2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා

මහ වැස්සේ ගෙට වුණානම් අද මම මෙතන නෑ...

 2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 120

( පළමු කොටස ඉකුත් සතියේ පළ විය )

ඒ කියන්නේ ඔබ ගණ බලලා නමක් ගන්න ජ්‍යෝතිෂවේදියෙක් ගාවට ගියාද?
ලොකු අක්කා තමයි නම තිබ්බේ. ඔයාගේ ඉස්කෝලේ නම රෝයල්නේ. ඒ නම දාන්න කියලා එයා කිව්වා. අන්න එහෙමයි රෝයල් කැෂූ කියන නම දැම්මේ.

ඒ කියන්නේ ඔබට ගෙදරිනුත් උපදෙස් හමුවෙලා තියෙනවා?
97 ඉඳන් සැලසුම් කළ ව්‍යාපාරයට 99 දී පළවෙනි ඇණවුම ලැබුණා. මේ තියෙන්නේ ඒ ඇණවුමට අදාළ ලිපිලේඛන. අදටත් මම ඒක ප‍්‍රවේශම් කරලා තියාගෙන ඉන්නවා. මට ඒ ඕඩර් එක දුන්නු මහත්මයා දවසක් හමුවුණා. මේක මම පෙන්නුවම එතුමාගේ ඇස්වලට කඳුළු ආවා. මේ තියෙන්නේ අපේ ගෙදර වී ගබඩාවේ අපේ ආයතනය මුලින්ම කිරි උතුරවලා බුදුන්ට මල් පහන් තියලා පටන් ගත්ත දවසේ ෆොටෝස්. මේ ඉන්නේ අප්පච්චි. මේ අම්මා. මේ ඉන්න මල්ලි. අදටත් එයා අපේ ව්‍යාපාරයේ ඉන්නවා. එයා තමයි දැන් සේල්ස් මැනේජර්.

සේවය කරන අය ගැන පොඩි සඳහනක් කළානේ. ඔබ ගාව මේ වෙද්දී සේවක සේවිකාවන් කොච්චර විතර රැකියා කරනවද?
මගෙ ගාව අද වෙනකොට 165 දෙනෙක් ස්ථිර සේවකයින් ලෙස සේවය කරනවා. ඊට අමතරව පාර්ට් ටයිම් එකතු වුණාම 250ක් වගේ මේ ආයතනය නිසා රුකියාවල නිරතවෙනවා. කියන්නත් සතුටුයි මට... සමහර ගෙවල්වල ප‍්‍රධාන ආදායම අපේ ගාව වැඩකරන කාන්තාවන් තමයි ගෙදරට ගෙනියන්නේ. ඒක මට ගොඩාක් ලොකු සතුටක්.

මට පළවෙනි ඕඩර් එක හමුවුණේ කාර්ගිල්ස් සුපිරි වෙළෙඳ සැල් ජාලයෙන්. ටික දවසක් යද්දී මට ප‍්‍රඩක්ට් එක වැඩිකරගන්න සල්ලි ඕනනේ. මට සුරවීර අයියා ලක්ෂයක් දුන්නා. ඒ අයියා ඉඹුල්ගොඩ ඉන්නේ. මම ඒවයින් බිස්නස් එක තවත් ඉහළට ගෙනිහින් ඊට පස්සේ බැංකුවලට ගිහින් ණය අයැදුම්කළා. මට තිබුණ ප‍්‍රශ්නය තමයි වෙලාවක් නැති එක. මම මොකද කළේ... පාඩම් කරන්න උදේ පාන්දර දෙකට ඇහැරුණා. 12න් පස්සේ මෙඩිකල් කොලේජ් ගිහින් ඇවිත් බිස්නස් ගැන බැලුවා. සමහර දේශනවලට යන්න වුණේ නැහැ. මම ඒවා යාළුවන්ගෙන් ඉල්ලගෙන පාඩම් කටයුතු කළා.

ඩොක්ටර් අර එයාර් ලංකා එකට කජු සපයන්න වුණේ හරි අමුතු ආකාරයේ සිදුවීමකින් කියන කතාවත් කියමු නේද?
ආ ඔව්. එදා මම මගේ යාළුවෙක් එක්ක කාර්ගිල්ස් එකට කජු දමන්න ගියා. එතකොට ලොරියකින් බඩු පටවන මනුස්සයෙක් හිටියා. එයා මගේ ගාවට ඇවිත් අපි දැන් එයාර්ලංකා එකට බඩු දමන්න යනවා. කජු පැකට් දෙකක් දෙන්න මම එහෙට දෙන්නම් කියල එයා කිව්වා.

ඔය ඉල්ලන්නේ කන්නනේ... ඔන්න ඔහේ දීලා දාන්න කියලා මගේ යාළුවා මට කිව්වා. මම මොකද කළේ ඒ මනුස්සයට කජු පැකට් දෙක දුන්නා. එකක් කාලා සමහර විට එකක් හරි එහේට දෙයිනේ කියලා හිතලා. දවස් එකින් එක ගෙවිලා සතියකුත් ගතවුණා. මගේ ඔළුවේ ඒ දේ ගැන තිබුණෙත් නැහැ. මෙන්න දවසක් බලද්දී... මගේ ෆැක්ස් මැෂින් එකක් එතකොට තිබුණේ... එයාර් ලංකා එකෙන් ෆැක්ස් එකක් ඇවිල්ලා. ඔයගොල්ලන්ගේ මිල ගණන් දැනුම් දෙන්න කියලා. අපි අපිට ලැබෙන කිසිම අවස්ථාවක් මඟහැර ගන්න හොඳ නැහැ කියන එකයි ඇත්තටම මට කියන්න ඕන වුණේ. මම මිල ගණන් දැම්මට පස්සේ මට එයාර් ලංකා එකෙන් කැඳවීමක් කළා. එතකොට කජු කිලෝ එකක් මම ගත්තේ රුපියල් 575කට. එලි ගහලා ක්ලීන් කරන්න ඔක්කොම එතකොට රුපියල් 600ක් විතර වියදම් වෙනවා. මම ඒ ගොල්ලනට රුපියල් 625කට කිලෝ එක දෙන්න පුළුවන් කියලා කිව්වම අපිට දැනට කජු කිලෝව රුපියල් 575ට හම්බවෙන්නේ. ඔයා රුපියල් 550ට දෙනවා නම් ගන්නම් කිව්වා.
මට අතින් පාඩුවෙනවනේ. ඒත් ඒ අවස්ථාව අත හැරියොත් මම ඊට වඩා ලොකු පාඩුවක්නේ කරගන්නේ. ඒ හින්දා මම රුපියල් 550ට කජු කිලෝව දෙන්න එකඟවුණා. කිලෝ 50ක් දුන්නම මට දැන් රුපියල් 2500ක් පාඩුයි. දැන් මොකද කරන්නෙ කියලා මම කල්පනා කළා. මම කජු කිලෝ එක රුපියල් 500ට අඩුවෙන් ගන්න හොයා ගන්නවා කියලා තීරණය කළා. ඊටපස්සේ අපේ අහල පහලනේ ඒ ගාණට කජු කිලෝව ගියේ. මම දැන් මාස තුනක්ම එයාර් ලංකා එකට කජු සපයනවා. ඒ අතරේ පුත්තලමේ වනාතවිල්ලූවේ ස්වාමීන්වහන්සේ නමක් ගමේ දායක් සභාවේ කට්ටිය එක්කාසු කරගෙන කජු වේලලා අලෙවි කරනවා කියලා මට හොයාගන්න හමුවුණා. මට එහේ හොයාගෙන ගියාම කජු කිලෝව 420 ගන්න පුළුවන් වුණා. මට ටික දවසක් යද්දී 25ක ලාභයක් කජු විකුණලා ලාභ ලබන්න පුළුවන් වුණා. ටික දවසක් ගත වෙනකොට මට කජු විකුණන්න ප‍්‍රමිති සහතිකය වුණේ එයාර් ලංකා එකටත් අපි තමයි කජු දෙන්නේ කියන සහතිකය.

දැන් ව්‍යාපාරය ටිකෙන් ටික වෙළඳපොළ ආක්‍රමණය කරනවා. ඊටපස්සේ මොකද වුණේ ?
මට 2004 වසරේ වෛද්‍ය පත්වීම් ගන්න තිබුණේ. ඒත් මම ලංකාවේ කජු මාර්කට් එක රෝයල් කැෂූ කියන වෙළඳනාමය අහලා තිබුණු නිසා මට එක්ස්පෝර්ට් කරන්න ඕන කියලා හිතුණා. මම සංවර්ධන මණ්ඩලයට ගියා. ඒ ගොල්ලෝ මට උදවු කළා. 2004 තිබුණු එක්ෂිබිෂන් එකකට විදේශීය රටකට යන්න මට ඒ ගොල්ලෝ දැනුම්වත් කරලා උදවු කළා. ඒ දවස්වලමයි මට පත්වීම් භාරගන්න තිබුණෙත්. වැඩේ කියන්නේ මම ඒ අවුරුද්දේ පත්වීම් භාරගත්තා නම් මට කොළඹට ආසන්නයෙන් වෛද්‍යවරයෙක් විදියට වැඩකරන්න හමුවෙනවා. නමුත් කල් දැම්මොත් වෙන්නේ ඊගාව අවුරුද්දේ අන්තිමට තමයි නම යන්නේ.

ඒ කියන්නෙ දුෂ්කර පළාතකට තමයි සේවයට අනුයුක්ත කරන්නේ. මොකද එහෙම වුණොත් මට වැඩ කරන්න වෙන්නේ යාපනයේ. එතකොට යුද්ධයත් තිබුණු කාල වකවානුවනේ. මගෙ ජීවිතයේ ටර්නින් පොයින්ට් එක වුණේ ඒක. මම පත්වීම බාරගන්න එක පැත්තකින් තියලා එක්ෂිබිෂන් එකට ගියා. ඒ වෙලාවේ මම ඊගාව අවුරුද්දේ පත්වීම භාරගන්නවා කියලා ලියුම ලියලා දෙන්න කොළයක් දුන්නේ නැහැ. මම මොකද කළේ කොළඹ විශ්ව විද්‍යාලයේ ඉඳන් බොරැල්ලට යනකම් පයින් ගිහින් කොලයක් අරන් ඇවිත් ලියුම ලියාදීලා එක්ෂිබිෂන් එකට ගියා. පස්සේ අවුරුද්දේ මම යාපනයේ වැඩ භාරගත්තා වෛද්‍යවරයෙක් විදියට. මාස තුනකට සැරයයි මට එන්න පුළුවන් වුණේ. මම ෆෝන් එකෙන් බිස්නස් එක හැන්ඩ්ල් කළා. පස්සේ මට අම්පාරට මාරුවීමක් ලැබුණා. අම්පාරේ ඉද්දී මාසෙකට සැරයක් ඇවිත් ව්‍යාපාරය කරගෙන යන්නත් මට පුළුවන් වුණා. එතකොට මගෙ ගාව සේවකයින් 10ක් 12ක් විතර වැඩ කළා. මම වී ගබඩා එකේනේ ව්‍යාපාරය ආරම්භ කළේ. මේ තියෙන්නේ ඒ ෆොටෝ. ඊටපස්සේ මෙන්න මේ කොටසේ තිබුණේ දර මඩුව. මම ඒකත් ව්‍යාපාරය කරගෙන යන්න ඉඩ මදි නිසා එකතු කරගත්තා.  මේ තියෙන රාක්ක ඔකොම මමමයි මට  ඕන විදියට හදා ගත්තේ. අනිත් එක මම ඔයාට පෙන්නුවේ දැන් තියෙන ෆැක්ට්‍රියේ මැෂින්වලට කලින් මම මමම හදාගත්ත මැෂින්වලින් වැඩකළේ. ඒවාත් තවමත් මම සුරක්ෂිතව තියලා තියෙන විදිය ඔයා දැක්කනේ. දර මඩුව ඉඩ මදිවුණාට පස්සේ මම අපේ ගරාජයත් අල්ල ගත්තා ව්‍යාපාරය කරගෙන යන්න. ඊටපස්සේ 2003 දී තමයි දැනට තියෙන ඔය විශාල ෆැක්ට්‍රි එක හැදුවේ.

අද වෙනකොට වෙළඳසැල් 20ක් අපේම ඒවා තියෙනවා. ඊට අමතරව මැලේසියා, මාලදිවයිනට යවනවා. තව ඕස්ට්‍රේලියා, නවසීන්තය, ජපානය, ස්විට්සර්ලන්තය සහ මැදපෙරදිගටත් යවනවා. මේ වෙද්දී මට අපේ නිෂ්පාදනයන් වෙනුවෙන් අයි.එස්.ඕ. 22000 සහ පරිසර හිතකාමී විදියට නිෂ්පාදන කරන නිසා අයි.එස්.ඕ. 14001 කියන තත්ත්ව සහතික ඇතුළු තවත් සහතික හිමිවෙලා තියෙනවා. 

අපේ රටේ බොහෝ දෙනෙක් සහනාධාර බලාගෙන ජීවත්වෙන පිරිසක් ඉන්නවා. ඒ අයට ඔබට මොනව හෝ කියා දෙයක් තියෙනවද?
අධ්‍යාපනය, සෞඛ්‍ය, විශ්වවිද්‍යාල අධ්‍යාපනය. අපිට නොමිලේ ඒ හැමදෙයක්ම ලැබෙන හින්දා අපිත් මොනවා හෝ දෙයක් අපේ රට වෙනුවෙන් කරන්න ඕන. දැන් බලන්න විශ්වවිද්‍යාල ශිෂ්‍යයොත් නොයෙකුත් සහනාධාර මතනෙ යැපෙන්න බලන් ඉන්නේ. ඒ අයට බැරිද අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න. සමහර අය මේ වෙද්දී ටැක්සි දුවනවා කියලා මම අහලා තියෙනවා. ඒත් එහෙම නොකර අලුත් ව්‍යාපාරයක් පටන් ගත්ත නම් තවත් පිරිසකට රැකියා දෙන්න පුළුවන්. නිකම් හිතලා බලන්න විශ්ව විද්‍යාලයේ ඉඳල එළියට ගියත් රැකියා ඉල්ලා ඉල්ලා පිකටින් කරනවට වඩා හොඳ නැද්ද අලුත් ව්‍යාපාරයක් ආරම්භ කරලා රටට දෙයක් දෙන ගමන් තවත් පිරිසකටත් රැකියා දෙන එක. 

ජීවිත කාලයේම හැමදේම නොමිලේ ලැබුණු එකේ ඇයි තවත් රැකියාවක් ලැබෙනකම් බලාගෙන ඉන්නේ. මම එකෙන් කියන්නෙ රජයේ රැකියා කරන්න එපා කියන එක නෙවෙයි. රැකියාව කරන ගමන් රටේ සම්පත් උපයෝගී කරගෙන් අලුත් දෙයක් කරන්න. අපි හිතලා බලන්න ඕනෑ කාරණය තමයි ලෝකයේ දියුණු රටවල් දියුණු වුණේ සහනාධාර දීලද? එහෙම නැත්නම් වෙනත් ක‍්‍රමෝපායන් අනුගමනය කරලද කියන එක. තවත් කියන්න ඕන දෙයක් තියෙනවා ව්‍යවාසයකයෙක් වෙනව නම් සම්මතය චුට්ටක් කඩාගෙන යන්න වෙනවා මම කිව්වේ මම එදා වැස්සට තෙමි තෙමී නොගියා නම් මගේ ව්‍යාපාරය මේ වෙනකොට අද වෙනකොට නැහැ. මොකද සම්මතය වෙන්නේ වැස්ස වෙලාවට නොතෙමී ගෙයක් ඇතුළට වෙලා ඉන්න එකනෙ. අනිත් එක අනිත් හැමෝම උදේ 5-6 වෙනකම් නිදිය ගනිද්දී මම උදේ පාන්දර 02ට ඇහැරිලා පාඩම් වැඩ කරනවා. මම එතනත් සම්මතයට එහායින් වැඩ කළා. අර කියමනක් තියෙනවනේ ඔයා සාමාන්‍ය ප‍්‍රමාණයට වැඩකළොත් ඔයාට සාමාන්‍ය කෙනෙක් වෙලා ඉන්න පුළුවන්. සමාන්‍ය තරමට වඩා වැඩකළොතින් ඔබට මධ්‍යස්ථ මට්ටමට යන්න පුළුවන් නමුත් ඔබ සාමාන්‍යයට වඩා වැඩ කළොතින් ඔබට වඩා එහාට යන්න පුළුවන් කියලා.

මම ලස්සන කතාවක් කියන්නම්. එදා මට විශ්වවිද්‍යාලයට යන කාලේ මගේ යාළුවෝ ගොඩාක් අයත් මම ව්‍යාපාර කරද්දි මට කිව්වේ මෙහේ ආවේ ඉගෙන ගන්නනේ. ඒ නිසා ඉගෙනගන්න. ව්‍යාපාර කරන්න එළියට ගියාම කියලා. නමුත් මම ඒක ඇහුවේ නැහැ. මම ව්‍යාපාරයට මුල් තැනක් දීලා එයත් කළා. අද වෙනකොට මගේ සමහර වෛද්‍ය මිතුරන්ට ව්‍යාපාර පටන් ගන්න අවශ්‍ය වෙලා තියෙනවා. නමුත් මේ වෙද්දී ඔවුන්ට එය කරගන්න බැහැ. මොකද ඒ රිස්ක් එක ගන්න දැන් ඔවුන්ට බැහැ. ඊට වෙලාවක් නැහැ. විවාහ වෙලා ළමා ළපටි ඉන්නවා. ඔය  වගේ එක එක හේතු තියෙනවා අද කිසිදෙයක් නොකර ඉන්න. අනිත් එක ව්‍යාපාරයක් කරද්දී භූමියේ වාසියත් කතාවේ වාසියත් අපි ගන්න ඕන. එතකොටයි අපිට ව්‍යාපාරය එහාට ගෙනියන්න පුළුවන් වෙන්නේ. රට දියුණු කරන්න පුළුවන් සම්පත් ඕනතරම් අපේ අහල පහලම තියෙනවා. ඒවා අඳුනගන්න එකයි අවශ්‍ය වෙන්නේ.

දැන් බලන්න හේන් ගොවිතැන් කරන අය වතුර ලීටර් 10ක් ඕන තැනට මුළු භූමියටම වතුර දානවා. අපරාදේ ගහට ඕන ටිකක් අරගෙන ඉවර වුණාම අනිත් ටික භූමියට උරා ගන්න එකයි සිද්ධ වෙන්න. ඒක නාස්තියක් නාස්තිය කොයිදේ කළත් අපි අඩු කරගන්න අවශ්‍යයි. ඒ හින්දා අදම ඔබ ඔබගේ සිහිනයට පියවර තියන්න හදන එක ආරම්භ කරන්න සැළසුමක් ඇතුව කළමනාකරනය කරගෙන. අපිට අපේ සිහිනය යථාර්ථයක් කරගන්න එක අපහසුවක් වන්නේ නැහැ.

 

► Text — Chandana Waravitage