නියත දහමට අවනත නොවන කිසිවක් ලොව නොපවතී යන සත්‍ය සත්තාව දකින මඟ ගමන් කරමින් ශාසනයේත්, සාහිත්‍යයේත් සුභාර්ථය පිණිස මනස මෙහෙයවන හිමිනමක් ලෙස මම උන්වහන්සේ දකිමි. පාතේගම ඥානිස්සර හිමි නමින් ප්‍රකට උන්වහන්සේ වෙනුවෙන් මේ සතියේ හඬ විවර වේ.
ඥානීස්සර හිමිගේ සාහිත්‍ය වැඩ කටයුතු ගැන අහලම කතාව පටන් ගන්න හිතුවා...
මම අලුතෙන්ම කරපු පොත තමයි පත්තරෙන් ඇවිත් කියන කෘතිය... මම පත්තරේට ලියපු ලිපි කිහිපයක් තෝරගෙන තමයි ඒ පොත සම්පාදනය කළේ... ඊට අමතරව සින්දු කිහිපයක්ම රචනා කළා. ඉනෝකා දිල්රැක්ෂිට ලියපු ගීතවල දැන් රූපරචනා පවා නිර්මාණය වෙලා තියෙනවා... පහුගිය දවස්වල කලා මණ්ඩලයේ විධායක තනතුරකටත් මාව පත්කරලා තිබුණා... ඒ වැඩකටයුතුවලට අමතරව හොඳ සාහිත්‍ය කෘති පරිශීලනය කරමින්... බෞද්ධාගමික වැඩ කටයුතුත් කරගෙන ඉන්නවා...
එහෙම තමයි උන්වහන්සේ වැඩ ගැන කිව්වේ...
අවසරයි හාමුදුරුවනේ... එහෙනම් මම මෙහෙම පටන්ගන්නද? පාතේගම ඥානිස්සර හිමියන්ට පේනවාට වඩා වැඩි දෙයක් හිතට කාවද්දපු, ජීවිතේ යථාර්ථය අවබෝධ කරගන්න උදව් වුණ සාහිත්‍ය නිර්මාණයක් ගැන පොඩ්ඩක් කතා කරමුද?
හිමියන් කතාවට මුලපිරුවා...
එක නිර්මාණයක් තෝරගන්න එක හරි අමාරු වැඩක්... නිර්මාණ කිහිපයක්ම මගේ හිතේ තැන්පත්වෙලා තියෙනවා... ඒ නිර්මාණ අතරින් මගේ හිතට තදබල ලෙස දැනුණු කෘතිය තමයි කෝ. ආනන්ද හාමුදුරුවෝ රචනා කරපු %හේ සිද්ධාර්ථ නම් වෙයි කියන නවකතාව. භික්ෂු ජීවිතය කියන්නෙ වෙනස්ම ජීවිතයක්. සාමාන්‍ය සමාජයේ ගිහි ඇත්තොත් එක්ක එකට ගැටිලා ගනුදෙනු කරන්න වෙනවා. එකට ජීවත්වෙන්න වෙනවා. නමුත් කායකම්ම අනුව, හිතන විදිය අනුව භික්ෂුව වෙනස්. මෙන්න මේ තත්ත්වය නිර්මාණාත්මක විදියට මේ කෘතියේ විග්‍රහවෙනවා. ගිහි සමාජයෙන් පැවිදි සමාජය වෙන්වෙන්නෙ කුමන අර්ථයෙන්ද කියන එක හරි අපූරුවට පැහැදිලි කරලා තියෙනවා. ඒ නිසා තමයි මේ කෘතියට මම ආකර්ෂණය වෙන්නෙ...
මේ නවකතාව ගලාගෙන යන්නෙ භික්ෂූන් වහන්සේ කෙනෙක් වටා... නවකතාව පටන් ගන්නෙ පුංචි දරුවෙක් මහණකරන තැනකින්... දරුවෙක් මහණ කරනකොට අපි කියන්නෙ කුලදරුවෙක් මහණ කරනවා කියලා.. කුල කියන්නෙ ගෘහ කියන එකට.. ගෙදරක හිටපු ගිහි දරුවෙක් මහණ කරනකොට කොණ්ඩෙ කපලා හිසේ හුඹස් මැටි හරි ගොම හරි ආලේප කරලා නාවනවා... බෞද්ධ සමාජයේ ඒකට කියන්නෙ ගිහි ගඳයන්න තමයි එහෙම කරන්නෙ කියලා... මෙහෙම පැවිදි කරපු දරුවා ක්‍රමානුකූලව පිරිවෙන් අධ්‍යාපනය හදාරණවා. සමාජය සමඟ ගැටෙමින් සමාජයත් එක්ක ගනුදෙනු කරනවා... ඒ ඒ වයස් සීමාවන් පසුකරද්දී සිතුම් පැතුම් වෙනස් වෙනවා. සමාජය වෙනුවෙන් කැපවෙලා වැඩකරන අතරේ බුදුහිමියන් දේශනා කරපු නිර්වාණගාමී මාර්ගයට අවතීර්ණ වෙන්න කටයුතු කරනවා... පුංචි කාලේ සිට තරුණ විය පසුකරමින් වැඩිහිටි වියට පත්වෙන මේ හිමිනම දිහා ලොකු හාමුදුරුවෝ දුර සෙනෙහස පෙරදැරිව උපේක්ෂා සහගතව බලාගෙන ඉන්න අයුරු තමයි මේ නවකතාවෙන් දිගඇරෙන්නෙ... කෝ. ආනන්ද හාමුදුරුවෝ ඉතා සංගමයෙන් පාඨක ආකර්ෂණය දනවන විදියට අපූරුවට මේ නිර්මාණය ඉදිරිපත් කරලා තියෙනවා... මේ කෘතිය මගේ හිතට තදින් දැනුණු සාහිත්‍ය නිර්මාණය ලෙස තෝරගන්නෙ ඒ නිසයි..
මේ කෘතිය මේ තරම්ම ඔබවහන්සේට සමීපවෙන්න හේතුව ඔබවහන්සේගේ ජීවිතය අත්දැකීමක් මේ කෘතිය හා සම්බන්ධ නිසාද?
ඔව් සාමාන්‍යයෙන් මේක අපේ ජීවිතවලටත් සමීප වෙන්න ඇති... පුංචිම කාලේ ගිහි ජීවිතය ගතකරද්දී අම්මා තාත්තා නැදෑයෝ එක්ක ජීවත්වෙලා... ඒ සියලු නෑ සනුහරයම අතහැරලා පන්සල ආපුවාම ඒ දැනෙන තනිකම නැතිකරගන්න තනියම හිතලා, කල්පනා කරලා භාවනාවට, පිරිවෙන් අධ්‍යාපනයට යොමුවුණ අපේ ජීවිත අත්දැකීම් බොහෝමයක් මේ පොතේ තියෙනවා... මම පහුගිය කාලේ ලිව්වා පොතක් නාගස්මණ්ඩිය කියලා. ඒක තමයි මගේ ජීවිත කතාව. නාගස්මණ්ඩිය පොත ලියනකොටත් යම් යම් අවස්ථාවල කෝ. ආනන්ද හාමුදුරුවන්ගේ මේ පොත මගේ මතකයට ආවා.
මේ කෘතිය රස විඳිද්දී ඥානිස්සර හිමියන් කැමතිම චරිතයක් ඉන්න ඇති නේද?
එකක් නෙමේ මේ කතාවේ චරිත කිහිපයකටම මම කැමතියි... ඒ අතරිනුත් සිද්ධාර්ථ කියන චරිතයට මම ගොඩක් කැමතියි. මෙතන සිද්ධාර්ථ කියන්නෙ බුදුහාමුදුරුවෝ නෙමේ... මේ සිද්ධාර්ථ කියලා කියන්නෙ අර මහණ වුණ පුංචි දරුවා... එයා හැසිරෙන විදිය, භාවනා කරන විදිය, බණ පොත් කියවන විදිය, ඒ වගේම සමාජය සමඟ බද්ධවෙලා කටයුතු කරන විදිය, විශ්වවිද්‍යාලයේදී තරුණයන් සමග ගැවසෙන විදිය හරිම තාත්ත්වික විදියට කතුවරයා මේ කෘතිය ඇතුළේ ගොඩනගලා තියෙනවා. ඒ නිසා තමයි සිද්ධාර්ථ චරිතයට මගේ වැඩි කැමැත්තක් යන්නෙ...
සැබෑ ලෝකයේ මේ කෘතියේ ඉන්න සිද්ධාර්ථ වගේ චරිතයක් ඔබවහන්සේට මුණගැහිලා තියෙනවාද?
ඇත්තට මේ චරිතයට සමාන භික්ෂු චරිතයක් මට තාම හමුවෙලා නෑ.. අපේ මිතුරන් අතරෙවත් එතරම් පරාර්ථකාමී චරිතයක් තාම හමුවෙලා නෑ... අපිට හිටපු ගුරු දෙගුරු හාමුදුරුවො අතරෙත් එහෙම චරිතයක් මම දැකලා නෑ. නමුත් මම බලාපොරොත්තු වෙනවා මේ චරිතයක් වෙන්න... මම වැඩකරන්න ඕනෙ මෙන්න මේ විදියට කියලා මම අඳුරගත්තා.
ඔබවහන්සේ මේ පොත රසවිඳිනකොට වැඩියෙන්ම සංවේදීවෙච්ච තැනක් දෙකක් මතක් කරමුද?
මම ගොඩක්ම කැමති සිද්ධාර්ථ කියන පොඩි හාමුදුරුවෝ ලොකු හාමුදුරැවොත් එක්ක ගොඩනගන ගුරුගෝල සම්බන්ධයට. සිද්ධාර්ථ පොඩි හාමුදුරුවෝ ලොකු හාමුදුරැවන් කෙරෙහි දක්වන සැලකිල්ල වගේම දක්වන ගෞරවයත්, ලොකු හාමුදුරුවෝ පොඩි හාමුදුරුවන්ට දක්වන ආකල්පමය ලෙන්ගතුකම හරිම අපූරුයි. බුද්ධ දේශනාවෙත් සඳහන් වෙනවා තාත්තා කෙනෙක් සහ පුතෙක් අතර තියෙන සම්බන්ධයට සමාන සම්බන්ධයක් ලොකු හාමුදුරැවෝ සහ ගෝල හාමුදුරුවරු අතර තිබීම වැදගත් කියලා... ඒක ආධ්‍යාත්මික බැඳීමක්... අන්න ඒ බැඳීම ඉස්මතු වෙන තැන්වලට මම ගොඩක් කැමතියි. හැදෙන වැඩෙන භික්ෂුවක් කියවිය යුතුම පොතක් තමයි සිද්ධාර්ථ කියන්නෙ... පන්සල විවේචනය කරන තරුණ දරුවනුත් මේ පොත කියවන්නම වටිනවා... ඒ අයට එතකොට දැනගන්න පුළුවන් භික්ෂුවක් කොයිතරම් කැපවීමක් කරනවද කියලා... එතකොට ඒ ගැටෙන අදහස්වලිනුත් ඒ අයටත් හොඳ නිර්මාණයක් කරන්න පුළුවන් වෙයි.
මෙච්චර ලස්සන පොතක් ඔබවහන්සේට අහම්බෙන් ලැබුණා වෙන්න බෑ... කොහොමද මේ පොත හම්බවුණේ.. කී වතාවක් දැනට මේ පොත කියෙව්වද?
මේ පොත මම මුලින්ම කියවන්නෙ අසූව දශකයේ. ඒ කාලේ මට නවකතා පිස්සුවක් තිබුණා. එක දවසට එක පොත ගානේ මම කියවනවා... නවකතා කියවලා මම ලොකු හාමුදුරුවන්ගෙන් බැණුම් අහලත් තියෙනවා... ගොඩක් නවකතා මම කියවලා තියෙනවා ඒ කියවද්දි මුණගැහුණු පොතක් තමයි හේ සිද්ධාර්ථ නම් වෙයි කෘතිය... දැනුත් මං ළඟ මේ පොත තියෙනවා... මගේ ජීවිතේට ප්‍රශ්නයක්, ගැටලුවක් ආවාම, නැත්නම් මානසිකව අඩපණවුණු වෙලාවට වරින්වර මේ පොත මම කියවනවා... මම එය කී පාරක් කියවලා තියෙනවාද කියලා ගණන් කරලා නම් නෑ... හැබැයි හැට හැත්තෑ සැරයකට වැඩිය කියවලා ඇති.
මේ පොත කියවලා අවසානයේ ඔබවහන්සේගේ ජීවිතයට මොනවගේ ඵලයක්ද එකතු වුණේ.?
මේ පොත කියෙව්වට පස්සේ තමයි මම කවදාවත් සිවුර අරින්නෙ නෑ කියලා අධිෂ්ඨාන කරගත්තෙ... මේ පොත කියෙව්වට පස්සෙ තමයි මට හිතුණේ හාමුදුරු කෙනෙකුට රට වෙනුවෙන් කොච්චර දේවල් කරන්න පුළුවන්ද කියලා... මේ රටේ භික්ෂුවකට කොච්චර සලකනවද? මේ රටේ ඉන්න භික්ෂුව කොච්චර අසරණද? බුද්ධ දර්ශනයයි, බණ පොතයි විපරිනාමය වන සමාජ ප්‍රවාහය හඳුනාගෙන ගිලෙන්නෙත් නැතිව උඩ එන්නෙත් නැතිව පීනන්නෙ කොච්චර අපහසුවෙන්ද? මේක මහා අභියෝගයක් හැටියට තමයි මම දැක්කේ. ඒ අභියෝගය ජයගන්න ඕනෙ කියන අදහස තමයි මට දැණුනේ..
මේ කෘතියේ අවසානයේ ඔබවහන්සේට මොනවගේ හැඟීමක්ද දැණුනේ...?
ඇත්තටම දුකක්... කම්පාව සහ අධිෂ්ඨානයක් තමයි දැනුණේ. මේ පොත අවසාන වෙන්නෙ අපේ සිද්ධාර්ථ තරුණ හාමුදුරුවෝ විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසාන කරලා, ගමේ තරුණ සංවිධානයක් හදලා තව වටපිටාවෙත් තරුණ සමිති හදලා ඒ තරුණයොත් එක්ක එකතුවෙලා පන්සලට එනකන් ලොකු හාමුදුරුවෝ උපෙක්ෂා සහගතව මඟ බලාගෙන ඉන්නවා... ලොකු හාමුදුරුවෝ මඟබලන් ඉන්නවා කියන එකේ අර්ථය තමයි තමන් හදපු ගෝලයාගේ පොදු ජාතික, ආගමික රටක භික්ෂූත්වයේ බලාපොරොත්තු ගැන උපේක්ෂාවෙන් බලාගෙන ඉන්න දර්ශනය තමයි අවසානයේ චිත්‍රණය වෙන්නෙ...
එහෙම තමයි පාතේගම ඥානිස්සර හිමියන්... කතාව හමාර කළේ...
► Text - Danushka Wijesiri / Pic - Internet