අශිකා.. සුරේන්ද්‍රව මුලින්ම මුණගැහුණේ කොහොමද?
අපි දෙන්නා මුණගැහුණු කතාව නම් ටිකක් දිගයි. මුලින්ම මට සුරේන්ද්‍රව මුණගැහුණේ නෙරංජලාගේ වෙඩින් එකේදීයි. සුරේන්ද්‍රගේ හොඳම යාළුවෙක් තමයි ඉෂාන් අයියා (ඉෂාන් ගම්මුදලි) සුරේන්ද්‍ර වැඩ කරන්නේ ගුවන් හමුදාවේ. ඒ වෙද්දී සුරේන්ද්‍ර වැඩ කරලා තියෙන්නේ හිඟුරක්ගොඩයි. කොළඹ ආපු දවසක සුරේන්ද්‍ර “කිඳුරංගනා ටෙලිනාට්‍ය රූගත කරන තැනකට ගිහින් තියෙනවා. නෙරංජලා සහ චමල්ෂා කියන්නේ මගේ යාළුවෝ දෙන්නෙක්. එදා මේ දෙන්න එක්කත් සුරේන්ද්‍ර හොඳට හිතවත් වෙලා කතාබහ කරලා තියෙනවා. ඔය කාලේදී සුරේන්ද්‍රට විවාහ වෙන්න කෙනෙක් ගෙදරින් හොයමිනුයි ඉඳලා තියෙන්නේ. ඒ ගැනත් කියලා කට්ටිය සුරේන්ද්‍රට විහිළු කරලා තියෙනවා. “කොයි වගේ කෙනෙක් ද හොයන්නේ.. කියලා නෙරංජලා සුරේන්ද්‍රගෙන් අහපු වෙලාවේ මම හිටපු ගීතයක් ගැන කියලා “ඒ සින්දුවේ ඉන්න ගෑනු ළමයා වගේ කෙනෙක්ට මම ආසයි.. කියලා සුරේන්ද්‍ර කියලා තියෙනවා.
ඔය කාලේදීත් අශිකාට ගෙදරින් විවාහ යෝජනා හොයමින් ද හිටියේ..?
ඔව්... මටත් ගෙදරින් විවාහ යෝජනා සොයමිනුයි හිටියේ. ඒ වෙද්දී පිටරට හිටපු කිහිප දෙනෙක්ගෙන්ම මට විවාහ යෝජනා ඇවිත් තිබුණාට මම ඒ එකකටවත් කැමති වුණේ නැහැ. මේ ගැන නිරංජලා දැනගෙන හිටියා.
ඒ නිසාම නිරංජලා අශිකාට සුරේන්ද්‍රව මුණගැස්සුවා ද?
ඔව්.. නිරංජලාගේ වෙඩින් එකට සුරේන්ද්‍රටත් ආරාධනා කරලා තිබුණා. මම තමයි ඒකේ දෙවැනි මනමාලිට හිටියේ. ඉතින්.. සුරේන්ද්‍රත් ඇවිත් මාත් එක්ක කතා කළා.
(ඔන්න ඉතින් ඔහොම දෙන්නා මුණගැහුණු හැටි ගැන අශිකා විස්තර කියද්දී සුරේන්ද්රගෙනුත් මේ ගැන ඇහුවේ නැත්නම් ලොකු අඩුවක්නේ. ඒ නිසාම ඒ ගැන අපි සුරේන්ද්රගෙනුත් අහලා බැලුවා...)
සුරේන්ද්‍ර ඔයාට මතකද අශිකාව මුණගැහුණු මුල්ම දවස?
ඔව්... හොඳට මතකයි... අශිකාව මුණගැහෙන්න කලින් බොහෝ කලාකරැවන් කලාකාරියන් මගේ යාළුවෝ.. ඔය අතරේ ඉෂානුත් මගේ හොඳ යාළුවෙක් වුණා. දවසක් ඉෂාන්ලාගේ රූගත කිරීම් අතරතුරේදී “බඳින්න කැමති මොනවගේ කෙනෙක්ද? කියලා අහද්දී “අර සින්දුවේ ගෑනු ළමයා වගේ කෙනෙක්. කියලා මම ඒ අයට කිව්වේ. ඇත්තටම ඒ වෙලාවේ ඒ ගෑනු ළමයා මේ කට්ටියගේ යාළුවෙක් කියලා මම දැනගෙන හිටියේ නැහැ. එතන හිටිය නෙරංජලාගේ හොඳම යාළුවා තමයි අශිකා. හැබැයි මම ඒකවත් දැනගෙන හිටියේ නැහැ. මට කිව්වෙත් නැහැ. ඔහොම ටික දවසකට පස්සේ නෙරංජලා මට ආරාධනා පත්‍රයක් දීලා. “මගේ වෙඩින් එක තියෙනවා. ඒකේ මගේ දෙවැනි මනමාලිට ඉන්නේ අර ගෑනු ළමයා වගේම කෙනෙක්. කොහොම හරි වෙඩින් එකට එන්න කියලා. ආරාධනා කළා.
නිරංජලාගේ වෙඩින් එකේදීම දෙවැනි මනමාලිට සුරේන්ද්‍ර මනාලියක් කරගන්න යෝජනාවක් කළාද?
ඔව්නේ... ඉෂාන්ලාත් වෙඩින් එකට ගිය නිසා මමත් ඉතින් වෙඩින් එකට ගියා. දෙවැනි මනමාලිට හිටියේ ඒ සින්දුවට හිටිය ගෑනු ළමයාම තමයි. මට හිතාගන්නත් බැරිවුණා. මම මුලින්ම අශිකාගේ ෆොටෝ එහෙමත් ගත්තා. සමහර වෙලාවට අශිකාට ඒක වදයක් වෙන්නත් ඇති. ඒකට හේතුවක් තිබුණා. මම වෙඩින් එකට ලෑස්ති වෙලා ගෙදරින් එළියට එද්දී මගේ අම්මාට “අද මගේ හිතේ ඇඳුණු කෙනාට සමාන කෙනෙක් මුණගැහෙනවා. කියලා කිව්වා. ඒ නිසාම අම්මාට පෙන්නන්නත් එක්ක අශිකාගේ ෆොටෝ ගත්තා. ඔහොම ෆොටෝ ගහලා අශිකා තනියම පැත්තකට වෙලා වාඩිවෙලා ඉදිද්දී මම එයාගේ ළඟින් වාඩිවෙලා ටිකක් කතාබහ කරලා “මගේ හිතේ ඔයා ගැන අදහසක් තියෙනවා. මම ඔයා විවාහ කරගන්න කැමතියි.. ඔයාගේ අම්මලා වෙඩින් එකට ඇවිත් ඉන්නවා නම් කියන්න. මම මේ ගැන කතා කරන්නම්. කියලා කිව්වා. ඒ කියපු ගමන් අශිකා එකපාරටම මුකුත්ම නොකියා එතනින් නැගිටලා යන්න ගියා.
සුරේන්ද්‍ර එතනින් අධෛර්යමත් වුණේ නැහැ නේද..?
නැහැ... නැහැ... ඒ වෙලාවේ චමල්ෂා, යුරේනි ඇතුළු කිහිප දෙනෙක් වෙන මේසයක වාඩි වෙලා හිටපු ගෑනු කෙනෙක්ව මට පෙන්නලා “අර ඉන්නේ අශිකාගේ අම්මා කියලා කිව්වා. මමත් එයා ළඟට ගිහින් වාඩි වෙලා “මම ඇන්ටිගේ දුවව මැරි කරන්න කැමතියි. මම අපේ අම්මලා එක්ක කතා කරලා ගෙදරට එන්නද?* කියලා ඇහුවා. ඒ වෙලාවේම “කවුද කිව්වේ එයා මගේ දුව කියලා. මම එයාගේ අක්කා කෙනෙක් විතරයි. කියලා කිව්වා. මට හිතා ගන්නවත් බැරි වුණා. මම ආයෙත් අශිකා ළඟට ගිහින් “මම අර අක්කාගෙන් ඔයාගේ අම්මා කියලා හිතලා ඇහුවනේ. කියලා කියද්දී “කවුද කිව්වේ මට කෙනෙක් නැහැ කියලා... මම යාළුවෙලා ඉන්න කෙනා ඉන්නේ පිටරට. කියලා කිව්වා. ඊට පස්සේ මම “අනේ සොරි කියලා මගේ ඒ අදහස ඒ මොහොතේදීම අත්හැරගත්තා. අනුන්ට අයිති දෙයක් ලබාගන්න මට ඕන වුණේ නැහැ. ඊට මාස අටකට විතර පස්සේ අශිකාගේ හොඳම යාළුවෙක් වුණු නිර්මාණි මට කෝල් කළා. “අශිකා ඔයාට කැමතියි. ඔයා ගැන හොයන්න ඕන නිසයි එදා අශිකා එහෙම කියලා තියෙන්නේ. ඔයා දැන් අශිකාට කෝල් එකක් දෙන්න. කියලා කිව්වා.
නෙරංජලාගේ වෙඩින් එක දවසේ සුරේන්ද්‍රට අකමැති වුණු අශිකා ආයෙත් සුරේන්ද්‍රට කැමැති වුණේ ඇයි..?
(ඔන්න.. මම ආයෙත් අශිකාට ප්‍රශ්නයක් යොමු කළා)
ඇත්තටම කිව්වොත් සුරේන්ද්‍රට අකමැති වෙන්න හේතුවක් මට තිබුණේ නැහැ. මට සුරේන්ද්‍ර කියන්නේ මොනවගේ කෙනෙක් ද කියලා හොයලා බලන්න ඕන වුණා. නිරංජලාගේ වෙඩින් එකට මාස කිහිපයකට පස්සේ ආයේ දවසක සුරේන්ද්‍රව රෑගත කිරීමක් කරද්දී මුණගැහුණා. එදත් වැඩිය කතා කළේ නැහැ. හැබැයි සුරේන්ද්‍රව මට සැරෙන් සැරේට මතක් වෙන්න පටන් ගත්තා. “මම එයාට කැමතියි කියලා මට හිතෙන්න ගත්තා. ඊට පස්සේ මගේ හොඳම යාළුවා වුණු නිර්මාණි කෞෂල්‍යාට මේ ගැන කිව්වා. මගේ ජීවිතේ බොහෝ දේවල් මම කිව්වේ ඒ මගේ යාළුවා වුණු නිර්මාණි එක්කයි. අදටත් අපේ ඒ යාළුකම ඒ විදිහමයි. ඊට පස්සේ නිර්මාණි සුරේන්ද්‍රට කෝල් කරලා “ඔයා ඇත්තටම නේද අශිකාට ආදරේ කරන්නේ. කියලා අහලා තිබුණා. සුරේන්ද්‍ර අහලා මාස අටකට පස්සේ අපි ආදරේ කරන්න පටන් ගත්තා.
සුරේන්ද්‍ර දීපු මුල්ම තෑග්ග මතකද?
ඔව්... හොඳට මතකයි. එයා මට චූටි සෙල්ලම් බලු පැටියෙක් ගෙනත් දුන්නා. ඒක තාම මම ළඟ තියෙනවා. පුතාලාටවත් අල්ලන්න දෙන්නේ නැතිව මම ඒක හංඟලයි තියලා තියෙන්නේ. මම එයාට මුලින්ම දුන්නේ ෆර්ෆියුම් එකක්...
රංගනයෙන් අයින් වෙන්න කියලා කවදාවත් සුරේන්ද්‍ර කියලා නැද්ද?
නැහැ.. අද වෙනතුරු මේ ෆීල්ඩ් එකෙන් අයින් වෙන්න කියලා සුරේන්ද්‍ර මට කවදාවත් කියලා නැහැ. එයා මාව හොඳින් තේරුම් අරගෙනයි ඉන්නේ. ඒ ගැන ගොඩාක් සතුටුයි. කොහේ ගියත් මාව මිනිස්සු හඳුනාගෙන කතා කරනවාට සුරේන්ද්‍ර හරි කැමතියි. අපි ළඟදී දළදා මාලිගාවට ගියා. ඒ ගමන්වලදී මම මේක්අප් දාන්නේ නැහැනේ. හැබැයි මාලිගාවේදීත් මාත් එක්ක මාව හඳුනාගෙන බොහෝ දෙනා කතා කළා... හිනා වුණා... “ආ.. හොඳයි නේද.. ඔයාව අඳුරගත්තා නේද..? කියලා එයා මට විහිළු කළා. එයා හැමවෙලේම අපිත් එක්කම ජීවිතේ සතුටින් ගෙවන්න කැමති කෙනෙක්.
ඔය දෙන්නාගේ විවාහ උත්සවයත් හරිම සුවිශේෂියි නේද..?
ඔව්.. අපි විවාහ වුණේ 2009 මැයි මාසේ විසිපස් වැනිදා. අපි අපේ විවාහ උත්සවයේ හැම වැඩක්ම කළේ දෙන්නම එකතු වෙලයි. අපි දෙන්නා තමයි හැමදේම ප්ලෑන් කළේ. වෙඩින් කාඩ්එක ලිව්වේ සුරේන්ද්‍ර. කාඩ් හැදුවෙත් අපිමයි. දෙවැනි මනමාලියන්ගේ සාරි, මල් බොකි හැමදේම හැදුවේ අපි දෙන්නාමයි. පෝරුව හැදුවේ, වෙඩින් කේක් එක හැදුවේ අපිමයි.
අඩි විසිහයක ලොකු පෝරුවක් නිර්මාණය කළේ සුරේන්ද්රමයි. රැ එළිවෙනකල් එයා පෝරුව හැදුවා. දෙවැනි මනමාලියන් හතරක්, මල්කුමරියන් හයක් හිටියා. වෙඩින් සාරිය අපි දෙන්නා පිටකොටුවට ගිහින් තේරුවා. අපි දෙන්නා බයික් එකත් අරගෙන පිටකොටුවේ කිහිප වතාවක්ම ගිහින් ඒ අවශ්‍ය බඩු ගෙනාවා. සාරියට රේන්ද අල්ලලා ඒ හැමදේම කළේ මමයි. දෙවැනි මනමාලිට මාල, කරාබු හැදුවේ මමයි. දියතලාවෙන් මල් ගෙන්වාගෙන මල් බොකිය පවා හැදුවේ මමයි. ඇත්තටම ඒ හැමදේම අපි දෙන්නා මහන්සි වෙලා අපිටම කරගන්න ඕන වුණා. ඒක අපි දෙන්නටම විශේෂයක් වුණා.
විවාහ වුණාට පස්සේ ඔය දෙන්නා වෙනම පදිංචි වුණා ද..? මව්පියන් එක්ක පදිංචි වුණා ද..?
විවාහ වුණාට පස්සේ අපි දෙන්නා වෙනමම පදිංචි වුණා. වෙඩින් එක ඉවර වෙච්චි ගමන් අපි කුලියට ගත්තු ගෙදරට ගියා. ඒ වෙද්දී ඇනෙක්සි එකකට ගෙනියන්න අපි බඩුවත් අරගෙන තිබුණේ නැහැ. අපිට තෑග්ගක් විදිහට මුල් මාසය ෆ්‍රී වුණු ඇනෙක්ස් එකක් තෑගි ලැබුණා. ඒ ගෙදරට ගේන්න අපිට බඩු තිබුණෙත් නැහැ. මට තාම මතකයි අපි ඒ ගෙදර මුලින්ම නිදාගත්තේ මෙට්ටයකයි. අපිට නිදාගන්න ඇඳක්වත් තිබුණේ නැහැ. පහුවදාම සුරේන්ද්‍රයි, මමයි මොරටුවට ගිහින් ඒ අවශ්‍ය දේවල් ටිකක් මිලදී ගත්තා. ඊට පස්සේ තමයි හෙමි හෙමීට අපි දෙන්නා ජීවිතය පටන් ගත්තේ. අපි දෙන්නා එකතු කරපු සල්ලිවලින් තමයි අපේ වෙඩින් එක ගත්තේ. දැන් අපි හරිම සතුටින් කාටවත් බරක් නොවී ජීවත් වෙනවා.
සුරේන්ද්‍ර.. ඔය දෙන්නාගේ හඳහන මුලින්ම බලපුවාම නොගැලපෙනවාය කියපු කතාව මොකක්ද..?
ඔව්.. අපි දෙන්නා යාළු වුණාට පස්සේ දවසක් අශිකා එයාගේ හොඳම යාළුවා වුණු නිර්මාණිගේ අම්මා එක්ක අපි දෙන්නාගේ හඳහන් දෙක බලන්න ගියා. යන්න කලින් ඒ ගැනත් මට කිව්වා. අපි දෙන්නාගේ හඳහන් දෙක බලපු මනුස්සයා “අපෝ මේ.. දෙකනම් ගැලපෙන්නේ නැහැ. මේක කරන්න ලෑස්ති වෙන්න එපා.. කියලා. එතැන ඉඳන් අශිකා මට විස්තරය කියලා ඇඬුවා. මමත් ඉක්මනට මෙයාලා ඉන්න තැනට ගියත් මෙයා අඬනවා. නිර්මාණිගේ අම්මා “දුක්වෙන්න එපා.. අපි තව තැනකිනුත් මේක බලමු.අ කියලා කිව්වා. ආයෙත් මෙයලා හොඳ ප්‍රසිද්ධ තැනකින් බලද්දී “මේ දෙක හොඳට ගැලපෙනවා. කියලා විස්තර ගොඩාක් කියලා තිබුණා.
අශිකා... පසුගිය කාලයේදී කිරුළක් දිනා ගන්නට ඔයා තරගයකට ඉදිරිපත් වුණා.. ඒ වෙනුවෙන් අශිකාට ලොකුම හයිය වුණේ සුරේන්ද්‍ර එහෙම නේද..?
ඔව්.. තරගයට යන්න කලින් අවුරුද්දේදීත් මම එක්තරා තරගයකට ඉදිරිපත් වුණා. සුරේන්ද්‍ර තමයි මම වෙනුවෙන් අයදුම්පතක් දැම්මේ. ඒකෙන් මට ජයග්‍රහණයක් ලබා ගන්න බැරි වුණා. මේ පාර තරගයට ඉල්ලුම්පත දැම්මේ මමයි. ඒ වැටුණු තැනින් නැගිටින්න මට ඕන වුණා. පෙරලුණු දේ ගල්කණු වන බව මම දැනගෙන හිටියා. ගියපාර ජයග්‍රහණයක් නොලැබී යාමෙන් මගේ හිත ටිකක් රිදුණා. ඇත්තටම මට දුක හිතුණා. ඒ හිතට දැනුණු දුකෙන්ම මට නැගිටින්න ඕන වුණා. මේ වතාවේදී එක වෙලාවකදී කකුල පෙරලිලා පත්තු පවා දාන්න සිද්ධ වුණා. ඒ තියෙද්දීත් මම අඩි උස සපත්තු දැම්මා. සුරේන්ද්‍රගෙන් මට උපරිම සහයෝගය ලැබුණා. මම හැමවෙලේම දරුවන් ගැන බැලුවා. එයාලගේ කෑම බීම ගැන හොයලා බැලුවා. ඒ තරගයෙන් මම තුන්වැනි ස්ථානය දිනාගත්තා. ඒ වගේම මම ඒ තරගවලියේදී අංගම්පොර නිර්මාණයක් ඉදිරිපත් කළා. එකෙදී වෙස්මූණු ටික හැදුවේ සුරේන්ද්‍රගේ අත්දෙකෙන්මයි.
දැන් දරුවන් තුන්දෙනෙක් ඉන්න අම්මා කෙනෙක්..?
ඔව්.. අපිට හරිම ආදරණීය දරු පැටවු තුන්දෙනෙක් ඉන්නවා. මම ලස්සනට ඉන්නවාට ඒ තුන්දෙනා හරි ආසයි. එයාලා චිත්‍ර අදිද්දී මාව හරි ලස්සනට ඇඳලා කිරුළකුත් ඔළුවට අඳිනවා. සුරේන්ද්‍ර එක්ක මේ දරු පැටවු එක්ක මම ගෙවන ජීවිතයට ඇත්තටම මම හරිම ආදරෙයි.
► Text - Dishani / Pic – Intarnet