වොල්ගා මොනවද මේ දිනවල කරන නිර්මාණ?
මේ දවස්වල දේදුණු වර්ෂා කියන අලුත් නාට්‍යයකට සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින්.. මේ දවස්වල ඒ ටෙලිනාට්‍ය රූගතකිරීම්වලට සහභාගී වෙනවා. ඒක අධ්‍යක්ෂණය කරන්නේ අනුරුද්ධ ගාම්භීර මහතායි. ඒකෙදි මම රඟපාන්නේ ටිකක් දඟකාර හැමවෙලේම ආදරය හොයන ගෑනු ළමයෙක්ගේ චරිතයක්.
වොල්ගා ආයෙමත් පෙම්වතියක් වෙලා?
ඔව්. ඒක ඇත්ත. මම දැන් පෙම්වතියක්. එයාගේ නම බිනෝෂ් පීරිස්. එයත් කලාවට සම්බන්ධ කෙනෙක්. එයයි මමයි මුලින්ම මුණගැහුණේ කුඩා කාලෙදිමයි. අපි දෙන්නම කුඩා කාලෙදි අතුරු මිතුරු කියන වැඩසටහනට සම්බන්ධ වුණා. ඒ මුණගැහීම පසුකාලෙදී ආයෙමත් මුණගැහුණා. මගේ ජීවිත කතාව බිනෝෂ් දන්නවා. මම වැටුණු තැන්, රැවටුණ තැන්, වැරදුණු තැන් ඒ හැමදෙයක්ම එයා දන්නවා. කුඩා කාලයේදී සිටම අපි දන්නවා වුණාට මෑත කාලෙදි තමයි ඒක ආදරයක් වුණේ.
විවාහයේදී ඇතිවුණ යම් යම් හේතුන් නිසා වොල්ගාට ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිදුවුණා. ජීවිතේ වැරදුණු මොහොතේදී බිනෝෂ්ගෙන් ඔය හිත හදාගන්න හයියක් වුණේ කොහොමද?
පසුගිය කාලෙදි මාව අපහසුතාවයට පත්කරන්න බොහෝ මඩ ප්‍රහාරයන් ආවා. නමුත් ඒ හැමතැනකදිම මාව වට්ටන්නෙත් නැතිව ඔහු වැටෙන්නෙත් නැතිව ඒ හැමදේකදිම බිනෝෂ් මට ලොකු ශක්තියක් වුණා. පසුගිය කාලෙදි සමහර මිනිසුන්ගේ ක්‍රියාකලාපයන්, කතාන්දරයන් එක්ක මගේ මව්පියන් ගොඩක් අසරණ වුණා. නමුත් බිනෝෂ් හැමවෙලේම මට හයියක් වුණා. ඔහු මට මේ හැමදේම දරාගන්න ලොකු ශක්තියක් වුණා. පසුගිය කාලයේදී මම ජීවිතේ අඬපු තැන් සෑහෙන්න තිබුණා. දැන් මට හිතෙනවා ඒ හැමදේම විඳ දරාගත්තු නිසා මට සැනසීමක් ළඟදිම ලැබෙයි කියලා.
ඔය දෙන්නාගේ ආදරයට ඔයාගෙන් සහ බිනෝෂ්ගේ දෙමව්පියන්ගෙන් කැමැත්ත ලැබිලද තියෙන්නේ?
ඔව්. මගේ තාත්තා හැමවෙලේම මාව සතුටින් තියන්න පුළුවන් කෙනා ගාව තියන්න ඕන කියලා කිව්වේ. බිනෝෂ්ගේ දෙමව්පියන් කවදාවත් වොල්ගා කියන්නේ දික්කසාද ගෑනියක් කියන තැනේ ඉඳන් මම දිහා බැලුවෙ නැහැ. ඔවුන් අලුත් දුවෙකුට සලකනවා හා සමානව තමයි මට සලකන්නේ. අපේ මව්පියන්ගෙනුයි, බිනෝෂ්ගේ මව්පියන්ගෙනුයි අපිට ආශිර්වාදය ලැබිලයි තියෙන්නේ.
පසුගිය කාලයේදී වොල්ගා පෙනී සිටිය වීඩියෝවල් අන්තර්ජාලය ඔස්සේ දැකගන්නට පුළුවන් වුණා. බොහෝදෙනා ඒ ගැන බොහෝ කතා කිව්වා. ඇත්තටම මොකද්ද වුණේ?
ඒක මාව අපහසුතාවයට හෝ අපහාසයට පත්කරන්න කරපු දෙයක්. ඒ අපහාස කරපු අය ඇයි එහෙම කළේ කියලා හිතනවා ඇරෙන්න වෙනනම් දෙයක් නැහැ. ඒ මියුසික් වීඩියෝවක්. මේ වගේ දේවල් කොහොමද මිනිස්සු කරන්නේ කියන ප්‍රශ්නය මගේ හිතේ තාමත් තියෙනවා. ඒ හැම මොහොතකම මාව හයියක් කළේ බිනෝෂ්. ඇත්තම කිව්වොත් මේ හැම අපහසුවක්ම, හැම අපහාසයක්ම ජීවිතයට ලැබෙද්දී බිනෝෂ් ඊටත් වඩා වේගෙන් මට ළං වුණා. ඇත්තම කිව්වොත් ඒ හැම හිත් රිදීම් නිසාම බිනෝෂ් මට ආදරය කරන්නත්, මම බිනෝෂ්ට ආදරය කරන්නත්, ඒ ආදරය වැඩිපුරම දැනෙන්නත් පටන්ගත්තා.
කවදා විතර වොල්ගාගේත්, බිනෝෂ්ගෙත් විවාහය සිදුවේවිද?
බොහෝම මෑතකදී අපි දෙන්නා විවාහ වෙනවා.
බිනෝෂ් වොල්ගාට ආදරය යෝජනාව ගෙනාවට පසුව දෙවරක් හිතන්නට වොල්ගා කල්ගත්තද?
මම ජීවිතේ වරද්දගත්තු කෙනෙක් විදිහට මම වරද්දගත්තු හුඟක් කාන්තාවෝ වගේ අනේ අයියෝ.. කියලා කම්පා වෙන කෙනෙක් නෙවේ. යම් දෙයක් වුණා. ඒක එතනින් අවසානයි කියලයි මම හිතන්නේ. ඒ නිසාම ජීවිතේ වැරදුණාට පස්සේ ඒ ගැන කම්පා වෙවී, දුක් වෙවී ඉන්නවට වඩා ආයෙත් ජීවිතය පටන්ගන්න ඕනේ කියලා මට හිතුණා. මම වැරදි කරලා තියෙනවා හරිම අඩුයි. ඒ නිසාම දෙවියෝ මම අවශ්‍ය දේ කවදාහරි මගේ ළඟට ගෙනත් දේවි කියලා මම විශ්වාස කළා. ඒ නිසාම බිනෝෂ් එක්ක අලුත් ජීවිතයක් මම බොහෝම ආසාවෙන් පටන්ගන්නවා. බිනෝෂ් කියන්නේ ගොඩක් හොඳ කෙනෙක්. එයාගේ ආදරය මට දැනෙනවා.
පුංචි කාලේ හීන දැක්කේ නිළියක් වෙන්නද?
ඔව්. ප්‍රතිභා කියන අයියා මාව අතුරු මිතුරු කියන රූපවාහිනී වැඩසටහනට එක්කගෙන ගියාට පස්සේ මම නිළියක් වෙනවා කියලා තමයි හැමවෙලේම හිතුවේ. අද වෙනකොට මම කොටස් සීයකට වඩා වැඩියෙන් දිවෙන නාට්‍යවලට සම්බන්ධ නොවන්නට තීරණය කරලා තියෙනවා. මේ කාලේ බොහෝ අඩු මුදලකට නාට්‍ය බොහෝමයක ඉන්නවට වැඩිය මගේ අවශ්‍ය මුදලට, මගේ හිත සතුටු වෙන එක නාට්‍යයකට සම්බන්ධ වුණත් මට ඒ හොඳටම ඇති.
► Text - Dishani / Pic – Internet