2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා

කොස්තාගේ කළු පස්ස සුදු වෙන්න හුණු ගායි

 2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 12:31 217

සති දෙකකටත් අධික කාලයක් තිස්සේ අපි වැල්ලෙ තැනූ චිත්‍රපටයේ රූගත කිරීම්වල යෙදුනෙමු. එය අතිශයින්ම වෙහෙසකර මෙන්ම සොඳුරු කටයුත්තක් විය. විශේෂයෙන්ම කල්පිටියේ කන්දකුලියේ ශුෂ්ක පරිසරය අපට ඔරොත්තු නොදෙන තරම් විය.

හැත්තෑ ගණන්වල අග භාගයේ තිබූ ප්‍රවාහන පහසුකම් මෙන්ම මාර්ගවල තත්ත්වය ගැන අද සිතතොත් එය දඬුවමක් වැන්න. එකල ජනප්‍රියත්වයේ ඉහළම සිටි විජය, මාලිනී වගේම අනෙකුත්ද පිරිසද ඒ දුෂ්කරතාව ගැන හෝ ලැබෙන පහසුකම් ගැන හෝ මැසිවිලි නැගුවේ නැත. ඔවුහු සෑම දිනෙකම වෙලාවට දර්ශන තලයට ආහ. ආහාර පාන ගැන අඩු පහසුකම් ගැන කතා නොකළහ.

වරක් ට්‍රැක්ටරයේ ට්‍රේලරයේ නැගී යද්දී ඩීසල් පිරවූ විශාල භාජනයක් පෙරළී ගියේය. රූබි ද මැල්ගේ මුළු සිරුරම ඩීසල්වලින් නෑවී ගියේය. අතරමඟ ට්‍රැක්ටරය නවතා ඇඳුම් පැළඳුම් මාරු කරගෙන සිනාමුසු මුහුණින් ඇය දර්ශන තලයට ආවාය. පසුකලෙකද ඇය මේ සිදුවීම පිළිබඳව සිනාසෙමින් විස්තර කරනු මා අසා තිබේ. විජය, මාලිනී, කලං, බන්දු ආදි හැමගේම සමාගමය ඉතා ප්‍රියජනක විය. මගේ ජොබ් එක වී තිබුණේ නළු නිළියන් දර්ශන තලයේදී කියන දෙබස් අසා ලියාගෙන ඩබින් ස්ක්‍රිප්ට් එක (දෙබස් කැවීම සඳහා) සූදානම් කිරීමය.

මුහුදු රළ ශබ්දය නිසා ඇතැම් දෙබස් කැමරාව පිටුපසට හරිහැටි ඇසෙන්නේ නැත. ඇතැම් විට දෙබස් අමතක වී දෙබසක් දෙකක් වැරදෙයි. වචන මාරුවෙයි. විශේෂයෙන්ම කලං දෙබස් උච්චාරණය කරන ආකාරය විටින් විට වෙනස් වෙයි. ඒ නිසා කැසට් යන්ත්‍රයක් ඔසවාගෙන ඔහුගේ දෙබස් පටිගත කිරීමට අපි උත්සුක වුණෙමු. 

විමල් කුමාර ද කොස්තාගේ විහිළු දර්ශන ගැනීම් අතරවාරයේ අප විනෝදයට පත් කරවන්නට සමත්ය. ඔහුට විකට වදන් එන්නේ ඉබේටමය. 
මම මචං මගෙ නමේ අගටත් ගමේ නම දාගන්නවා. ඔය හැමෝම වගේ දාගෙන ඉන්නේ.... ඔහු නම් වැලක් කියවාගෙන යයි. ඒ නළු නිළියන්ගේ නම් කෙළවර වන්නේ ගමේ නමිනි.
මොකක්ද උඹ දාන ගමේ නම? කවුදෝ අසයි.

විමල් කුමාර ද තොරණ හන්දිය ඔහු ගත් කටටම කියයි. විමල්ගේ ගම කැලණියේ තොරණ හන්දියයි.
ඒ ශුෂ්ක පරිසරයේදී වඩාත්ම අපහසුවට පත් වූයේ එකලද තරමක් වියපත්ව සිටි ඩී.ආර්. නානායක්කාරය. රූපගත කිරීම්වලට පැමිණ ටික දිනකින්ම ඔහුට උණ හැදුණේය. ඒ නිසා අපේ නවාතැනේ දින කීපයක් විවේකයෙන් පසුවිය. 
ගෝනුසු කරදරයද විශාල ගැටලුවක් විය. කන්දකුලියේ ගස්වල සිටින ගෝනුස්සෝ අප නැවතී සිටින ගෙවල්වල පොල් අතු වහලවලට පනිති. ඉන්පසුව පහළට පැන දෂ්ට කරති.  වරක් කොස්තා කලිසම මාරු කරද්දී එවැනි ගෝනුසු දෂ්ටයකට ලක්විය. ඔහු කෑගැසුවේ කලිසමද විසිකරමිනි. ගෝනුස්සා සිට ඇත්තේ කලිසම ඇතුළේය. කලා අධ්‍යක්ෂ ලයනල් හා කලං එතැනට දිව ආවෝය. බුලත් විටට කන හුණු ගෝනුසු දෂ්ටයට හොඳ බව කවුදෝ කීවේය. ඒ සමඟම හුණු බඳුනක් ආවේය. ලයනල් කලිසම නැති කොස්තාගේ පසුපසට තැනින් තැන දෂ්ට කළ තැන සොයමින් මෙතනද? මෙතනද?යි අසමින් ඇඟිල්ලෙන් හුණු ගෑවේය. අන්තිමේදී කොස්තාගේ කළු පැහැයට හුරැ සම ගේ කුරුලු කූඩුවකට හුණු ගෑවාක් මෙන් විය. හුණු ගෑම අවසන් වූ පසුව කොස්තා කීවේ යකෝ උඹලා ගේකට හුණු ගානව වගේනේ හුණු ගාන්නේ කියාය.

විජය කුමාරණතුංග මේ සියල්ල දෙස හිනැහෙමින් බලා සිටියේය. ඔහු කොහොමටත් සාමාන්‍ය ජීවිතයේදී මෙන්ම දර්ශන තලයේදීද හැසිරුණේ ඉතාමත් සරල ආකාරයෙනි. විජය අධ්‍යක්ෂවරයාට ඉතා පහසුවෙන් මෙහෙයවිය හැකි රංගවේදියෙකි. දෙබසක් වැරැද්දූ විට පවා එය නිවැරදි කරගෙන යළි රූපගත කිරීම් ඕනෑම ප්‍රමාණයකට පෙනී සිටීමට පවා ඔහු සූදානම්ය. අධ්‍යක්ෂවරයාගේවත්, කණ්ඩායමේ කිසිම කෙනෙකුගේවත් හිත රිද්දන්නට ඔහු අකැමැතිය.
සති දෙකකට අධික කාලයක් අපි විජය, මාලනී ඇතුළු ජනප්‍රියම රංගන ශිල්පීන් සමග වැඩ කළද ඒ කිසිම දිනකදීවත් විජය කේන්තියෙන් සිටි අවස්ථාවක් මගේ මතකයට නොඑයි. ජීවිතයේ ඇතැම් අවස්ථාවලදී ඔහුට කිසියම් ප්‍රහාරාත්මක වචන හරඹයකට මැදිහත් වීමට සිදුවුවද ඔහු එයට පිළිතුරු දෙන්නේද හිනැහෙමිනි.

මේ කාලය වනවිට විජය ජනප්‍රියත්වයේ හිනිපෙත්ත කරා ගමන් කරමින් සිටියද ඔහුගේ දේශපාලන හතුරන් විසින් එය වළක්වන ලද සිදුවීම් ඇති බව වරක් විජය මා සමඟ පැවසීය. සිනමාවේ තිබූ ජනප්‍රියත්වයට මෙන්ම දේශපාලන ක්ෂේත්‍රයේද දිදුලන තරුව බවට පත්වෙමින් සිටි විජයගේ ඇතැම් අදහස් උදහස් එකල ජනතාවගේ සිත් සතන් අවදි කරවන්නක් විය.
විජය දැන් දේශපාලනය ගැන මිස නළුකම ගැන උනන්දුවක් නෑ නේදැයි මම වරක් ඇසුවෙමි.

අපොයි නෑ නළුකම ගැන තාම මගේ විශාල උනන්දුවක් තියෙනවා. මම දේශපාලනය කළාට නළුවෙක් බව මම අමතක කරල නෑ. නළුකමෙන් ලැබෙන කීය හරි තමයි මම දේශපාලන කටයුතුවලට යොදවන්නෙ. සිනමාවෙන් ලැබුණු දෙයක් හැරෙන්නට මට මව්පිය බූදලයෙන් ලැබුණු කිසිවක් නෑ. නළුකමෙන් උපයන අන්තිම සතය දක්වා මම දේශපාලන කටයුතුවලට වියදම් කරනවා. දේශපාලනය රස්සාවක් නොවෙයිනෙ. දේශපාලනයෙන් ජීවත්වෙන්න බෑ. මම මැරෙනකම්ම සිනමාව අමතක කරන්නෙ නෑ. මට ලැබෙන්නෙ එක පින්තූරයද ඒකෙ මම උනන්දුවෙන් රඟපානවා. මගේ ජීවිතය ඒකයි.
ඇයි එහෙනම් ස්ථාවර තත්ත්වයකට පත්වී තිබෙන මේ වගේ අවස්ථාවකවත් හොඳ චරිත කීපයක්වත් රඟපාන්න මහන්සි වෙන්නෙ නැත්තෙ?

නළුකම රස්සාවට කරන නිසයි එහෙම කරන්න විදියක් නැත්තෙ. ආත්ම තෘප්තියට විතරක් රඟපාන්න ගියොත් සුළු චරිත කීපයක් විතරයි රඟපාන්න ලැබෙන්නෙ. මගෙන් ජීවත්වෙන අම්මලා, මගෙ බිරිඳ දරැවො ඉන්නවා. ආත්ම තෘප්තියට රඟපාන්න ගියොත් මට ඒ අයව බඩගින්නෙ තියන්න වෙයි. අනෙක සිංහල සිනමාවෙ අවුරුදු තිස් ගණනක කාලයක් තුළ හොඳ යයි කියන්න පුළුවන් චිත්‍රපට කෙරිලා තියෙන්නෙ කීයද? ඒ ගණන අතේ ඇඟිලිවලින් ගනින්න පුළුවන් තරම්. මුළු සිංහල සිනමා ඉතිහාසයටම හොඳ චිත්‍රපට කෙරිලා තියෙන්නෙ ඒ තරම් සුළු සංඛ්‍යාවක් නම් මගේ චිත්‍රපට ජීවිතය තුළ කතා කරන්න පුළුවන් චිත්‍රපට කීපයක්වත් තියෙන එක ගැන මට සන්තෝෂ වෙන්න පුළුවන්. මට එහෙමවත් රඟපාන්න අවස්ථාව ලැබුණා. සමහර නළුවො මුළු ජීවිත කාලයටම කතා කරන්න පුළුවන් එක චරිතයක්වත් නැතිව මැරිලා යනවා. ඒ අතින් මම සෑහීමට පත්වෙනවා.

ඒ කාලය වනවිට විජය ධර්මසේන පතිරාජගේ අහස් ගව්ව හා බඹරු ඇවිත් චිත්‍රපටවල රඟපා ප්‍රබුද්ධ ප්‍රේක්ෂකයන් අතරද නමක් රඳවාගෙන සිටි බව කිව යුතුය. වැල්ලෙ තැනූ මාලිගා චිත්‍රපටයේ විජය රඟපෑවේ ක්‍රිස්ටි නම් තරුණයකුගේ චරිතයයි. කොස්තා රඟපෑවේ ඇල්බට් මහත්තයාගේ චරිතයයි. මාලිනී රඟපෑවේ ඉසබෙලා නම් ධීවර ගමක තරැණියගේ චරිතයකි. සියලු ආදර කතා මැදින් අවසානයේ ක්‍රිස්ටිට ඉසබෙලා අහිමි වෙයි. අවසානයේ ඉසා විවාහ කරදෙන්නේ ඇල්බට් මහත්තයාටය.

(කොස්තා)
ඉසාගේත් (මාලිනී), ඇල්බට් මහත්තයාගේත් (කොස්තා) මංගල්‍යය ජයටම ගන්නට තීරණය කෙරෙයි. එම රූපගත කිරීම් සඳහා මීගමුව ප්‍රදේශයේ බෑන්ඩ් කණ්ඩායමක් ගෙන්වූයේ රූ ගත කිරීමට දින කීපයකට පෙරදීය.
ඒ දිනවල දිවා කාලයේ රෑගත කිරීම් නිමවෙනතුරු ඉවසිල්ලක් නැත. ඒ බෑන්ඩ් කණ්ඩායමේ සංගීතය සමග රාත්‍රී සාදයට සූදානම් වන්නටය. දින කිහිපයක්ම බෑන්ඩ් කණඩායමේ සංගීතය සමගින් රාත්‍රී කාලය ගෙවී ගියේය. එය නැටුම් ගැයුම් වලින් උතුරා යන්නකි.
ෂර්ලි උදේ පාන්දරින්ම කාට කාටත් සුදුලූනු පෙත්ත බැගින් බෙදාගෙන යයි. ඒ රාත්‍රී සාදයෙන් නැතිවී ගිය ශක්තිය යළි ලබා ගැනීමටයි. ඒ සඳහා සුදු ලූනු පෙති පැකට් ෂර්ලි කලින් සිටම සූදානම් කරගෙන සිටියේය. මාලිනීගේත්, කොස්තාගේත් මංගල්‍යයය රූගත කරන දිනයේ රාත්‍රිය ඉතා සුවිශේෂී විය. ඒ බෑන්ඩ් කණ්ඩායමේ සංගිතය සමඟ විනෝද විය හැකි අන්තිම රාත්‍රිය වීම නිසාය. එදාද රාත්‍රිය ජයටම ගෙවී යමින් තිබිණ. පිරිස නටන්නට පටන් ගත්හ. අන්තිමට කොස්තාට බෑන්ඩ් එකේ ඩ්‍රම් එක වාදනය කිරීමට අවශ්‍ය විය.

ඔහු ඩ්‍රම් එකට තඩි බාන්නට පටන් ගත්තේය. ඔහුව වළක්වන්නට කිසිවෙකුටවත් නොහැකි විය. අන්තිමේදී කොස්තාගේ වාදන ප්‍රහාරය කොතරම්ද යත් බෙරය පැලී ගියේය. බෙරය පැලී යාමත් සමඟ සාදය නැවතිණි. ඊළඟ ප්‍රශ්නය වූයේ පසුදා රෑපගත කිරීම්වලට මේ බෙරය යොදාගන්නේ කෙසේද යන්නය. ෂර්ලි කොහොමත් කුකුල් කේන්ති කාරයෙකි. ඔහු බෙරය පැලීයාම ගැන කෑගැසුවද අප හිතූතරම් රණ්ඩුව දරැණු නොවීය. චිත්‍රපටය රෑගත කිරීමේදී බෙරයේ පැලීයාම වැසෙන පරිදි කලා අධ්‍යක්ෂ ලයනල් කිසියම් උපක්‍රමයක් යෙදීමට පොරොන්දු වූවා විය යුතුය. බෙරය වාදනය වන ආකාරය පමණක් රූගත කිරීම නිසා ඒ ප්‍රශ්නය විසඳී ගියේය. 

මාලිනී මංගල ඇඳුමෙන් සැරසී කොස්තා සමඟින් එළියට එන දර්ශනය මට තවමත් මතකය. ඩොනල්ඩ් කරුණාරත්නගේ කැමරා අධ්‍යක්ෂණයෙන් එය ඉතාම සුන්දර ලෙස රූගතව තිබිණ.
වැල්ලෙ තැනූ මාලිගා චිත්‍රපටයේදී මට හමුවූ පිරිසෙන් බොහෝ දෙනෙකු අද ජීවතුන් අතර නැත. විජය කුමාරණතුංග, විමල් කුමාර ද කොස්තා, වින්සන්ට් වාස්, ඩී.ආර්. නානායක්කාර, රූබි ද මැල්, තෙරේසා වීරසිංහ, ක්‍රිස්ටි ද මැල්, අධ්‍යක්ෂ ෂරල් පී. විජේරත්නද, කලා අධ්‍යක්ෂ ලයනල් සිල්වා, ප්‍රේමසිරි කේමදාස, මාලිනි බුලත්සිංහල, අජන්තා රණසිංහ ඒ අතර ප්‍රධානය. වැල්ලෙ තැනූ මාලිගා චිත්‍රපටයට ප්‍රකට ගුවන් විදුලි මාධ්‍යවේදියකු වූ නිමල් ලක්ෂපතිආරච්චිද සහාය අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළා පමණක් නොව එහි චරිතයක්ද රඟපෑවේය. ඔහුද අද අප අතර නැත.

මාලිනී හා කොස්තාගේ මංගල්‍ය දර්ශනය රූගත කිරීමෙන් පසුව මගේ මතකයේ රැඳී සිටින සුවිශේෂී දර්ශනයක් වෙයි. ඒ ආදරයෙන් පැරදුණු විජය ඇඳුම් බෑගයක්ද රුගෙන ගම හැරදා යන දර්ශනයකි.  ඒ දර්ශනය රූගත කෙරුණේ ඉතා හදිසියෙනි. විජයට රැගෙන යන්නට ඇඳුම් බෑගයක් නැත.

ලයියා මගේ බෑග් එක නම් තියෙනවා. බැලුවොත් නරකද? මම කීවෙමි. ලයියාගේ වැඩ කටයුතු ඔය විදියටමය. ඔහු කාමරයේ මුල්ලක දමා තිබූ මගේ ඇඳුම් බෑගය ඇඳුම් පිටින්ම ගත්තේය. ආදරයෙන් පැරදුණු විජය කන්දකුලියේ ගම හැරදා පිටව යන්නේ මගේ ඇඳුම් බෑගය රැගෙනය....

(ලබන සතියේ විජය සමග දුම්රියේ ආ ගමන...) 

 

► Text - Rodney Widanapathirana