2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා

බෝනික්කයි භූතයයි

 2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 63
මේ ඉන්දියාවේ මුම්බායි නගරය ආශ‍්‍රිතව පිහිටි වෙරළක රාත‍්‍රී කාලයේ සිදුවීමක්. මේ වෙරළ අසලට එක එක මාධ්‍ය ආයතනවලින් රැස් වෙලා ඉන්නවා. මෙතන ඉන්න නිවේදකයන්, වාර්තාකරුවන් කඩි ගුලක් ඇවිස්සිලා වගෙයි හැසිරෙන්නේ. ඒ අතරේ මේ සිදුවීම බලන්න නගරවාසිනුත් එක‍්රුස් වෙලා ඉන්නවා. පොලිස් නිලධාරිනුත් මේ පිරිස මෙහෙයවන්න කටයුතු කරමිනුයි ඉන්නේ.
 
නිවේදිකාව - අයහපත් කාළගුණය හේතුවෙන් මුම්බයිවල ජුහූ මුහුදු වෙරළට සී බර්ඩ් කියන ගිලුණු  නෞකාව පාවෙලා ඇවිල්ලා තියෙනවා. පුදුමයට කාරණය වන්නේ ඒ නැවේ එක මනුස්සයෙක්වත් නැහැ.
මේ එම නෞකාවේ සිදුවීමක්. මේ නෞකාව නිරීක්ෂණය කරන්න විදුලි පන්දමක් අතින් ගත් තරැණයෙක් ඒ නැවේ යකඩ දොරක් ඇරගෙන නැව ඇතුළට යනවා. එහෙම යන්නේ සුමිත් දේසායී.
පෘථිවි - ආ මේ මොකක්ද මේ පෑගිලා සද්ද කරන්නේ? ආ බෝනික්කෙක්.
 
මේ අතරේ ඒ නැවේ ඉහළ තට්ටුවට ආරක්ෂක හිස් වැසුම්වලින් හිස ආවරණය කරගෙන ආරක්ෂක නිල ඇඳුමකින් සැරසුණු තරුණයෙක් ගොඩ බහිනවා. ඊටපස්සේ ඔහු කාර්යාලයකට ගිහින් තවත් පුද්ගලයෙක්ට ඔහු ගැන මෙන්න මෙහෙම කියනවා.
මගේ නම පෘථිවි. මමයි සී බර්ඩ් කියන නැවේ මැනුම් නිලධාරියා. හොයලා බලන්න සී බර්ඩ් එකේ වාර්තා ගැන.
මනුස්සයෙක් - සී බර්ඩ් නැව ගැන ගොඩාක් කතා තියෙනවා. සී බර්ඩ් කියන්නේ හොල්මන් නැවක්.
පෘථිවි මේ වෙනකොට ඉන්නේ රෝහලක. ඔහු සුදු ඇතිරිලි ඇතිරූ සයනයක දිගාවෙලා පුද්ගලයෙක්ට තොරතුරු කියනවා.
පෘථිවි - ඒ නැවේ වැඩ කරන අය අතරේ කෙල්ලෙකුත් හිටියා.
 
මිනිහෙක් - ඔයා ඒ දකින දේවල් ඔයාගේ මායාවල් නෙවෙයි. ඒ ඔක්කොම නපුරැ ආත්මයන්.
මේ ඊට දින කිහිපයකට පස්සෙ සිදුවීමක්. පෘථිවි කාගෙන්දෝ ප‍්‍රශ්න කරනවා.
පෘථිවි - නැවේ මොකක්ද වුණේ?
 
ඒ ගැන දැනගන්න කලින් මෙන්න මේ ටිකත් කියවලාම ඉන්නකෝ. මේ ලෝකයේ භයානකම දේ වෙන්නේ මිනිස්සුන්ගේ මොළය තමයි අපේ සම්පූර්ණ ශරීරයම පාලනය කරන එක. අපේ හිතට දැනෙන සමහර දේවල්වලින් සමහරක් දේවලට හේතුවක් අපිට හොයාගන්න බැරි අතර ඒවායින් අපේ හිතට බයක් විතරයි දැනෙන්නේ. හිටිගමන් නින්දෙන් උඩ යනවා වගේ දැනෙන එක හරි එහෙමත් නැත්නම් කා‍ගෙහරි බියකරැ මුහුණක් පේනවනම් හරි තනියම යද්දි මහපාරේදී කවුරැහරි ඔබගේ නම කියා කතා කරනවා වගෙ ඇහෙනවනම්, එහෙමත් නැත්නම් කණ්ණාඩියෙන් ඔබගේම මුහුණ බලද්දී කවුරු හරි ඔබගේ උරහිසට අතක් තියාගෙන ඉන්නවා වගේ දැනෙනවනම්, ඒ හැමදේටම අපේ ගාව තියෙන්නේ එකම උත්තරයක් විතරයි. භූතයෝ තමයි එයට උත්තරය. අපේ කුඩා කාලයේ බය ආපහු ජීවත් කරවන ෆිල්ම් එකක් එනවා. මේ කියන්න හදන්නේ ඒ ගැනයි. මනුස්ස ලෝකෙට අමතරව ඒ වගේ ශක්තීන්ගේ ලෝකයකුත් තියෙන බව ඔබටම ඒත්තු ගන්වාවි මේ සිනමාපටයෙන්. ඒ සිනමාපටයේ නම භූත් - ද හන්ටඩ් ශිප්.
 
භානු ප‍්‍රතාප් සිං විසින් අධ්‍යක්ෂණය කරලා තියන මේ සිනමාපටය නිෂ්පාදනය කරන්නේ හිරෑ යාශ් ජෝහාර්, කරන් ජෝහාර්, අපූර්වා මෙහ්තා සහ ශශන්ක් ඛයිතන්. මේ සිනමාපටයේ පසුතලය සප්ත ස්වරයෙන් හැඩ කර තියෙන්නේ කේතන් සෝදා. 2020 පෙබරවාරි 21 වැනිදා තිරගතවෙන මේ සිනමාපටයේ චරිත හැඩ කරන්න එකතු වෙලා ඉන්න අය ගැනයි දැන් ඔබට කියන්න හදන්නේ. මේ සිනමාපටයේ භූතාත්මය සමඟ ගනුදෙනු කරන ඔහු ගැන මුලින්ම කියලා ඉන්නම්. ඔහු මීට කලින් මෙන්න මේ සිනමාපටයන්ගෙන් අපිට දැකගන්න පුළුවන් වුණා.
 
Gangs of Wasseypur (2012), Masaan (2015), Raman Raghav 2.0 (2016), 2012 Luv Shuv Tey Chicken Khurana, 2013 - Geek Out Geek, 2015 - Bombay Velvet, 2018 - Love per Square Foot, 2018 - Raazi, 2018 – Lust Stories, 2018 - Sanju, 2018 - Manmarziyaan, 2019 - Uri: The Surgical Strike
 
1988 මැයි 16 වැනිදා ඉන්දියාවේ මහාරාෂ්ට‍්‍රා ප‍්‍රාන්තයේ මුම්බායි නගරයේ තමයි ඉපදිලා තියෙන්නේ. 2012 වසරේ පටන් සිනමාව නියෝජනය කරන ඔහු නැශනල් ෆිල්ම් අවෝර්ඩ්, ෆිල්ම් ෆෙයාර් සම්මාන ඇතුළු සම්මාන තමන්ගේ නමට වෙන් කරගන්න සමත්කම් දැක්වූ කෙනෙක්. ඔහු නමින් විකී කෞශාල්.
 
දැන් ඔබට කියන්න හදන්නේ මේ සිනමාපටයේ භූතාත්මය ගැනයි. සිනමාපටයට අනුව ඇයගේ නම ඊශා මුඛර්ජී. මේ ඊශාගේ චරිතයට පණ පොවන්නේ මෙන්න මේ සිනමාපටයන්ගෙන් ඔබ අපි දැකලා තියෙන කෙනෙක්.
 
Dum Laga Ke Haisha (2015), Toilet: Ek Prem Katha (2017), Shubh Mangal Saavdhan (2017), Bala (2019), Pati Patni Aur Woh (2019).2019 Pati Patni Aur Who
 
1989 ජූලි 18 වැනිදා ඉන්දියාවේ මහාරාෂ්ට‍්‍රා ප‍්‍රාන්තයේ බොම්බේ නගරයේ ඉපදුණු ඇය 2015 වසරේ පටන් නිළියක් විදිහට වෘත්තියේ නියැලෙනවා. ඒ වගේම නිළියක් වෙන්න පෙරාතුව ඇය යාශ් රාජ් ෆිල්ම්ස් ආයතනයේ ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් කෙනෙක් විදිහටත් වැඩ කරනවා. ඒ වගේම ඇය ෆිල්ම් ෆෙයාර් සම්මාන ඇතුළු සම්මානයනුත් තමන්ගේ බවට පත්කරගන්න සමත් වුණු කෙනෙක්. මේ සිනමාපටයේ ඊශා මුඛර්ජිගේ චරිතයට පණ පොවන්නේ භූමි පෙඩ්නේකර්. ඇයට අමතරව කාශිනාත් මුඛර්ජීගේ චරිතයට අශුතෝෂ් රානාත්, රාහුල් සින්ගේ චරිතය සිද්ධාන්ත් කපූර් විසින් රඟපානවා. මේ සිනමාපටයේ තියෙන රමණීය ගී පද හැඩ කරන්නේ අඛිල් සච්දේවා.
 
► Text — Chandana Waravitage