2017 මාර්තු 18 වන සෙනසුරාදා

තරු අම්මලාගේ දඟ පොඩ්ඩෝ....

 2017 මාර්තු 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 5335

අපේ කලාකාරියන් කීපදෙනෙක්ම මේ දවස්වල හරි හරියට වැඩ. කලා නිර්මාණවල එහෙම නෙමේ. ගෙදර හරි හරියට වැඩ. ඒකත් මේ පුංචි පැටවු එක්ක. දැන් එයාලා අම්මලා. ඉතින්.. මේ අම්මලා හතර දෙනාගේ පුංචි පැටවු දැන් කරන හුරතල් වැඩ එහෙම මොනවද කියලා අපිට අහන්න හිතුණා.

කන්න ගියාම නාගන්නවා ( අභිෂේකා විමලවීර ) 

මට ඉන්නේ චූටි දුවෙක්. දූගේ නම ෆර්ලි අභිලාෂ්පා. එයාට වයස දැන් අවුරුදු තුනයි. එයා දැන් මොන්ටිසෝරි යනවා. හරිම හුරතල් පැටියෙක් තමයි අපිට ඉන්නේ. දූගේ උදේ දවල් රෑ වේල් තුන කෑම ටික හදන්නේ මගේ අම්මා. ඒ වගේම දූට කෑම ටික කවලා හැම වැඩක්ම කරන්නෙත් මගේ අම්මා. දූ මගේ අම්මත් එක්ක හරිම එකතුයි. එයාගේ හොඳම යාළුවා තමයි මගේ අම්මා. කෑම කද්දිනම් ඉතින් ඇඟ පුරාම ගාගන්නවා. ඒකට ඉතින්  ටිකක් වෙලාත් යනවා. දැන් මොන්ටිසෝරි යන නිසාත් එද්දී අම්මා එක්ක මොන්ටිසෝරියේ වෙච්ච දේවල් කියවනවා. තාම එයා චූටි නිසා මොන්ටිසෝරියෙන් එහෙමට ලොකුවට වැඩ කෙරෙන්නේ නෑ. ඇහැ හුරුවෙන්න ඔය චූටි චූටි දේවල් තමයි කරන්නේ.

දුව දැන් සින්දු කියනවා. මම කිය සින්දු අහගෙන බොරුවට කටට එන වචන ඔහේ තාලෙට කියනවා. තව චූටි චූටි සින්දු එයා කියනවා. දැන් අපි ගෙදර බඩු මුට්ටු පවා තියන්නේ එයා කැමති විදිහටයි. එයා චුට්ටක් දඟ වුණාට හරිම නිශ්ශබ්ද දරුවෙක්. හරිම කීකරු අපිට හරි ආදරය කරන පුංචි පැටියෙක්.

 

 

වීඩියෝ එක බලාගෙනයි නෑව්වේ ( උපේක්ෂා ස්වර්ණමාලි )

මගේ ජීවිතේ සතුට ගෙනාවේ මගේ පුංචි දුව ධනුජි ෂැනන් දැන් එයාට වයස මාස හතරයි. ජීවිතේ ලොකු වෙනසක් කළේ එයා. එයා තාම චූටි නිසා රෑට ඇහැරෙනවා. ඒත් ලොකු කරදරයක් දෙන්නෙ නෑ. ඒ හැම අපහසුතාවයක්ම හරිම සතුටින් මම විඳ දරාගන්නවා. ඒවා සුන්දර අපහසුතා. පැය විසිහතරේ ජීවන රටාවත් එක්ක දැන් අපි වෙනස්වෙලා.
දරුවගේ දේවල්වලට මගේ අම්මත් මට උදව් කරනවා. ගෙදර උදව්වට අපිට හොඳ ගෑනු කෙනෙකුත් ඉන්නවා. ඒත් දරුවගේ හැමදෙයක්ම කරන්නේ මම. දරුවා ඉපදුණ වෙලාවේ  හොස්පිට්ල් එකේ නර්ස් තමයි මුලින්ම නෑව්වේ. ඒ නාවද්දි මම බලාගෙන හිටියා. ඊටපස්සේ මගේ දුවව නෑව්වේ මමමයි. හොස්පිට්ල් එකේ එයාව නාවද්දි අපි වීඩියෝ කරගත්තා. ඒක බලාගෙන මම නෑව්වා. දැන් ඒ හැමදෙයක්ම මට හොඳට හුරුපුරුදුයි.

ඩොක්ටර්ස්ලා කිව්වා දරුවාට මාස හයට කලින් කෑම පොඩ්ඩ පොඩ්ඩ පුරුදු කරන්න කියලා. ඉතින් දුවට මුලින්ම කෑම හදලා දීපු දවසෙම එයාට බඩේ අජීර්ණයක් ඇතිවුණා. එදානම් මම ටිකක් බයවුණා. දැන්නම් ඒ හැමදෙයක්ම ප්‍රශ්නයක් නැතිව හදන්නේ මම. මම දුවට ඇහෙන්න සින්දු දානවා. එයා ඒවාට කැමති ඇති කියලා මට හිතෙනවා. ඇත්තටම දැන් මගේ දුවගේ කිරි සුවඳට මේ මුළු කාමරේම සුවඳයි.  

 

දැන් අැස් පුංචි කර කර කෝලම් කරනවා ( මංජුලා කුමාරි)

මගේ චූටි පුතාගේ නම ඔලිත සංතුල්. දැන් එයාට අවුරැදු එකහමාරක් වෙනවා. අනේ එයා දැන් හරිම හරි හුරතල් පුංචි පැටියෙක්. එයා ළඟින් දැන් මට හෙලවෙන්න හිතන්නෙම නෑ. එයා නිදාගත්තම හරිම පාළුයි. සමහර දවස්වල එයා නිදාගත්තම එයා ළඟට වෙලා මම ටිකක් වෙලා එයා දිහා බලාන ඉන්නවා. සමහර වෙලාවට පුංචි පුතා හීනෙන් හිනාවෙනවා. ඉතින් ඒ වගේ වෙලාවට එයාගෙන් ඇස් අහකට ගන්න හිතෙන්නෙම නෑ. ඉතින් ආයේ ගෙදර තියෙන වැඩ මතක් වෙද්දි, ඔන්න මම ටක්ගාලා ගිහින් පුතා නැඟිටින්න කලින් ඒ වැඩ ටික කරගන්නවා.

පුතා එක්ක දවස ගෙවෙද්දී කාලය යනවා තේරෙන්නෙම නෑ. එයා හරි එක එක කෝලම් තමයි කරන්නේ. ඇස් පුංචි කර කර එක එක කෝලම් කරනවා. පුතා ටිකක් දඟයි. පඩිපෙළ දිගේ යන්නම තමයි හදන්නේ. ඒ නිසා අපි බලාගෙනම තමයි ඉන්නේ. සමහරදාට අපිට පේන්න බොරුවට බිම පෙරළෙනවා.

පුතාට කෑම කවද්දි එයා පුංචි කාලේ ඉඳන්ම මම එක තැනක ඉඳගෙන කෑම කවන්න පුරුදු වුණා. හැබැයි ඉතින් කෑම කවද්දි වෙලාවනම් යනවා. සමහර දවස්වලට කට වටේම කෑම ගාගන්නවා. පුංචි කාලේ ඉඳන්ම මම පුතාට සින්දු අහන්න පුරුදු කළා. දැන් එයා සින්දුවලට හරි කැමතියි. සමහර වෙලාවට සින්දු යද්දි එයා ලා... ලා... කිය කියා තාල අල්ලනවා. එයා හරිම හරි හුරතල් පුංචි පැටියෙක්.

පාට පාට අැඳ ර‍ෙද්දට පුතා මාර අාසයි ( ඉමාෂි ලෝචනා )

රන්දුල නවරත්ත මගේ ආදර පුතාට දැන් වයස මාස හයයි. එයාගේ රූපයනම් මගේ මහත්තයා වගේමයි. ඉස්සර හැමෝම පුතා එයාගේ තාත්තා වගේ කියද්දි මට චූටි දුකක් ආවා. හැබැයි ඉතින් ඒක අහිංසක දුකක් අනේ. දැන් මට ඒ ගැන දුකක් නෑ... තියෙන්නේ සතුටක්.

එයා හරිම හුරතල් දරැවෙක්. එයාට කට්ටිය ඕනේ. අපේ ගෙදර ළඟ තව පොඩි දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මෙයා හරි ආසයි ඒ දෙන්නට. දැන් එයාට අපිව හොඳට හුරුයි. ගෙදර කට්ටිය දකිද්දි එයා හරි හරියට හිනාවෙනවා.
එයා චූටි කාලේ ඉඳන්ම මම එයාට ඇහෙන්න හැමදාම රෑට පිරිත් දැම්මා. දවල් තිස්සේ සින්දු දාලා තියෙනවා. ඒ නිසා එයාට සද්ද බද්ද දැන් ගාණක් නෑ. හැබැයි එකපාරටම ලොකු සද්දයක් ඇහුනොත්නම් එයා ගැස්සිලා අඬනවා. එහෙම නැතිව සද්දනම් එයාට ගාණක් නෑ.

පහුගියදාක එයාට මාර වැඩක් වුණේ. අපි එයාව නිදිකරවලා ඇඳේ තියලා තිබ්බා. එයා ඇඳෙන් පෙරළිලා ඇවිත් ඇඳෙන් වැටිලා. හොඳ වෙලාවට පුතාව නෙට් එකේ හිරවෙලා තිබුණා. දෙයියන්ගේ පිහිටෙන් ඒ නිසා පුතාට කිසිම කරදරයක් වුණේ නෑ. දැන්නම් ඒ නිසා අපිට හරි බයයි. දැන් එයාව කොටු කරලා වගේ තමයි තියන්නේ. වටේටම කොට්ට පුරවලා. ඒක නිසා අපිට හරිම දුකයි. ඉතින් අපි පුතාව දැන් ලොකු පාට පාට ෂීට් එකක් සාලේ බිම එළලා ඒකෙ පුතාව තියලා තියනවා. පාට පාට ෂීට් එකට එයා හරි ආසයි. ඒ නිසා බිමට වැටෙයි කියන බය දැන් අපේ නෑ.

 

 

 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00