2019 දෙසැම්බර් 14 වන සෙනසුරාදා

හෝටලයක වේටර් වැඩේ කළා

 2019 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 12:31 677

ගාල්ලෙ වැසිකිළි හේදුවා.
 
නගර සභාවේ කුණු ඇද්දා.
 
ලී මෝලක කොට ඇද්දා.
 
හෝටල්වල රෙදි හේදුවා. 

ආප්ප පිච්චුවා. කොත්තු ගැහුවා. 

ඉතුරුවෙන කෑම කන්න දුන්න වරදට රස්සාව නැතිවුණා.

ඔන්න එක්තරා රටක එක්තරා රාජ්‍යයක් පාලනය කළ රජතුමාට හැමදෙයක්ම නොසෑහෙන්න තිබුණා. ඒත් මේ රජතුමාට කිසිදෙයක් ගැන හිතේ සතුටක් තිබු‍ණේ නැහැ. දවසක් මේ රජතුමා තමාගේ පුරෝහිතට කතා කළා.

පුරෝහිත මේ රාජ්‍යයේ කිසිම කෙනෙක්ට සතුටෙන් ඉන්න බැහැ. මොකද මම සතුටෙන් නෙවෙයිනේ ඉන්නේ. රාජ්‍යයේ හැම අස්සක් මුල්ලක් නෑරම හොයලා බලලා කවුරුහරි කෙනෙක් සතුටෙන් ඉන්නවනම් වහාම එයාව මා ගාවට ගේනවා.
පුරෝහිතත් රාජපුරුෂයෝ මගින් රාජ්‍ය පුරා හොයලා බලලා කිසිම දෙයක් නැතිව පොඩි පැල්කොටේක සතුටෙන් ජීවත්වෙන කෙනෙක් ඉන්නවා දැකලා ඒ ගැන වහාම රජතුමාට දැනුම් දුන්නා. ඒක ඇහුවා විතරයි රජතුමාට ගොඩක් කේන්ති ගියා.
පුරෝහිත ඒ මනුස්සයාගේ සතුට කොහොමහරි තමුන් නැති කරන්න ඕන. මම සතුටෙන් නැති නිසා මේ රාජ්‍යයේ කිසි කෙනෙක් සතුටෙන් ඉන්න බැහැ.

පුරෝහිත ඒක අහලා රජතුමාගෙන් කහවනු 99ක් ඉල්ලගන්නවා. ඒ කහවනු 99 අරන් ගිහින් අර පැල්කොටේ ජීවත්වෙන දුප්පත් මනුස්සයගේ දොරකඩෙන් තියලා එනවා ඔහුට හොරෙන්. උදේ පාන්දර ඒ දුප්පත් මනුස්සයා ඒ කහවනු 99 දකිනවා. තමන් දුක් විඳිනවා දැකලා සාධාරණව ජීවත්වෙන තමන්ට දෙවියෝ උදව් කරලා කියලා හිතාගෙන අර මනුස්සයා අර කහවනු 99 එකපාරක් ගැන්නා. සාමාන්‍යයෙන් රවුම් ගාණක් තියෙන්න ඕනනේ. එක්කෝ 100ක් වෙන්න ඕන.. නැත්නම් 90ක් වෙන්න ඕන කියලා හිතලා අර මනුස්සයා කහවනු ටික සැරෙන් සැරේ ගණන් කරනවා. කොච්චර ගණන් කළත් එන්නේ කහවනු 99 යි. ඒ මනුස්සයා අර කහවනු 99න් ජීවිතේ හදාගන්නේ නැතුව 100ක් වෙන්න අඩු එක කහවනුව ගැන හිත හිතා දුක් විඳලා මැරිලා ගියා.

චන්දන මමනම් ඒ ඉතුරු එක ගැන හිතන්නෙ නැහැ. මම මට ලැබෙන දේ ගැන සතුටුවෙන කෙනෙක්. ඔය කතාවට කියන්නේ 99 කතාව කියලා. මම මගේ ජීවිතේට ඔන්න ඔය කතාව ආදේශ කර ගත්තා. ලක්ෂ දෙකක් වියදම් කළාම මට ලක්ෂයක් ලාභ තිබුණානම් ඇති. ඊට වඩා ලාභ ගන්න ගියාම මට මහන්සියයි ලෙඩයි විතරයි ඉතුරු වෙන්නේ. මගේ ජීවිතේ සාර්ථක වීමේ රහස අන්න ඒකයි. අපේ අතට හම්බවෙන්නේ රුපියල් 100 ද, අපි ඒක කළමනාකරණය කර ගන්න දැනගන්න ඕන.

අපි ඔබ කවුද කියන එක කියලා අපේ කතාබහ ආරම්භ කරමු නේද?
මගේ නම ප‍්‍රියන්ත පුෂ්පකුමාර. ගාල්ල ඇල්පිටියේ අටකොරට නවදගල තමයි මගේ ගම. මම අධ්‍යාපනය ලැබුවේ නවදගල මධ්‍ය මහා විද්‍යාලයෙන්. මගේ පවුලේ ඉන්නේ අම්මයි අයියලා හතරදෙනයි නංගියි. තාත්තා මේ වෙනකොට ජීවතුන් අතර නැහැ. දැන්නම් මම ජීවත් වෙන්නේ මහරගම කියන එක ඔයා දන්නවනේ.

අද මම මේ කතාබහට තෝරාගත්තේ කවුද කියලා දැන් ඔබ දන්නවා. ප‍්‍රියාන් ජෙම්ස්හි හිමිකරු තමයි මම අද කතාබහට එක්කර ගත්තේ. අද වෙනකොට ඔහු කෝටිපතියෙක්. 
ප‍්‍රියාන් අපි ඔයාගේ ජීවිතේ පටන් ගැන්මෙන්ම කතාව පටන් ගනිමු.

මගේ ආරම්භය නේද? මම ජීවිතේ පටන් ගනිද්දී මට මොකුත්ම තිබුණේ නැහැ. මම හෝටල් බොහෝමයකම වැඩ කළා ගාල්ලේ.
6ට තමයි වැඩ පටන් ගන්න තියෙන්නේ. මම එතකොට වේටර් කෙනෙක් විදියට වැඩ කළා. මම හොටෙල් එකේ තියෙන හැම වැඩක්ම කළා. ඒ අතරේ මම ඇල්පිටියේ අපේ ගමේ සීට්ටු දැම්මා. මුලින් මුලින් සීට්ටුවලට ඉඳලා මම දියුණු වෙන්න ඕන නිසා සීට්ටු එකතු කරන්න පටන් ගත්තා. සීට්ටුවට හිටිය මිනිස්සු සල්ලි අරන් එක්කෙනා දෙන්නා මට පොල්ල තිබ්බා. අන්තිමට මට ණයවෙලා ඒවා ගෙවන්න වුණා. මට ජීවත් වෙන්නත් සල්ලි නැහැ. මට ගෙවන්න සල්ලි නැති හින්දා මම සල්ලි ණයට අරන් සීට්ටු බේරුවා. අන්තිමට කරගන්න දෙයක් නැතිවුණාම මගේ හොඳ යාළුවෙක් හිටියා. ඒ අක්කා මාව ඩුබායිවලට විසිට් වීසා ගහලා රස්සාවක් හොයාදෙන්න ඩුබායිවලට ගත්තා. ඒත් මාස තුනක් ගිහිල්ලත් මට රස්සාවක් හොයාගන්න බැරිවුණු හින්දා මට ආපහු ලංකාවට එන්න වුණා. ණය හින්දා මට ගෙදර ඉන්නත් බැහැනේ. මම බෝඩිම්වල හැංගිලා ජීවත් වුණේ. මම හම්බ කර කර ණය බේරන එකයි කළේ. ඔයා දන්නවද මම මොනවද කළේ කියලා? මේ අත් දෙකෙන් මම ගාල්ලේ සමනළ ක‍්‍රීඩාංගණය ගාව තියෙන ටොයිලට් එක හේදුවා. ඒක හේදුවාම මට රුපියල් 150ක් 200ක් හම්බවෙනවා. මම ඒ රස්සාව කළේ නගර සභාවේ ට‍්‍රැක්ටරේ කුණු එකතු කරන රස්සාවත් කරන ගමන්. ඒ රස්සාව කරලා ඉවර කරනවා. ඊටපස්සේ ටොයිලට් හෝදන්න යනවා. ඔහොම ඉන්න ගමන් මම ඒ පැත්තේ ලී මෝලක වැඩට ගියා. දෙන්නෙක් එකතුවෙලා කරට තියෙන කොටේ එක උරේ උඩ ලී මෝලට අරන් එන්න ඕන. වැරදිලා හරි අතරමඟ බිම තිබ්බොතින් එළිවෙනකම් කවුරැවත් නැහැ කොටේ කරට උස්සගන්න. ඒ තරම් බරයි ඒ ලී කොට. දන්නවද ලී කොටයක් කරේ තියාගෙන ආවම කර ලෙලි යනවා. අද එක උරේක ගේනවා. තව දවසක අනිත් උරේ උඩ කොට තියනවා. හැමදාම වැඩ නැහැ.  ලී කොටයක් ගෙනාවම දවසට මට රුපියල් පන්සීයක් හයසීයක් හම්බවෙනවා. කොටේ ලී මෝලට දාලා නගර සභාවේ වැඩට යනවා. ඔය වැඩ ඉවර කරලා මම හෝටල්වල රෙදි හෝදන්න දාන තැන්වල රෙදි හෝදන්නත් යනවා. රෙදි හේදුවාම රුපියල් 80ක් 90ක් හම්බවෙනවා.
ඔය කාලයේ මම නිකම් හිටියේම නැහැ. මම හෝටල්වල ආප්ප පුච්චලා තියෙනවා. කොත්තු ගහලා තියෙනවා. මට ඇස්දෙක පියාගෙන වම් අතෙන් කරකවලා ආප්ප දාන්න පුළුවන්. ආප්ප දාන්න ඉන්න කෙනාට මම දාන්නම් කියලා මම වැඩේ කරනවා. එයාලට කඩේකින් රුපියල් 2000ක් 3000ක් ගෙවනවා. එයාලා මට රුපියල් 50ක් 60ක් දෙනවා. මට සල්ලි දෙන්නේ ආප්ප දාන්න ඉන්න කෙනා.

මම හොටෙල්වල වැඩ කරද්දී රූම්බෝයි විදියට ගිහින් ඇසිස්ටන්ට් මැනේජර් තනතුරට වෙනකම් ගියා. මම මූල්‍ය ආයතනයක ඇසිස්ටන්ට් මැනේජර් කෙනෙක් විදියටත් වැඩ කරලා තියෙනවා.

මිනිස්සුන්ට කන්න දීලා ඔයාගේ රැකියාව නැතිවුණා කියලා කතාවක් තියෙනවා. ඒ කතාව මොකක්ද කියලත් කියමු නේද?
මම කොහේ ගියත් කවුරුහරි බඩගින්නේ ඉන්නවා කියලා දැනුණොතින් අදටත් කන්න අරන් දෙනවා. ඒක මිනිස්සුන්ට විතරක් නෙවෙයි.. සතෙක් වුණත් බඩගින්නෙ ඉන්නේ කියලා දැක්කොත් මම කන්න අරන් දෙනවා. ඒක මගේ පුරුද්දක්. ඔයා ඇහුවේ හොටෙල් රස්සාව කරද්දී වුණු සිද්ධියක්නේ. ඒක වුණේ හොටෙල් එකේ වැඩ කරද්දී. හොටෙල් එකේ සිකියුරිටිලා මාමලා මම රෑට වැඩට එනවට කැමතියි. මගේ අතේ සල්ලි නැහැ එතකොට කාටවත් කන්න අරන් දෙන්න තරම්. ටුවරිස්ට් හොටෙල්වල සාමාන්‍යයෙන් ගෙස්ට්ලට කෑම දීලා ඉතුරුවෙන කෑම ඩස්බින් එකට දානවා. ඒවා හොඳ ඉස්තරම් කෑම. මම මොකද කරන්නේ.. ඒ කෑම විසි කරන්නෙ නැතුව ලන්ච් ෂීට්වල හරි සර්වියට් පේපර්වල හරි ඔතලා වැටකෙයියා මුලක් ගාවින් තියලා සිකුරැටි මාමලාට කියනවා අන්න අතන කෑම තිබ්බා අරන් කන්න* කියලා. ඔන්න දවසක් මාව එහෙම කෑම තියද්දී රෙස්ටුරන්ට් මැනේජර්ට අහුවුණා. හොටෙල් එකෙන් හොරකම් කරනවා කියලා හිතලා ආපහු කරන්න එපා කියලා මට කිව්වා. ඒත් අනේ විසි කරන කෑමනේ. ඒ මිනිස්සු බඩගින්නේ ඉන්න ඕන නැහැනේ. මම ඒගොල්ලන්ට කෑම දුන්නා දිගටම. දවසක් මාව රස්සාවෙන් අස්කළා. ඊට පහුවෙනිදා ඉඳන් මම එතනම තිබුණු අල්ලපු හොටෙල් එකේ වැඩට ගියා.
මම ඒ හොටෙල් එකේදිත් එහෙමම කළා. දිගටම සිකුරුටි මාමලාට කාලා ඉතුරුවෙන විසි කරන්න තියෙන කෑම කන්න දුන්නා.

ඉතිරිය ලබන සතියට......

 

► Text & pic — Chandana Waravitage