2017 මාර්තු 18 වන සෙනසුරාදා

අපි හැමෝම ජිවිතය හොයනවා

 2017 මාර්තු 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 130

ජීවිතේ අතු අග්ගිස්සෙ මලක් නැත්නම් පොහොට්ටුවක් හරි ඉපදෙනකම් බලාගෙන හිටපු දවස් අපි කාගෙ කාගෙත් ජීවිතවල තිබුණා. සමහරවිට මලේ සුවඳ විඳගන්නත් ඉස්සර පිපුණ මල් පරවෙලා බිම වැටුණා. දහදිය කඳුළුවල ප්‍රාණයෙන් ජීවිතේ පලින් පල පිපුණු මල්වල සුවඳ ආත්මයේ නැහැපුඬුවලට උරාගෙන ජීවිතේ ආදරෙන් අත්දෙකට තුරුල් කරගත්තු අපි කාට කාටත් කාටවත් නොකීව තමන්ගෙ කතාවක් තියෙනවා කියන්න.

ලෝකයේ හැමතැනකම ජීවත් වෙන්නෙ මිනිස්සු. ඒත් ජාති, ආගම්, පාට, පන්ති භේදයෙන් විතරක් නෙවෙයි මිනිස්සු එකිනෙකාගෙන් වෙනස් වෙන්නෙ. මිනිස්සු මිනිස්සුන්ගෙන් වෙනස්වෙන නිර්ණායක හුඟාක් තියෙනවා. භූගෝලීය හේතු, සමාජ විද්‍යාත්මක හේතු වගේම මානුෂීය හේතුත් තියෙනවා, තමන්ගෙ අභිමතාර්ථ, ප්‍රාර්ථනා, බලාපොරොත්තු, අරමුණු එක්ක මිනිස්සු තම තමන්ගෙ ජීවිතවල තෝරාගන්න මාර්ග වෙනස් වෙන්න පුළුවන්. හැබැයි අවසාන අර්ථයෙන් ගත්තම අපි හැමෝම ජීවිතය හොයන මිනිස්සු.

ජීවිතයේ වපසරිය විසල් වෙන්න පුළුවන් - ලඝු වෙන්න පුළුවන්. එහෙත් ඒ සියල්ල තුළ අපි ජීවත් වෙනවා. එක්කො ඒ ජීවත්වීම තුළ අපි ජීවිතය විඳිනවා නැත්නම් විඳවනවා. සමහරු අතරමඟදී ජීවිතය අත්හැරලා දානවා. තවත් සමහරු මරණය තෙක් ජීවිතය තදින් අල්ලාගෙන ඉන්නවා.

මිනිස්සු වෙච්ච අපි හුඟාක් වෙලාවට මනුස්සකම් ගැන කතා කරනවා. මනුස්සකම වගේම මනුස්සයෙක් ළඟ තියෙන්න ඕනැ ලොකුම වටිනාකම තමා කෘතවේදීත්වය සහ මනුෂ්‍යත්වයේ යහ ඇවතුම් පැවතුම් සහ ආකල්ප.
ඔබට ලෝකය දැනෙන්නෙ කොයි විදිහටද කියලා කියන්න මම දන්නෙ නැහැ. ඔබ ලෝකය ස්පර්ශ කරන්නෙ කොයි විදිහටද කියලා කියන්න මම දන්නෙ නෑ.
ඒත් පොළොවෙ ඉඳන් අහසට පයින් ගහන්න හදන්න එපා. දවසක රිදුම් දෙන්නෙ පාදය නෙවෙයි ආත්මය.