හැමදාම උදේට නැගිටලා මම දහ අතේ කල්පනා කරනවා දැකපු හීනේ ගැන. මිනිස්සුන්ට නෙමෙයි මැස්සන්ට පවා ඉන්නවා බාල්දි පෙරළන ආච්චිලා සීයලා. මටත් ඉන්නවා එහෙම ආච්චි මැස්සෙක්.
ඇයි බොල?
ඇයි?
මොකද උඹ උදේ ඉඳලා ගහෙන් වැටුණ මැස්සට ගොනා ඇන්නා වගේ කල්පනා කරන්නෙ...
අනේ නෑ ආච්චියේ මම හීනයක් දැක්කනේ
මොකද්ද හීනේ?
මහ අමුතු හීනයක්.
කියපන් බලන්න.
ඔන්න මම හිටියා කන්දක් උඩ. ලස්සන කන්දක්. එකේ වටේට තේ වවලා තිබුණා. මගේ අතේ තේ තිබුණා
තේ දලුද?
තේ දලු අතේ තියන් කන්න යැයි. තේ කෝප්පයක්.
කන්ද වටේට වවලා තිබුණෙත් තේ කෝප්ප කෝප්පද?
ආපෝ මොනවද අප්පා මේ අහන විෂමාචාරී කතා. වවලා තිබුණෙ තේ දලු. මම බිව්වෙ තේ කෝප්ප.
ආන් එහෙම කියපන්කෝ. ඉතින්....
ඉතින් කන්දෙ පහළ ඉඳලා කෙල්ලෙක් සාරියක් ඇඳලා ආවා. ඒ සාරිය හරිම ලස්සනයි.
කොයි පාටද?
රෝස පාට
හොඳයි පාට. බෝඩරේ කොයි වගේද?
පලාපෙති මෝස්තර.
මොන පලාද කීර පලාද? කූර පලාද?
කූරයි කීරයි දෙකම තිබ්බා කියමුකෝ
හරි ඉතින්...
ඉතින් ඔන්න කෙල්ල ආවා. කෙල්ලගේ සාරිය කෙල්ල මම ළඟට එනකනුත් කන්ද පාමුල.
ඒ කියන්නෙ. හත්වලාමේ. කෙල්ල සාරිය කන්ද පාමුල ගලෝලද ආවේ?
නෑ නෑ ආච්චි.
එහෙනම්...
අර බයිස්කෝප්වල එන්නෙ. අඳින්න තියෙන ටිකෙන් භාගයක් ඇඳගෙන ඉතිරි ටික සුළඟට ලෙල දෙන්න කඩලා දාලා.
හරි හරි හැබැයි පුතේ යාර හයේ සාරිය අඳින්නෙ නැතුව අතේ අරන් ආවොත් තමයි කන්ද පාමුලටම දිග වෙන්නෙ. උඹට හන්ඩඩ් පසන්ට් සුවර්ද කෙල්ල සාරිය ඇඳලා හිටියමයි කියලා.
ඔව් හත්තලාමේ...
බොරු කියන්න එපා මට...
නෑ... නෑ... ආච්චියේ ආච්චි පල්ලා ඇත්ත
නවත්තපිය ගස් මූසලයා. යකෝ මාව දිවුරලා බොරු කිව්වම මට තමයි වැලිගං යන්න වෙන්නෙ.
ඉතින් අහන්නෙ නෑනේ
හරි කියපන්...
ඔන්න ආච්චි ඒ පාර කෙල්ල කන්ද උඩට ඇවිල්ලා කිව්වා අයියා... අර කන්දත් අපේ තමයි මේ කන්දත් අපේ තමයි කඳු යායම අපේ තමයි රැජන මමයි අපේ රාජ්ජේ කියලා
අම්මද බොල යකෝ රාජ කුමාරිකාවක්...
ඔව්...
උඹ මොකද කිව්වෙ?
මම කිව්වා නංගි මම රාජ කුමාරයෙක් නෙමෙයි මම ගමේ කොල්ලෙක් කියලා
ඔය තියෙන්නෙ. නොද්දකින් තෝ වගේ මරි මෝඩයෙක්
ඇයි ආච්චිමනේ කියන්නෙ බොරු කියන්න එපා කියලා
යකෝ මට බොරු නොකියා කෙල්ලට බොරු කියපන්. අවුලක් නෑ.
ඒ වුණාට ඒ අහිංසක මූණ බලාගෙන බොරුවක් කිව්වොත් සත්තයි මම පැලිලා මැරෙයි ආච්චි
මේ මොකක් වුණාද මූට.
ඇත්තමයි ආච්චි මම කිව්වා පූ....ජා කරන්නම් මලක් ඔයා නමින් කියලා
හා ඊට පස්සෙ...
ඒකි කිව්වා මගේ හදවතට දුක් දෙන්න එපා අයියට පව් පිරෙයි කියලා
මළා...
මැරුණෙ නෑ. මැරෙන්න හිතුණා
ඒ මොකද ඒ?
මට චපල පෙම්වතෙක් වෙලා ජීවත් වෙලා වැඩක් නෑ ආච්චි
අනේ බොල.
ඇයි?
තෝ මොනවද මේ කියවන්නෙ. හැටේ දශකේ බොලෑ සීයා මට කිව්වෙත් නෑ ඔය වගේ නරි ටෝක්ස්. කොල්ලෙක් වගේ කොන්ද කෙලින් තියං ඇවිල්ලා මට කෙලින්ම කිව්වා හඳ පානේ යමුද කියලා.
ඉතින්...
ඉතින් මම කිවවා යනවානම් අනේ මම අරන් යන තැනකට යන්න රත්තරන්... කියලා.
ඉතින් ආච්චි කියන්න දෙන්නෙ නෑනේ මට.
මොනව කියන්ද තොගෙ මහ මෝඩ ගොබ්බ කතා අහලා කෙල්ල යන්න ඇති යන්න
ගියා ආච්චි ඒක නෙමෙයි ප‍්‍රශ්නෙ.
එහෙනම්...
ඊට පස්සෙ වෙච්ච සීන් එක
ඒ මොකද්ද කියපන් බලන්න.
(මම ඒ කතාව ලබන සතියෙ කියන්නම්.)
I මම
හොස්ස ළඟින් ගිය මැස්සා.