2019 දෙසැම්බර් 21 වන සෙනසුරාදා

ඒ ගුරුවරියට මම හරි මනාපයි...

 2019 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 12:30 81

වී පැදුරෙන් ඉගිලී ආ කුරුල්ලෙකු ලෙසින්... ඔහු දැන් මා ළඟ...
මේ දවස්වල ක්‍රිෂාන්තගෙ ජීවිතය ගෙවන්නෙ කොහොමද කියලා අහලම වැඩේ පටන් ගමුනේද? එහෙම හොඳයිනෙ....?

පහුගිය දවස්වල මම ටිකක් කාර්යබහුල වුණා... ජූනි මාසෙ ඉඳලම පිටරට සංදර්ශන කිහිපයකට සහභාගි වෙන්න අවස්ථාව ලැබුණා... නවක ගීත රචකයන්ගේ ගීත කීපයක්ම ගායනා කරන්න මම උනන්දු වුණා... විශේෂයෙන්ම එහෙම කළේ මට තියෙන ආර්ථික වාසි නිසා නෙමේ... මේ නිර්මාණ කවුරැහරි කළේ නැත්නම් ඒ අයට අවස්ථාව නැතිවෙන නිසා... ඒ වගේ නවක ගීත නිර්මාණ විස්සක විතර එකතුවක් දැන් තියෙනවා... පල්ලේගම හේමරතන හාමුදුරුවන් රචනා කරපු ගීතයක් ගායනා කරන්න මට අවස්ථාව ලැබුණා... රසික ඩී. දුමින්ද ලියපු අවසන් හුස්ම කියන ගීතයට මේ දවස්වල සෑහෙන්න ප්‍රතිචාර ලැබෙනවා... ඒ ගීතය ගැන ටිකක් වැඩිපුර කතාබහ වෙනවා... ඕවා තමයි ඉතින් වැඩ... තව මගේම ගීත ප්‍රසංගයක් කරන්න අදහසක් තියෙනවා... ළමා ගීත ගායකයකු විදිහට තමයි මම ගීත ක්ෂේත්‍රයට ආවේ... මේ වෙනකොට අවුරුදු 40ක් විතර... හැබැයි වී පැදුරෙන් ගීතයත් එක්ක තමයි මම ජාතික තලේ ගායකයෙක් වුණේ... ජාතික තලයේ ගායකයෙක් විදියට ඇවිත් අවුරුදු විස්සක් විසිදෙකක් විතර වෙනවා. මේ සියල්ලත් එකතුකරගෙන අලුත් වැඩක් කරමු කියලා මගේ යාළු මිත්‍රයන් නිතරම කියනවා. තව ටිකක කාලයක් අරගෙන හොඳ වැඩක් කරන්නත් මම බලාපොරොත්තු වෙනවා...  
හරි... එහෙනම්... වැඩේ පටන් ගමු...

ක්‍රිෂාන්ත එරන්දකගේ ගීත කවි අපි අහලා තියෙනවා..... ඒවා ගැන නෙමේ... ඔබේ නොවන ඔබේම වෙච්ච... ජීවිතයට බලපෑමක් කරපු නිර්මාණයක් ගැන කතා කරමුද?
මම ජීවිතේ අගය කරන... ආදරය කරන කලා මාධ්‍ය ගණනාවක් තියෙනවා... සිනමාව, නර්තනය, ගීතය, කවිය, පොතපත... මේ හැම එකකටම මම ගොඩක් ආදරෙයි... මේ හැම කලා මාධ්‍යයකම වෙන වෙනම මම ආස, මට දැනිච්ච නිර්මාණ තියෙනවා... විශේෂයෙන් ගීත රචනා ගැන මට වෙනමම ඇගයීමක් තියෙනවා... එතනින් එහාට ගිහින් මම හිතුවොත්  මම ගොඩක් ආසයි සිනමා නිර්මාණයක් ගැන කතාකරන්න... සිනමා ශාලාවලට ගිහින් නිර්මාණයක් රසවිඳින්න මට කාලය පිළිබඳ ප්‍රශ්නයකුත් තියෙනවා... අමාරුවෙන් කාලය හොයාගෙන සිනමා ශාලාවකට ගිහින් මම බලපු නිර්මාණයක් තමයි මගේ මතකයට ආවේ... ඉන්දික පර්ඩිනෑන්ඩෝ තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය . ආදරෙයි...
මේ චිත්‍රපටයට පසුබිම් වෙච්ච වටපිටාව, ඒ පරිසරය මම ජීවත් වෙච්ච වටපිටාවට ගොඩක් ළඟයි... මම ජීවත් වුණේ ටිකක් පිටිසර පළාතක.. අනුරාධපුරේනුත් ටිකක් විතර ඈත. මේ චිත්‍රපටය මට සමීපවෙන්න ඒ කාරණාවත් සෑහෙන්න බලපෑවා... කොටින්ම කිව්වොත් මේ චිත්‍රපටය බලද්දී මගේ හිතින් ආයෙත් ගමට ගියා.....  

මේ කතාවට පාදකවෙන්නෙ සීමිත පහසුකම් සහිත දුෂ්කර පළාත ජීවත්වන අහිංසක ළමයින් පිරිසක් ඉන්නවා.. ඒ අය කවදාවත් කොළඹ ඇවිත් නෑ... ජීවිතේට මුහුද දැකලා නෑ... ගුරුවරියක් මැදිහත්වෙලා ඒ ළමයින්ව කොළඹ අරගෙන එන්න දරන උත්සාහයක් තමයි මේ චිත්‍රපටයෙන් කතාකරන්නෙ... අපිත් ගමේ ඉද්දි හැතැප්ම දහයක් දොළහක් යනවා පාසලට... මටත් ඒ කාලේ පාසලට යන එක දැණුනේ ට්‍රිප් එකක් යනවා වගේ හැඟීමක්... විශේෂයෙන්ම මේ චිත්‍රපටයේ ඉන්න ගුරුවරිය ගැන මට ලොකු ගෞරවයක් ඇතිවුණා.. නමුත් වර්තමානයේ ඉන්න ගුරුවරු හැමෝම මේ වගේ නෑ... හරි ආත්මාර්ථකාමී දඩබ්බර ගුරුවරු ගොඩක් ඉන්නවා... ඒ අයව ඔයා මෙහෙම වෙන්න ඕනෙ කියලා හොඳමගට ගන්න බෑ... ඒ අයම ඒ දේ තෙරුම් අරන් හැදෙන්න කාලය ඇවිත් තියෙනවා කියලයි මට හිතෙන්නෙ... මේ ගැමි පිටිසර පරිසරය පිටින් බලන අයට ගොඩක් වේදනාකාරී වෙන්න පුළුවන්. නමුත් ඒක ඇතුළේ ජීවත්වෙන අයට සුන්දරතාවයකුත් තියෙනවා... මට නම් ඒ දේවල ආගන්තුක නෑ... මම හරි ආසයි ඒ දේට... 

මේ චිත්‍රපටය ඇතුළේ මිනිස්සුගේ අතර තියෙන තරගය ඉතා සියුම් ලෙස කතාකරනවා. ඒ කතාකරන්නෙ වර්තමානයේ නාගරික අධ්‍යාපන ක්‍රමය ඇතුළේ තියෙන තරගයට වඩා එහා ගිය තරගයක් ගැන... අපිට බැලූ බැල්මට නොපෙනෙන ජීවිත තරගයක් කරළියට ගේනවා.. මේ චිත්‍රපටය මට සමීපවෙන්න බලපාපු තව කරුණක් තමයි රංගන ශිල්පීන්ගේ ඉතා සියුම් රංගනය... චිත්‍රපටය පසුබිම් වෙන ගමේ ඉන්න චරිතවලට සමාන චරිත මම ජීවත්වෙච්ච ගමෙත් ඉඳලා තියෙනවා... ඇත්තටම ඒ අයත් මේ චිත්‍රපටයේ අය වගේමයි... ඉහළට අධ්‍යාපනය හදාරලා විභාග පාස්කරපු අය නෙමේ... නමුත් යම් යම් වෙලාවල ඒ අය ගන්න තීරණ සහ ඒ අය දෙන උපදෙස් පසුකාලීනව කල්පනා කරනකොට ඉතාම විශිෂ්ට තීරණ. ඒක සමහරවිට මහාචාර්වරයෙක් දෙන පිළිතුරකට ගොඩක්දුරට සමානයි. ජයලත් මනෝරත්නගේ විශිෂ්ඨ රංගනයෙන් ඒ බව මනාව පැහැදිලි වෙනවා.. මනෝරත්න කරපු චරිතය තමයි ගමේ බස් ඩ්‍රයිවර්ගේ චරිතය... ඒ වගේම ඊට හාත්පසින් වෙනස් චරිතයක් තමයි බස් එකේ කොන්දොස්තරගේ චරිතය... මේ හැම චරිතයක්ම ගම්වල ඉන්නවා... මේ චිත්‍රපටයේ සංගීතය ගැනත් කතා නොකරම බෑ. සංගීතය නිසා මේ චිත්‍රපටයට අමුතුම අලෝකයක් ගෙනත් තිබුණා. මේ හැමදෙයක්ම බලපාන්න ඇති මට මේ චිත්‍රපටය තාමත් මතකයේ රැඳෙන්න.

හෝ ගානා පොකුණ චිත්‍රපටය නරඹද්දී ක්‍රිෂාන්තට සමීප වෙච්චම චරිතය කවුද ?
එක චරිතයක් නෙමේ චරිත කිහිපයක්ම මට සමීපයි. ප්‍රධාන භූමිකාව වන ගුරුවරියගේ චරිතය මට ගොඩක් දැනිච්ච චරිතයක්... අංජලි වික්‍රමසිංහ තමයි මේ චරිතය නිරූපණය කරන්නෙ.. ඇය ජීවත් වුණේ අධි සුඛෝපභෝගී නාගරික පරිසරයක් නොවුණත් ගමට ගිහින් ඇය ගන්න චේන්ජ් එක හරිම ලස්සනයි... ජයලත් මනෝරත්නගේ ඉතාම සුන්දර විශිෂ්ඨ රංගනයක් මම දැක්කා... ලූෂන් බුලත්සිංහල, ජයනි සේනානායක, ජගත් චමිලගේ රංගනයන් ප්‍රශස්ථ මට්ටමක තිබුණා... සමස්ථයක් විදියට සෑම රංගන ශිල්පියෙක්ම ඔවුන්ගේ භූමිකාව හරියටම කළා කියලා මට හිතෙනවා... ඒකයි මේ චිත්‍රපටයේ සාර්ථකත්වයට බලපාන්න ඇත්තේ...

ක්‍රිෂාන්ත මේ නිර්මාණය පුරා සැරිසරන කොට අතිශය සංවේදී කරපු තැන් එහෙම මුණගැහෙන්න ඇති නේද...? එකක් දෙකක් මතක් කරමුද?
මට ගොඩක් දැනුණු තැන් කිහිපයක් තිබුණා... මේ චිත්‍රපටය පටන්ගන්න අවස්ථාවේ පියානෝ එකක් පාසලට ගෙනත් දෙනවා... ඒ පියානෝ එක හරහා සෑහෙන ගැඹුර  දේශපාලනික අදහසක් නිර්මාණකරු කියන්න උත්සාහ කරනවා... ඒ අපේ අධ්‍යාපනය ක්‍රමය ගැන... කියලයි මට හිතෙන්නෙ... අවම පහසුකම්වත් නැති දුෂ්කර පාසලකට පියානෝ එකකින් මොනවගේ පළයක් තියෙයිද..? හැබැයි මට පෞද්ගලිකව හිතුණේ එතන තිබුණේ නිලධාරීන්ගේ අර්බුදයක් කියන එක... අපි ඉස්කෝලෙ යන කාලේ අපිටත් ඔය තත්ත්වයන්ම තිබුණා... මම ඉස්කෝලෙ බෑන්ඩ් එකේ ඉන්නකොට මට මුලින්ම හම්බවුණේ බටනලාව ගහන්න... ඊට අවුරුද්දකට පස්සේ දවුලක් ගහන්න හම්බවුණා... ඊට පස්සෙ තම්මැට්ටමක් ප්ලේ කරන්න හම්බවුණා... චිත්‍රපටය ඇතුළේ තව මාව සංවේදී කරපු තැනක් තමයි ළමයි ටික කොළඹ මුහුද බලන්න එන චාරිකාවට හැමෝම අලුත් ඇඳුම් මහනවා... ළමයිගේ දෙමව්පියන් ඒ අයට කරන්න පුළුවන් උපරිම කැපකිරීම කරලා ලෑස්ති කරනවා. මට මතකයි මම විභාගෙට ලෑස්තිවෙන කාලේ... මගේ අම්මා කියනවා උඹට විභාගෙට යන්න අලුත් ඇඳුමක් මහන්න ඕනෙ කියලා... හැබැයි මට ලොකුවට දැණුනෙ නෑ. විභාගෙට අලුත් ඇඳුමක් ඕනෙ කියන එක... මේ කාරණා හරි සරල සියුම් දේවල් වුණා... ජීවිතවලට ඒ දේවල් හරි වැදගත්...

ඔබට  මුලින්ම මේ නිර්මාණය ගැන කියන්නෙ කවුද?
ඇත්තටම මට මේ චිත්‍රපටය බලන්න යමු කියලා යෝජනා කරන්නෙ මගේ දුවලා දෙන්නා... මමයි බිරිඳයි, දුවලා දෙන්නයි පවුලක් විදියට හරි එකමුතුයි... දුවලා දෙන්නා රෑට නින්දට යන්නෙ පවා මම කියන කවියක් හරි සිංදුවක් හරි අහගෙන... එයාලා හරි ආසයි මගෙන් සිංදුවක් හරි කවියක් හරි අහගෙන නින්දට යන්න... සමහර වෙලාවට සිංදුවල අරුත් කියනකොට මේ දෙන්නා අඬනවා.. සමහර වෙලාවට බිරිඳ කියනවා.. පව් ඔය දුවලා අඬවන්න එපා කියලා... ඒ තරමට ඒ අය සංවේදීයි... මගේ දරුවෝ කරපු ඉල්ලීම අහකදාන්න බැරිකමට තමයි මම මේ චිත්‍රපටය බලන්න යන්නෙ... හැබැයි ගිහින් චිත්‍රපටය බැලුවට පස්සේ මම ගොඩක් කැමති වුණා...

මේ චිත්‍රපටයේ එන්ඩ් එකේදී ඇත්තටම ඇතිවෙච්ච හැඟීම ක්‍රිෂාන්තට දැණුනේ කොහොමද?
ඇත්තටම අපිට තිබුණා සුන්දර ළමා කාලයක්... ඒ ළමා කාලේ ඇතුළේ අපි බලාපොරාත්තු ගොඩක් පොදි බැඳගෙන හිටියා... උදාහරණයක් විදියට පොඩි කාලේ ඉඳන් මට ලොකු බලාපොරොත්තුවක් තිබුණා සත්තුවත් බලන්න යන්න... හැබැයි මම මෑතකදී තමයි සත්තුවත්ත බැලුවා... ඒ කාලේ මට හැකියාවක් තිබුණේ නෑ ඒක බලන්න යන්න අපේ අම්මලාට අවධානය යොමුවුණෙත් නෑ... මගේ දරුවන්ට සත්තුවත්ත පෙන්නන්න යද්දි තමයි මමත් දැක්කේ. මේ චිත්‍රපට ඇතුළේ පුංචි අයගේ හීන සැබෑකරන්න ළමයින්ට වඩා එයාලා වටේ ඉන්න පිරිස ගන්න උත්සාහය ගැන මට ලොකු වටිනාකමක් තිබුණා... ළමා මනසට සතුටක් ගෙනාවාම අපිට දැනෙන සතුටත් එක්ක තමයි මම චිත්‍රපටය ශාලාවෙන් එළියට ආවේ.

 

► Text - Danushka Wijesiri   /   Pic - Intarnet