2019 දෙසැම්බර් 14 වන සෙනසුරාදා

රටම පාට කරන කොල්ලො කෙල්ලෝ.........

 2019 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 94

ඔන්න යාළු මේ කතාව සතුටු හිතෙන කතාවක්. මේ දවස්වල බුකියේ වැඩිපුර Trend වෙන්නේ ජාතික අභිමානය. නැත්නම් රට ගැන තියෙන හැඟීම. ඒ ගැන පොදුවේ කතා කරන්න හිතුවා සහෝ. ආදරණීය පැංචෝ පැංචියෝ මේ කතාව වෙනදා වගේ ආතල් පරමාර්ථයෙන් අපි ලියන්නේ නෑ. ඒ වගේම මේ කතාව Y Trend ඇතුළේ නොලියත් බෑ. මොකක්ද මේ තමයි ලංකා ඉතිහාසයේ වෙනස් කරන්න පුළුවන් එකම අවස්ථාව.

රැළි නැත්නම් ප්‍රවණතා ඒ කියන්නේ Y Trend. ඒවගෙ තියෙන්නෙ මහා කාලකන්නි ලක්ෂණක් තමා ඒවා ඉතාම ඉක්මනින් ඇවිල්ලා නැතිවෙලා යනවා. සමහර නරක දේවල් වලට සාපේක්ෂව කල්පනා කළොත් ඒකත් හොඳයි කියලා අපිට කියන්න පුළුවන්. ඒත් මේ පහුගිය මාසේ දේශපාලන පරිවර්තනය එක්ක රට ගොඩනැගීම රට ලස්සන කිරීම වගේ අභිමානය දනවන හැඟීම් තාරුණ්‍යය ඇතුළේ Trend වෙලා තියෙනවා අපිට පේනවා. ගමේ ටවුමේ කරක් ගහලා කොල්ලෝ කෙල්ලො එක්ක කතාකරලා බැලුවාම ඒක අපිට හොඳාකාරයෙන්ම තේරුණා රත්තරං. ඒත් එක්කම මහා සතුටක් මහා දුකක් දැනුණා.

මතකද අසිත තාපසතුමාට සිද්ධාර්ථ කුමාරයා මුණගැහුණාම එතුමා මුලින්ම හිනාවෙලා පස්සේ ඇඬුවා. මේකත් ඒ වගේ. රටේ දැන් මේ තියෙන්නේ රැල්ලක්. ඒක පට්ට. ඒත් ඒක කොච්චර කාලයක් අල්ලා තියෙයිද දන්නේ නෑ. පහුගිය කාලේ ආව ගිය Trend දිහා සෑහෙන්න බලන් හිටපු නිසා අපිට දැන් මහා බයක් දැනෙනවා. ඒකට හේතුව මේ හැඟීමත් කොච්චර කාලයක් රඳාපවතියිද කියන එක. ඒක තීරණය වෙන්නේ අපි මත. ඒක හසුරවන අය මත. මාධ්‍ය මත. දේශපාලනය මත. ඒ වගේම අපේ තාරුණ්‍යය මත. මේ කතාව ලියන්න අපිට හිතුණේ ඒ නිසා.

අද තත්ත්වය අපි පොඩ්ඩක් බලමු සහෝ. පැලයක් හිටවන්න හිතෙනවා. අපි එකතුවෙලා පැල හිටවනවා. රටම ඒක කරන්න පටන් ගන්නවා. මාධ්‍ය ඒක ගැන කතා කරනවා. තාප්ප පෝස්ටර්වලින් විනාශ වෙනවා අපි දකිනවා. අපි තාප්ප සුද්ධ කරලා චිත්‍ර අඳිනවා. රටම ඒක කරනවා. මාධ්‍ය ඒ ගැන කතාකරනවා. දේශපාලනය ඒ ගැන කතා කරනවා. උපකාර ලැබෙනවා. දැන් වැඩේ ලොකුවට යනවා. දැන් පාරේ ටොෆි කොළයක් දාන්න හිතෙන්නේ නෑ. මේක මහා පුදුමාකාර පරිවර්තනයක්. ඒක වුණේ හරි වේගෙන්. අන්න ඒකයි බය. අපේ පැංචෝට මේවා කියලා වැඩක් නෑ රත්තරං. මේ ඇතිවෙලා තියෙන පරිවර්තනය පවත්වාගෙන යන්න වැඩපිළිවෙළක් තමා දැන් ඕනාකරලා තියෙන්නේ. ඒක කරන්න ඕනෑ ලොකු තැන්වල අය. නැත්නම් මේ රුල්ල ආපිට හැරෙන දවස වැඩි දවසක නෑ.

පසුගිය සති දෙක තුනට දැක්ක දේවල් එක්ක ගැන අපි හිතුවා. අපිට අපේ පැංචියන්ට කරන්න පුළුවන් දේ ගැන අපි කල්පනා කළා. මේ හැම හොඳ දේකටම සහභාගී වෙන ගමන් මේ Trend එකේ පැවැත්ම වෙනුවෙන්  මොකක්ද කරන්නේ පුළුවන්? මෙන්න මේ වගේ දෙයක් අපි කරමු. මූලික දේ අගය කිරීම. ඒක මෙන්න මෙහෙමයි. දැනටත් ඒ ටික වෙනවා. නමුත් සමාජ මාධ්‍ය ඇතුළේ අපි සතියකට වතාවක් දෙකක්වත් රටට තුළ වෙන යහපත් දේ අගය කරන්න උත්සහා කරන්න ඕනෑ. අගය කිරීම තමා ලෝකයේ තියෙන හොඳම උත්තේජනය. ඒ තුළින් ඕනෑම Trend එක්ක පැවත්ම තහවුරු වෙනවා.

උදාහරණය ටිකක් බලමු. පහුගිය දවස්වල අපි ඩිලන්ත, ලූෂන් වගේ ක්‍රීඩකයෝ අගේ කළා. දැන් බලන්න ප්‍රතිඵලය. ඒ අය ප්‍රබල චරිත බවට පත්වෙලා. මේ දවස සාග් ක්‍රීඩා උළෙලට ගිහිල්ලා පදක්කම් දිනාගත්තු ක්‍රීඩකයෝ ඔවුන් කරපු කැපකිරීම් ගැන යම් අගය කිරීමක් වෙනවා. ඒක ක්‍රීඩාව සම්බන්ධ අනාගත ආයෝජනයක්. තාප්ප චිත්‍ර ඇඳීම අගය කළා. දැන් ඒක ලොකුවට කෙරෙනවා. අඩුපාඩු තියෙනවා. හරි.... අපි ඒක දන්නවා. නමුත් අගය කිරීම ඇතුළේ ලොකු දෙයක් වෙලා තියෙනවා. රටම අවදි වෙලා.
මේ වෙද්දී මේ හැමදෙයක් සම්බන්ධම විවේචනයට කරන අය ඉන්නවා. ඒක හැටි සහෝ. ඕනෑම කාලේක එහෙමයි. විවේචනයට තුළින් ඇතිවෙන පොර මානසිකත්වය වගේම තෘප්තියට එයාලා හරි කැමතියි. එතකොට එයාලට හිතෙනනවා තමන් අනික් උන්ට වඩා උසස් කියලා. ඒ තමා සොබාදහම. වැරදි පෙන්නලා නිවැරදි කිරීම් කරන්නේ නැතුව පොරවාදීව ඉදිරිපත් වන මේ විවේචනත් දැන් ලාවට Trend එකක් වෙලා. ඒක හරි භයානකයි. උදාහරණක් විදිහට කියනවා නම් ශ්‍රී ලංකා ක්‍රිකට් බිඳවැටීම ෆේස් බුකියේ බලපෑම පෙන්වා දෙන්න පුළුවන්. පැංචෝ පිළිගත්තත් නොගත්තත් තරගයක් පැරදුනාම ගෙදරට ගල් ගහනවාට වඩා මඩ ගහන එක ක්‍රීඩකයන්ගේ මානසිකත්වයට බලපානවා. පහුගිය කාලේ ඒක දිගටම වුණා.

අපි දන්න විදිහට කාලය සහ සොබාදහම අපිට අවස්ථාව දෙනවා වෙනස් වෙන්න. ඒක හරි විදිහට භාවිතා නොකළොත් ආයේ ඒ අවස්ථාව ලැබෙන්නේ නෑ. මේ තමා අවුරුදු හැත්තෑ එක්කට පස්සේ අපිට ලැබුණ අවස්ථාව. අපේ රට ගොඩගන්න ඕනෑ කියලා අපේ උන් හිතන්න පටන්ගත්තු පළවෙනි වතාව මේ. සහභාගීත්වය තියෙනවා හැඟීම තියෙනවා. දැන් ඕනෑ මෙහෙයවීමක්. ඒක පටු අරමුණුවලින් තොර වෙන්නම ඕනෑ. නැත්නම් එකත් විනාශට හේතුවක්. චුට්ටක් හිතන්න පුළුවන් දේ කරන්න... අනේ මඟ හැරගන්න එපා! 

 

Text - Nisal   /  Pic – Internet