2019 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා

විජයගේ කුණු වචන ටික මට ටක්කෙටම වැදුණා

 2019 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 12:30 270

Art එකේ කැරට්ටුව.. 

හඬ: ලක්ෂ්මන් මෙන්ඩිස්

ආදරණීය පතී... 

මතකද ඒ හිතුවක්කාරයාගෙ සෙල්ලක්කාර වැඩ... හිතුවක්කාරයා කියලා කිව්වේ ධර්මසේන පතිරාජට. ඒ පිස්සු හැදෙන සිනමාකරණයට මම වශී වුණේ කවද්ද කියලා මට මතක නෑ. මම දන්නෙ මම ආදරය කරන්න පටන් ගත්තා කියලා විතරයි. ඔහු ගිය පාරදිගේ ඇවිත් අහස් ගව්වට ගොඩවෙන්න අපිත් සිහින දැක්කා.... ඒ හීනවලට මොකද වුණේ...? හරි ඒවා ඕනෙ නෑ.... මේ අල්ල පනල්ලේ ධර්මසේන පතිරාජයන් ගැන මට මතක්කරලා දුන්නේ ලක්ෂ්මන්... ලක්ෂ්මන් කිව්වේ ලක්ෂ්මන් මෙන්ඩිස්.....
එනවද මාත් එක්ක පැයක දෙකක රූපරාමු කිහිපයකට කොටුවෙන්න...

කොටුවෙන්න කිව්වේ කොටුවෙන්නම නෙමේ... සිනමා සාගරයේ කිමිදෙන්න...
ෆිල්ම් එකේ නම අහස් ගව්ව... ලක්ෂ්මන් කියනවා ලක්ෂ්මන්ගේ පපුවේ හරිමැදටම වැදුන කිහිපයක් නිර්මාණ අතරේ ධර්මසේන පතිරාජයන්ගේ වැඩ ඉස්සරහින්ම තියෙනවලු. ධර්මසේන පතිරාජයන් ගැන අහන ගමන් ලක්ෂ්මන් එක්ක අහස් ගව්ව ගැන පිටුවකට හරියන්න කතාකරන්න හිතුණේ ඒකයි.... 
අහස් ගව්වට ඉගිලෙන්න කලින් ලක්ෂ්මන්ගේ ඩයරි එක එහෙන් මෙහෙන් අවුස්සන්න මට හිතුණා... මට දැනගන්න ඕනවුණේ මේ දවස්වල ලක්ෂ්මන් මෙන්ඩිස්ගේ කලදවස කොහොමද කියලා...

මේ දවස්වල පොඩ්ඩක් විතර කාර්යබහුලයි..  ඒකට  ප්‍රධාන හේතුව තමයි සිංහල සංස්කෘතික ආයතනයේ නව කාර්ය මණ්ඩලයේ ලේකම් තනතුරට මාව තේරිපත් වුණ එක...   අනිත් කාරණා තමයි සුදු ඇඳගෙන කළු ඇවිදින් ටෙලිනාට්‍යයේ අවසාන කොටස් කිහිපය රූපගත කිරීම්වල නිරතවෙලා හිටියා... තව විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් එක්ක එකතුවෙලා චිත්‍රපටයකට සම්බන්ධ වුණා... තව ටෙලිනාට්‍ය කිහිපයක සහ චිත්‍රපට කිහිපයකත් වැඩකරනවා... වේදිකා නාට්‍යවලටත් සම්බන්ධ වුණා... කෙටියෙන්ම කියනවනම් කලාවත් එකක් තමයි ටිකක් කාර්යබහුල වෙලා ඉන්නෙ...
එහෙම තමයි ලක්ෂ්මන් කිව්වෙ කලදවස ගැන...

ලක්ෂ්මන් මෙන්ඩිස් ගැන මම අමුතුවෙන් කියන්න ඕනෙද...?  එයාව දැක්ක ගමන් කවුරැත් දන්නවා මෙයා කවුද මොනවද කරන්නෙ කියලා... ඒ තරමට ඔහු රංගනයෙන් ප්‍රේක්ෂකයන්ට ළඟයි... වැඩිය යමක් ලක්ෂ්මන් ගැන නොකියා... එයා කියන්නෙ මොනවද කියලා බලමුද?
මෙච්චරම ලක්ෂ්මන්ගේ හිතයන්න තරම් අහස් ගව්වේ තිබෙන විශේෂත්වය මොකක්ද? පොඩ්ඩක් කියන්නකෝ ඒ ගැන...
මෙහෙමයි... ධර්මසේන පතිරාජයන් එහෙමත් නැත්නම් අපි ආදරේට කියන පතී මට ළඟින් ඇසුරු කරන්න ලැබෙනවා... පතීගේ චිත්‍රපටවලින් මම මුලින්ම බලන්න ලැබෙන්නෙ අහස් ගව්ව නෙමේ.... එයා දැන් ලොකු ළමයෙක් කියන චිත්‍රපටය... පතිරාජ ගැන මිනිස්සු කතාකරන දේවල් මම දැක්කෙ නෑ... එයා දැන් ලොකු ළමයෙක් චිත්‍රපටයෙන්... ඊටපස්සෙ මම බැලුවේ පතීගේ බඹරු ඇවිත් චිත්‍රපටය... එතකොට තමයි මම දැක්කෙ මේ මනුස්සයාගෙ තියෙන දේශපාලන සිනමාව, චින්තන ධාරාව මතුවෙන්න ගන්නෙ... 

එක්දහස් නමසිය හැත්තෑ හතරේ පතිරාජ අහස් ගව්ව නිර්මාණය කරනකොට තරුණයෙක් විදියට එයා එකතුකරගත්ත ගොඩාක් දේවල්, විප්ලවීය අදහස් පතීගේ සිනමා ජීවිතයට වසර විසිපහක් සපිරෙනකොට ඒ උත්සවය සංවිධානය කරන්න මට අවස්ථාවක් ලැබෙනවා. පතිරාජ ඒ උත්සවයට දාපු වැදගත්ම කියමන තමයි... සිනමාව විප්ලවීය භාවිතයක් කියන එක... ලංකාවේ නිර්මාණකරුවෙක් ප්‍රථම වතාවට තමයි ඒක කියන්නෙ... පතිරාජයන් මට ගොඩක් සමීපවෙන්නෙ මම දරන වාමාංශික දේශපාලන ධාරාවෙ කෙනෙක් විදියට... ඔහු කරන නිර්මාණවල තිබෙන දේශපාලනික පසුබිම මට ගොඩක් දැනුණා... ඔහු සමාජයට දෙයක් දෙන විදිහ, බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ න්‍යායට අනුව, නිර්මාණ ගැන ඉගෙන ගන්න, කලාකරුවන් විදියට ජනතාවත් එක්ක ගනුදෙනු කරන්න ඕන ආකාරය වැනි ගොඩාක් දේවල් අහස් ගව්ව තුළින් පතිරාජ පෙන්නලා දුන්නා...

අපේ රටේ තරුණයන් මුහුණදෙන ජීවන අරගලය, දේශපාලනිකව සහ සාමාජීය සහ ආර්ථිකව අපේ තරුණයා අසරණ වෙන ආකාරය, ධනේෂ්වර ආර්ථිකය සමාජය ගිලගන්න විදිහ හරි අපූරුවට අහස් ගව්ව තුළින් කතා කරනවා. මේ කතාවේ විශේෂත්වයක් තියෙනවා... පතිරාජ මේ හැමදෙයක්ම කතාකරන්නෙ සාමාන්‍ය ජනයාට තේරෙන විදිහට. ඒක සුවිශේෂි කරුණක්. 

තරුණ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පිරිසක් මුහුණ දෙන ජීවන අත්දැකීමක් ගොනුවක් තමයි කැමරා කාචයට පතිරාජ හසුකරගෙන තිබුණේ... ඒ තරුණයන් මුහුණදෙන අත්දැකීම්වල සොඳුරු අත්දැකීම් වගේම අමිහිරි කර්කශ අත්දැකීම් බොහෝමයි.. තරුණයන් විදියට ඒ කාලේ අපි හැමෝම මේ ප්‍රශ්නවලට මුහුණ දුන්නා.. අදත් ඒ ප්‍රශ්න ටික එහෙම්මමයි... ඊටත් වඩා ඔඩුදුවලා... අද තරුණයා මේ ප්‍රශ්න දකින විදිහයි, පතිරාජ මේ ප්‍රශ්න දැක්ක විදිහයි අතර වෙනසක් තියෙනවා... පතිරාජ ද්වේශයෙන්, කෝපයෙන් නෙමෙයි ප්‍රශ්න ගැන කතාකළේ... වෙනමම විදියට විප්ලවීය විදියකට... ඒ නිර්මාණ තුළින්... පාරදිගේ වගේ නිර්මාණයක් ගත්තාම ඒක හොඳටම පැහැදිලියි. අහස් ගව්ව චිත්‍රපටයේ ගීතවලින් පවා සමාජීය දේශපාලනික කතාව තමයි කතා කරන්නෙ... මගේ මතකයේ හැටියට පතිරාජගේ ගීත රචනාවකුත් තිබුණා මේ ගීත අතර. අහස් ගව්ව චිත්‍රපටය සිංහල සිනමාවේ හොඳම චිත්‍රපට දහය අතර ඉදිරියෙන්ම තියෙන චිත්‍රපටයක්.. සිංහල සිනමාවේ පෙරළියක් කරපු නිර්මාණ අතලොස්ස අතර මේකත් එකක්.. පතිරාජයන්ගේ සිනමා භාවිතය ගැන මට පුදුමයක් විශ්මයක් තියෙන්නෙ... ඒ කාලෙ හිටපු විද්වතුන්ට ඔහුගේ සිනමා භාවිතය ගැන ලොකු අවබෝධයක් තිබුණේ නෑ. ඒ අයට මොහු කියන්න උත්සාහ කරපු දේ තේරුණේ නෑ...  අද හැමෝටම තෙරෙනවා පතිරාජ කියන්න හදපුදේ...

මෙච්චරම ඔබ ආස අහස් ගව්වේ කැමතිම චරිතයක් ඇති නේද?
අපොයි ඔව්... මගේ වීරයා තමයි විජය කුමාරණතුංග. මම විජේව මේ චිත්‍රපටය හරහා වෙනම විදියට දැක්කේ... ඒ කලේ තිබුණේ බයිස්කෝප්නේ... අපි විජේව දැකලා තිබුණේ බයිස්කෝප්වල ඉන්න වීරයා විදිහටනෙ... මාක්ස්වාදී ආකල්ප තියෙන අහස් ගව්ව වගේ නිර්මාණයකට විජේව සුවිශේෂ විදියට පතිරාජ පාවිච්චි කරලා තිබුණා.. විජය නිරෑපණය කරන්නෙ පීඩිත පන්තිය නියෝජනය කරන චන්දරේ කියන තරැණයාගේ චරිතය... චන්දරේගේ රැකියාව වුණේ නගර සභාවේ කුණු ටැක්ටරය එලවන එක.. ඔහු දරන දේශපාලන මතය සහ ඔහු සමාජය වෙනුවෙන් කරන මෙහෙවර මගේ හිතට තදින් කා වැදුණා... තමන් ඇසුරු කරන මිත්‍රයන් වෙනුවෙන් පෙනී සිටින විදිය සහ ඔවුන් වෙනුවෙන් කරන කැපවීම, තාත්ත්වික විදියට සියුම්ව නිරූපණය කරනවා... මොකද මේ චරිතය කරනකොට විජය දේශපාලන වශයෙන් මෝරපු කෙනෙක් නෙමේ... පසුව තමයි විජය කුමාරණතුංග දේශපාලනිකව මුහුකුරා යන්නෙ... විමල් කුමාර ද කොස්තාගේ රංගනයත් හරිම සුවිශේෂියි... සෙසු රංගන ඉදිරිපත් කරන අමරසිරි කලංසූරිය ඇතුළු සියලුම රංගන ශිල්පීන් මට විශේෂයි.  

අහස් ගව්ව චිත්‍රපටය නරඹද්දී ඔබව සංවේදී කරපු රූපරාමුවක් මතකද?
මම කැමති මේ චිත්‍රපටයේ අවසානයට... තව දර්ශනයක් තියෙනවා විජය කුමාරණතුංග සහ අමරසිරි කලංසූරිය සමඟ ඇතිවන දෙබසක් තිබෙනවා... විජය කලංසූරියට කියනවා තමාට හම්බවෙච්ච රැකියාව ගැන... 
මල්ලි.... මට මේ ජොබ් එක හම්බවුණානේ... දැන් මම කුණු අදිනවා. මං ඉතින් ඉස්සර කෙරුවෙත් ඒකනෙ. කලංසූරිය අහනවා දවසට කීපාරක් මේකෙ රවුම් ගහනවද කියලා... විජේ කියනවා... ඒවල ගාණක් මිම්මක් නෑ මල්ලි... උදේ ඉඳන් රෑ වෙනකන් කුණු අදිනවා තමයි... ඉස්පිරිතාල, ඉස්කෝල, හෝටල් ගාව කුණු කොහෙද අපි එතන... අපි මේ කුණු ඇද්දට හම්බෙන්නෙ කුණු පඩියක් තමයි. මේ තියෙන ප්‍රශ්න මල්ලිට විතරක් තියෙන ප්‍රශ්න නෙමේ මල්ලි... අපි හැමෝටම තියෙන ප්‍රශ්න. ඉපදුණොත් ජීවත්වෙන ක්‍රමයක් තියෙන්න ඕනෙ... රස්සාවක් කියලා මොකක් හරි සුළු දෙයක් තිබ්බාම ඇති මල්ලී... අන්න ඒ වචන ටික මගේ හිතට තදින් කාවැදුණු වචන ටිකක්... 

මෙච්චර සුන්දර මේ නිර්මාණය ඔබට මුලින් මුණගැහුණෙ කොහොමද?
මම ඉස්සෙල්ලාම අහස් ගව්ව බලන්න ලැබුණේ පතිරාජගේ සිනමා ජීවිතයට අවුරුදු 25 සපිරෙන උත්සවයේදී... ඊට කලින් මම පතිරාජගේ නිර්මාණ බලලා තිබුණත් මේක බැලුව පසුකාලෙ තමයි..  

දැනට කී වතාවක් මේ නිර්මාණය ඔබ නරඹලා තියෙනවද?
දැනට පස් හය වතාවක් නරඹලා තියෙනවා... මේ කතාව ආයි මතක් කරද්දී මට ආයිත් වතාවක් අහස් ගව්ව බලන්න හිතුණා...

මෙවැනි නිර්මාණ තුළින් සමාජයට මොන වගේ බලපෑමක් කරන්න පුළුවන්ද?
මේ සමාජ ක්‍රමයේ හැටි තමයි සුළුතරයේ තිබෙන වටිනා අදහස් බහුතරය විසින් නොසලකා හරිනවා... පතිරාජ එදා කියපුදේ දැන් තමයි මිනිස්සුන්ට තෙරෙන්නෙ... ඒ කාලේ මේ අදහස් මිනිස්සු බැහැර කළා... අපේ රටේ තරුණයන්ගේ අසහනය ඔවුන්ට හඬක් නැගීමට අවස්ථාවක් නැතිකම පතිරාජ විසින් ප්‍රශ්න කළත්, ධනේෂ්වර පාලකයන් කනකටවත් ගත්තේ නෑ... තාමත් ඒ ප්‍රශ්නය එහෙම්මමයි.. ලංකාවේ ධනපති පාලකයන්ට ඒකට උත්තරයක් නෑ.. විරැකියාව තාමත් එහෙමමයි.. මේ අසුන්දර ප්‍රශ්නය පතිරාජ මිනිස්සුන්ට වටහා දෙන්න උත්සාහ කළා.. මං හිතන්නේ ඒක තමයි වටිනාම දේ කියලා... 

අහස් ගව්ව චිත්‍රපටයේ අවසාන රූපරාමුව නිමවෙනකොට.. ඔබට මොනවගේ හැඟීමක්ද දැනුණේ.... ඒ හැඟීම වචනවලට පෙරළමුද?
ඇත්තටම.. දැඩි කලකිරීමක් දැනුණා.. තරුණ ප්‍රශ්නවලට සමාජය සහ පාලකයන් දෙන උත්තරය මේකද කියලා හිතුණා...
ලක්ෂ්මන් මෙන්ඩිස් එහෙම කියලා කතාවට තිත තිබ්බා...

► Text - Danushka Wijesiri   /   Pic - Internet