දියක් සිද්ධ වුණා කියන්නේ ඇත්තද?

බන්දුලගේ චිත්‍රපටය කරද්දී තමයි ඒ වගේ අමතක නොවුණු දෙයක් වුණේ. එකේදී මීගමුවේ පාලම උඩ සටන් ජවනිකාවක් කරන්න තියෙනවා. එදා ඉරිදා දවසක්. වෙනදට ඒ ළඟ තියෙන ලේලලමට එච්චර සෙනඟ එන්නෙ නෑ. එදා අපි ෂූටිං කරනවා කියලා දන්නේ නැතිව ගොඩක් මිනිස්සු ඇවිත් අපිට තර්ජනය පවා කළා ගහගන්නවා කියලා. ඒ වෙලාවේ හැමෝම මාව අඳුරගත්තා. එයලගේ හිතේ ඒ අය මට ගහන්න යනවා කියලා. කොහොමහරි ඇත්ත සිද්ධිය කියලා, කැමරා පෙන්නලා බොහෝම අමාරුවෙන් ෂේප් වුණා. නැත්නම් එදා අපේ කට්ටිය මීගමුව අයගෙන් හොඳට ගුටි කනවා. 

අද වෙද්දී ප්‍රවීණ බොහෝ කලාකරුවෝ අසරණවෙලා. ඔවුන් වෙනුවෙන් ඔබ ඇතුළු පිරිසක් යම් සද්ක්‍රියාවක් කරනවා කියන්නේ ඇත්තද?

අද වෙද්දී අපේ එදා හිටපු සමහර කලාකරුවන් ගොඩක් අසරණවෙලා ඉන්නවා. සමහරු අසරණකම කියන්න ලජ්ජයි. පව් ඉතින් එදා මිනිස්සුන්ව පිනවපු කලාකරුවෝ අද අසරණ වෙලා. ඒ වගේ අයට අපි ගොඩක් උදවු කරනවා.

මේ වෙද්දීත් ඒ සම්බන්ධව මොනවද කරන්නේ?

අපි සිංහල අලුත් අවුරුද්දට කලින් ඒ අසරණ කලාකරුවන්ට අඩුම දහදහගානෙවත් දෙන්න තීරණය කළා. අවුරුදු හැටට වැඩි එවැනි කලාකරුවන් පිරිසකට තමා අපි ඒ උදව්ව කරන්නේ. ඇත්තටම ඔවුන් ගැන හිතද්දී දුකක් හිතෙනවා. ඉස්සර තම රංගන හැකියාවෙන් කීදෙනෙක් නම් පිනවපු ඒ අය අද අසරණ වෙලා. සමහරැ කතාකරගන්න බැරිව වෙව්ලනවා.

ඒ අය ඒ අතීතය ගැන මතක් කරනවාද?

ඔව්... එහෙම අපි ගියාම ඒ අය ඒ අතීතයේ රසබර තැන් ගැන අපිත් එක්ක කියනවා. සමහරුන්ට නම් එහෙම ලොකු මතකයක් නෑ. සමහරු ගිය වෙලේ ඉඳන් කියන්නේම ඒ කලා අතීතය ගැනයි. එයාලාව බලන්න ගියාම ඒ කලාකරුවන්ට හරිම සතුටුයි. 

ඔබ සටන් ශිල්පියෙක් විදිහට බොහෝ ජනප්‍රිය වුණා. ඒ අවධිය ගැන කිව්වොත්?

ඔව්... ඉස්සර සටන් ශිල්පින්ට ඒ තරම් කලාකරුවෝ හිටියේ නෑ. ඉතින් අපි තමයි සටන් නළුවෝ වුණේ. ඒ අපේ තරුණ කාලේනෙ. ඉතින් ගහගන්නවා, ගුටිකනවා තමයි. ඒක හරිම රසවත් කාලයක්. 

සිනමා ශිල්පියෙක් විදිහට නමක් දිනා සිටි ඔබ දැන් වැඩිවශයෙන් ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයටත් යොමුවෙලා. මේකේ විශේෂත්වක් තියෙනවද?

නෑ... එහෙම විශේෂත්වයක් නෑ. අදටත් මම සිනමාවෙත් ඉන්නවා. ටෙලි නාට්‍යවලත් ඉන්නවා. හොඳ පිටපතක් මට ලැබුණාට පස්සේ මම ඒ දේ බලනවා. ඒක ටෙලි පිටපතක්ද සිනමා පිටපතක්ද කියලා එහෙම ලොකුවට මට අදාළ වෙන්නේ නෑ. ඒ චරිතයෙක් යම් දෙයක් කළ හැකි කියලා මට හිතෙනවා නම් මම ඒක බාරගන්නවා.

ප්‍රවීණයෙක් හැටියට කලාව තුළ එදා සහ අද ඔබ දකින්නේ කොහොමද?

ලොකු වෙනසක් නෑ. එදත් අධ්‍යක්ෂණයේ ඉඳන් බොහෝ දක්ෂයින් මේ කලාවේ හිටියා. අදත් එහෙමයි. හැබැයි අද සමහර තරුණ පරපුරේ උදවිය මේක හුදෙක්ම රස්සාවක්ම කරගෙන. සංවේදී හදවත් නෑ. ඉගෙන ගන්න උත්සාහ කරන්නේ නෑ. තව කෙනෙක් රඟපානවා බලාගෙන ඉන්නේ නෑ. ඒත් එදා අපි හැමවෙලේම උත්සහ කළේ අලුත් දෙයක් ඉගෙන ගන්න. අදටත් අපි එහෙම අලුත් දේවල් දවසින් ඉගෙනගන්නා කලාව කියන්නේ හරියට පාසලක් වගේ තැනක්.