කෞෂල්‍යා අපිට මුලින්ම ඔයා ගැන විස්තර ටිකක් කියන්න..?
මගේ නම කෞෂල්‍යා ආරියදාස.. මගේ උපන් ගම දැරණියගල පල්ලේබාගේ.. මම මුලින්ම පල්ලේබාගේ කනිෂ්ඨ විද්‍යාලයටත්, අම්පාගල පන්නල මහ විද්‍යාලයටත් ගිහින් අවසානයේදී දැරණියගල සිරිසමන් ජාතික පාසලෙන් ද අධ්‍යාපනය හැදෑරුවා.
රේස් පදින්න ආසාව ඇති වුණේ කොයි කාලේදී ද?
පුංචි කාලේ රේස් පදින්න ආසාවක් ඇති වුණේ නැහැ. 2008 වසරේදී තමයි මම මුලින්ම වාහන බලපත්‍රයක් ගත්තේ. මගේ යාළුවෙක් වුණු රොමේෂ් මල්ලී “අක්කේ.. රේස් පදිමුද...? කියලා යෝජනාවක් ගෙනාවා. ඇත්තටම සාමාන්‍ය වාහන බලපත්‍රයක් තිබුණාට රේස් පදින්න ආසාවක් ඒ වෙද්දී මගේ හිතේ තිබුණේ නැහැ. තරග කිහිපයක් බලන්න ගියාට පස්සේ මටත් රේස් පදින්න ආසාවක් ඇති වුණා.
කෞෂල්‍යා රේස් පදිනවාට ගෙදරින් අකමැත්තක් තිබුණේ නැද්ද?
නැහැ... පොඩ්ඩක්වත් අකමැති වුණේ නැහැ... මගේ ලොකුම හයිය වුණේ මගේ අම්මයි තාත්තයි.. තරගයට ඉදිරිපත්වෙන්න ටිකක් කම්මැලි වුණත්, පුහුණුවීම් කරනඑක නතර කළත් “නැහැ.. නැහැ.. ඔයාට මේක කරන්න පුළුවන්.. කියලා මාව දිරිමත් කරනවා. මම ගැන ලොකු විශ්වාසයක් ඒ දෙන්නාගේ හිතේ තියෙනවා. මගේ අක්කයි, මල්ලියි මගේ ගමනට ලොකු ශක්තියක් වුණා.
දැරණියගල සිට කෞෂල්‍යා කොළඹට ආවේ රේස් පදින්නමද..?
නැහැ... මම උසස් පෙළ කරලා ගමේ හිටියේ පොඩි කාල සීමාවක්. මම මුලින්ම කොළඹ ඇවිත් විද්‍යුත් මාධ්‍ය කිහිපයක අලෙවි අංශයේ සේවය කළා. ඒ නිසා ගමේදී මම රේස් පදින්න පුහුණු වුණේ නැහැ. අපේ ගෙදර පුහුණු වෙන්න වාහනයක් තිබුණේ නැහැ. කොළඹ ආවට පස්සේ රැකියාව කරමින් ඉන්න අතරතුරේදී තමයි මට වාහන බලපත්‍රයක් ගන්න ආසාව ඇතිවුණේ. ඒ වෙද්දීවත් රේස් පදින්න මට ආසාවක් ඇතිවුණේ නැහැ. උසස් පෙළ විභාගය ඉවරවෙලා “ඔයා මේක කරන්න... මෙහෙම කරන්න කියලා මට ලොකුවට මඟ පෙන්වන්න කෙනෙක් හිටියේ නැහැ. මට යන්න ඕනේ මඟ මමම තමයි සොයාගෙන ගියේ.
රේස් පදින්න ආසාවක් ඇති වුණාට පස්සේ ඒ සම්බන්ධව තිබුණු සංගමයට එකතුවෙලා රේස් පදින අයත් එක්ක කතාබහ කරලා තමයි මට ඒ අවශ්‍ය කරන උපදෙස් ලබාගත්තේ. ඒ දේවල්වලට වුණත් මට මුලදී ලොකු දැනුමක් තිබුණේ නැහැ. පුහුණුවෙන්න කියලා මුලදී ලොකු පුහුණුවක් මට තිබුණේ නැහැ. පාරේ වාහනය පැදපු එක තමයි මුලින්ම ලැබුණු ලොකුම පුහුණුවීම වුණේ.
මුලින්ම සහභාගී වුණ තරගය මොකද්ද?
මුලින්ම 2018 වසරේදී Rotherham Katukurunda Circuit meet. එදත් එකම කාන්තා නියෝජනය වුණේ මමයි. එදා මාත් එක්ක තරගකරුවන් විසිදෙකක් හිටියා. ඒක මගේ මුල්ම තරගයයි. ඒ තරගයෙන් මම දොළොස්වැනියා වුණා.
මුල්ම තරගය.. එකම කාන්තා නියෝජනය.. හිතට චකිතයක් දැනුණේ නැද්ද?
අම්මෝ දැනුණා. රේස් එකට එක එක්නෙකාව පෙළගස්වද්දී මට කිහිපවතාවක් හැරිලා යන්න හිතුණා. ඒ වෙද්දී මම එකම එක වතාවයි වාහනය අරගෙන ට්‍රැක් එකේ ගිහින් තිබුණේ. ඒ නිසා හිතට බයක් වගේම දෙගිඩියාවක් දැනුණා. මට වාහන ගැන ලොකු අවබෝධයක්වත් තිබුණේ නැහැ. ඒ නිසා තරගයට ගියාට පස්සේ ආයෙත් හැරිලා එන්න අනන්තවත් හිතුණා. හොඳට පුහුණුවීම් කරලා ලබන වසරේදී සහභාගී වෙනවා කියලා හිතුණත් “අත්දැකීමක් එකතුකරගන්න මම සහභාගී වෙනවා. කියලා හිතලා සහභාගී වෙලා දොළොස්වැනියා වෙලා තරගය අවසන් කළා.
මේ වනවිට තරග කීයකට සහභාගී වෙලා තියෙනවාද?
මේ වසරේ මම තරගවලට සහභාගී වුණේ අගෝස්තු මාසේ ඉඳලයි. මගේ වාහනය ඒ වෙද්දී සූදානම් වෙලා තිබුණේ නැහැ. මේ වනවිට මම තරග ගණනකට සහභාගී වුණා. දැන් මම තරග කරන්නේ මගේම වාහනයෙනුයි. අවසානයට මම සහභාගී වුණේ Colombo Super Cross තරගයයි. ඒ තරගයෙන් මම හත්වැනියා වුණා. ඒ හැම තරගයකදීම එකම කාන්තා නියෝජනය වුණේ මමයි. Colombo Super Cross තරගයේදී මම වරක් හතර වෙනියාටත් පැමිණියා. නමුත් මඩේ ලිස්සා ගොස් වෙන වාහනයක හැපුණ නිසා මම හත්වැනියා වුණා.
අද වෙනවිට කෞෂල්‍යා වෙනත් රුකියාවක නිරතව ඉන්නවාද?
විද්‍යුත් නාළිකාවෙන් අයින්වෙලා මම මගේම වෙළෙඳ දැන්වීම් ආයතනයක් පවත්වාගෙන යනවා. ලබන වසරේ සිට පූර්ණ කාලීනව තරගවලට යොමුවෙන්න මම බලාපොරොත්තු වෙනවා. මගේ රුකියාව වෙළෙඳ දැන්වීම් ආයතනයක් පවත්වාගෙන යාම. නමුත් රේස්වලට ඊට වඩා මූලික තැනක් දෙන්න මම බලාපොරොත්තු වෙනවා.
තරගවලට සහභාගී වෙද්දී කාන්තාවක් ලෙසින් අභියෝගයක් වුණු අවස්ථා තිබුණා නේද?
උසස් පෙළ කරලා කොළඹට ඇවිත් රැකියාවක් කරද්දී සිටම මගේ ජීවිතේ මට අභියෝගයක් වුණා. මාව විශ්වාස කරලා මට මගේ ජීවිතය හදාගන්න මගේ අම්මා තාත්තා ඉඩ දුන්නා. ඒ නිසා කොළඹට ආපු දවසේ ඉඳන් මගේ ජීවිතේ මම කට්ටක් කෑවා. තරගයකදී වුණත් පිරිමි තරගකරුවන් එක්ක තරග කරද්දී මාව හප්පලා ඒ අය ඉස්සර කරයිද කියලා බයක් මුලදී දැනුණා. නමුත් අද වනතුරු මට එහෙම අනතුරක් වෙලා නැහැ. හැමෝම මට උදව් කළා. මම තරග කරන්නේ Nissan March 1000cc තරග ඉසව්වයි.
ඊළඟට තියෙන ඉලක්කය මොකක්ද?
2020 දී මම පදින්නේ Nissan March 1000cc ඉසව්වයි. ඒකේදීත් මීට වඩා හොඳට පුහුණුවීම් කරලා මගේ වාහනයේ තියෙන අඩුපාඩුත් හදාගෙන මේ ඉසව්වෙන් හොඳ ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා.
► Text -Dishani / Pic Channa kassapa