වසර 35ක් පුරා දෙස් විදෙස් ආකර්ෂණයට පාත්‍ර වූ විජය නන්දසිරි නාට්‍ය නිර්මාණය කුස පබාවතී නව නිෂ්පාදනයක් ලෙස යළි කරළියට ගෙන ඒම සඳහා මේ දිනවල විජයගේ ආදරණීය බිරිය ප්‍රවීණ රංගන ශිල්පිනී දේවිකා මිහිරාණී කටයුතු සූදානම් කරමින් සිටිනවා. මාර්තු 26 වැනිදා කොළඹ බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී ප.ව. 6.30ට කුස පබාවතී වේදිකාගත වන්නේ තවත් සුවිශේෂී කාරණයක් සමඟය. එනම් දශක කීපයක් මුළුල්ලේම කුස පබාවතී නාට්‍යයේ විජය නන්දසිරි රංගනයෙන් දායක වූ ජයම්පතී නම් ප්‍රධාන භූමිකාව සඳහා මෙවර ජීවය දෙන්නේ විජය නන්දසිරිගේ එකම පුත් රසාංජන නන්දසිරිය.
මේ සම්බන්ධයෙන් කතාබහ කරන්නට හදසර දේවිකා මිහිරාණී නම් වූ ප්‍රවීණ කලා ශිල්පිනිය හමු වූ අවස්ථාවේ ඇය කියා සිටියේ මේ උත්සාහයේ පරමාර්ථය විජය නන්දසිරි කියන කලාකරැවගෙ සොඳුරු කාර්ය භාරය අද මෙන්ම හෙටටත් මේ රටේ මිනිස්සුන්ට තිළිණ කිරීම බවය.
එයා අපිව දාලා ගියාට එයා තාම අපිව දාලා ගිහින් නැහැ. අපි ඇතුළු එයාට ආදරේ කරන හැමෝම අතරමං කරලා එයා අපෙන් සමුගත්තත්, විජය නන්දසිරි කියන නාමය හැමදාම පවතිනවා කියලා මම විශ්වාස කරනවා දේවිකා පැවසුවාය.
ඔහුගේ මුල්ම නාට්‍ය නිර්මාණය තමයි කුස පබාවතී. ඒක පටන් ගත්තෙ 1982දී. මේ නව නිෂ්පාදනය තුළින් එයාටම ජාතක වෙච්ච එයාගෙ පුතා රසාංජන නන්දසිරි ලව්වා ඔහු රඟපෑ චරිතය ඉදිරිපත් කරන්නයි මගේ බලාපොරොත්තුව.
ඒ සඳහා සුදුසුම කෙනා රසංජන බව ඔබට විශ්වාසද?
ඔව්. විජයගේ බොහෝ දේවල් අපි තමයි දන්නෙ. එයා හැරුනත්, එයා බැලුවත් ඒ හැම ඉඟියක්ම අපි තමයි දන්නෙ. පුතා පිටරට ඉඳන් ආවට පස්සෙ තාත්තා එක්කමයි හිටියෙ. නාට්‍යවලට ගොඩක්වෙලාවට අවෙ ගියේ තාත්තා එක්ක. පුතාට එක සැරේම තාත්තගෙ දේ කරන්න බැරි වේවි, ඒත් අඩුම ගානේ 50 හෝ 60 හෝ කරයි කියලා හිතපු නිසා තමයි පුතාව ජයම්පතීගෙ චරිතයට තෝරා ගත්තෙ. මේ නාට්‍ය ලංකාවෙ වගේ ලෝකෙ රටවල් ගණනාවකම දර්ශන වාර 2500කට වඩා පෙන්නලා තියෙනවා. මේකෙ සංගීත නිර්මාණය ලයනල් අල්ගමගේ. පිටපත ලිව්වෙ රත්නසිරි පරණවිතාන. කොහොමත් විජය සැලසුම් කරගෙන හිටියෙ මේ අවුරුද්දෙ කුස පබාවතී අලුතින්ම නිෂ්පාදනය කරන්න. එයාගෙ ඒ හීනය තමයි අපි හැබෑ කරලා දෙන්නෙ.
මේ කතාව රසික ප්‍රජාවගේ දැඩි ප්‍රසාදයට ලක්වුණා නේද?
ඔව්. මිනිස්සු ගොඩක් මේක ආදරෙන් වැළඳගත්තා. විජයගේ මුල්ම නාට්‍ය නිෂ්පාදනය නිසා ඔහුත් මේ නාට්‍යයට ගොඩාක් ආසා කළා. මේ කතාව අද සමාජෙට ගැළපෙන විදිහට නිර්මාණය කරලා තියෙන්නෙ. මේකෙ රජ ඇඳුම් නැහැ. මෙහි රංගනයෙන් දායක වන අනෙකුත් ශිල්පීන් තමයි රොජර් සෙනෙවිරත්න, ජයනාත් බණ්ඩාර සහ ඉන්දික. රොජර් මෙ වැඩේට හරිම සහයෝගයක් ලබාදීම ගැන ඔහුට ස්තූතිවන්ත වෙනවා.
විජය නන්දසිරිට ඔහුගේ පුතා රංගනය සඳහා යොමු කරන්න අදහසක් තිබුණද?
එහෙම බල කිරීමක් තිබුණෙ නැහැ. පුතාට වුවමනා වුණේ ගුවන් නියමුවෙක් වෙන්න. ඒ වෙනුවෙන් එයා අවුරුදු දෙකක් විදෙස් ගතවෙලා ඉගෙන ගත්තා. ගුවන් නියමු බලපත්‍රය ලබාගෙන මෙහෙ ආවෙ, අපේ දුවත් පිටරට ජීවත් වන නිසායි. පුතා අපේ වෘෂභ රාජ නාට්‍යයෙත් රඟපෑවා. ඔහු වාදනය, ගායනය, ආලෝකකරණය හා වේදිකා පරිපාලනයටත් දක්ෂයි. විජයත් මේ තරම් දුර ආවෙ අත්දැකීම් තුළින්. පුතාත් තාත්තා වගේම කැපවෙලා මහන්සි වෙලා ඉදිරියට එයි කියලා හිතනවා.
කුස පබාවතී නව නිෂ්පාදනය රට පුරා ගෙන යන්නට සූදානම්ද?
ඔව් මේක රට පුරා, ලෝකෙ පුරා ගෙනි යන්න අපි ලෑස්තියි. අපේ අනිත් නාට්‍යයත් ඉදිරි කාලයේදී නව නිෂ්පාදන ලෙස ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වැඩේට මගේ නංගිලා දෙන්නා වගේම නංගිගෙ පුතා සචිත්‍රත් සෑහෙන්න මහන්සි වෙනවා. සරසවි පොත්හල, සදීපා පොත්හල හා සෙංකඩ ආයතනයේ ප්‍රවේශපත් මිළදී ගන්න පුළුවන්. එදාට දොරටුවෙන් ලබාගන්නත් පුළුවන්.
ඔබ මේ රටේ ප්‍රථම රූපවාහිනී නිළිය. ඔබට රංගනයට දැන් ආරාධනා ලැබෙනවද?
ඔව්. ආරාධනා ලැබිලා තියෙනවා. මේ වැඩෙන් පස්සෙ මම ටෙලි නාට්‍යයක වැඩක් භාර ගන්න තියෙනවා. ඒ කාලෙ මම රංගනයෙන් ඈත් වෙලා හිටියෙ අපේ පවුලේ යුතුකම් පැහැර හරින්න බැරි හින්දයි. විජයට නිදහසේ රංගන කටයුතු කරගෙන යන්න මම එයාගෙ හෙවණැල්ල වගේ ළඟින්ම හිටියා. එයාට කිසිම බරක් දුන්නෙ නැහැ. සිනමාව, වේදිකාව හා රූපවාහිනිය යන මාධ්‍ය 3ම නියෝජනය කරමින් ඔහු විශාල රසික පිරිසකගේ ආදරය දිනාගෙන හිටියා. වයස් භේද, ජාති ආගම් භේද වලින් තොරව හැමෝම ඔහුට ආදරය කළා. ඔහු අභියෝගවලට නොබියව මුහුණ දීපු කෙනෙක්. කලාව දේවත්වයෙන් සලකලා එයට වෘත්තිය ගරුත්වයක් ලබාදුන්නා. සරල විනෝදාත්මක, ගැඹුරු චරිත වගේම ඕනෑම ශෛලියක චරිතයක් කිරීමේ හැකියාව ඔහුට තිබුණා. ඔහුට හොඳ කුමාර පෙනුමක් තිබුණා. නැත්නම් අවුරුදු 27ක්ම මනමේ කුමාරයා වෙන්න බැහැනෙ.
විජය නන්දසිරිග් රසික රසිකාවියෝ හැමෝටම මේ නව නිෂ්පාදනය බලන්න මම ආරාධනා කරනවා.
මේ රටේ ප්‍රථම රූපවාහිනී නිළිය ලෙස අද දකින ටෙලි නාට්‍ය ගැන මොනවද හිතෙන්නෙ?
බොහෝ නිර්මාණවල ගුණාත්මකභාවය අඩුයි. හරිම ඒකාකාරියි. රංගන ශිල්පීන් ශිල්පිනියන්ගේ කැපවීම අඩුද කියලත් වෙලාවකට හිතෙනවා. තමන් කරන වෘත්තියට ආදරය කරන්න ඕනෙ, එයට සාධාරණයක් ඉෂ්ඨ කරන්න ඕනෙ.
රසාංජන නන්දසිරිත් මේ මොහොතේ අපේ කතාබහට එකතු වුණා.
අවුරුදු 2ක් එක්සත් ජනපදයෙ ගුවන් නියමු පාඨමාලාව සාර්ථකව නිමා කරලා මම ලංකාවට ආවේ මේ රටේ මගේ වෘත්තිය කරන්න පුළුවන් නිසා. අම්මයි තාත්තයි ගොඩක් කාර්යබහුලව හිටියා. අක්කත් හිටියෙ පිටරට. මම තාත්තා ළඟින්ම හිටියා 2016 මුල ඉඳන්ම. ඊට කලින් මම අපේ නාට්‍යවල ආලෝකකරණය හා වේදිකා පරිපාලනයට සම්බන්ධ වුණා. වෘෂභ රාජ නාට්‍යයේ සේනකගෙ චරිතය කළේ මම. තාත්තත් එක්ක වේදිකාවේ රඟපෑ මුල්ම අවස්ථාව තමයි ඒ. ජයම්පතී චරිතය මට ලොකු අභියෝගයක්. ලොකු ආශාවකින් හා කැපවීමකින් තමයි ඒක කරන්නෙ. තාත්තගෙන් උකහාගත් දේවල් හා ලැබූ පන්නරයත් එක්කයි මේක භාරගත්තෙ. මුලින්ම මම හිතුවෙ පවුලෙන් ලැබුණ දායාදය නිසා රංගනය හරි ලේසියි කියලා. ඒත් රංගන ලොවට අඩිය තිබ්බම තමයි තේරෙන්නෙ මේක කොච්චර බැරෑරුම්ද, උසස්ද කියලා. කැපවීම තුළින් තමයි මේක ජයගන්න පුළුවන් වෙන්නෙ. කාලය කළමනාකරණය කරලා වෙනත් නිර්මාණවලටත් දායක වෙන්න බලාපොරොත්තු වෙනවා. රංගනය කියන්නෙ ගුවන් යානයක් පදවනවා තරම් ලේසි දෙයක් නෙවෙයි කියලා මට තේරෙනවා.
♦ Text — Ramesh Uvais / Pic-Upul Nishantha