2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා

අමුතු තාත්තයි තාරු දුවයි...

 2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 5789

මේ පාසලක සිදුවීමක්. මේ පාසලේ වේදිකාවක් මත ඇති පුටුවල විද්‍යාලයේ විදුහල්පති ඇතුළු ආචාර්ය මණ්ඩලය වාඩිවෙලා ඉන්නවා. ඔවුන් ඉදිරියේ ඇති ශාලාවේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ ඔවුන්ගේ මවුපියන් වාඩිවෙලා ඉන්නවා. නිවේදිකාවක් තාරිකා බන්සාල්ට අවස්ථාව කිව්වම උපැස් යුවළක් පැළඳ ඉන්න යුවතියක් සහ ඇයගේ පියා වන චම්පක් ඇය එක්ක වේදිකාව මතට එනවා. තමන්ගේ දියණියට සහතික පත‍්‍රයක් හමුවුණාට පස්සේ යුරෝපීය ඇඳුමින් සැරසුණු තාරිකාගේ පියා මයික‍්‍රෆෝනය ගාවට ගිහින් කතා මෙන්න මෙහෙම කතා කරනවා.

ගුඩ් මෝර්නින්.... ඩියර් ප‍්‍රින්සිපල් මැඩම්... ඩියර් ස්ටුඩන්ට්... ඩියර් ඩියර් ඩියර් ටොප් ඔෆ් ඉන්සයිඩ් අයිම් වෙරි ඉමෝෂනල්.... ඇන්ඩ් අවුට්සයිඩ් අයිම් වෙරි හැපී... ෆෝර් මගේ දුව තාරු ගැන.... එච්චරයි මම ඉංග‍්‍රීසි දන්නේ.
එතන ඉන්න හැමෝම මහ හයියෙන් හිනාවෙනවා.

මේ ඊට දින කිහිපයකට පසු සිදුවීමක්. උපැස් යුවළක් පැළඳ ඉන්න තාරු තමන්ගේ පියා එක්ක කතා කරමින් ඉන්නවා.
තාරු - පාපා මම ඩිසයිඩ් කළා... මම ලන්ඩන් යනවා.

තාත්තා - ඔයාට මෙහේ නැතුව වෙන කොහෙන් හරි කොලේජ් එකකින් ඉගෙන ගන්න ඕන නම් ජයපූර් ගිහින් ඉගෙන ගන්න.
තාරු - පාපා මම කවදා වෙනකම් ඔයා එක්ක ඉන්නද? මම දැන් ලොකු කෙනෙක්. මට ටිකක් හරි නිදහසක් දෙන්නකෝ.
තාත්තා - භාරතයට ඉංග‍්‍රීසීන්ගෙන් නිදහස හම්බවෙන්න අවුරැදු 200ක් ගියා. ඔයාට තාම අවුරුදු 18යි.

මේ ඊට දින කිහිපයකට පසු අධිකරණ ශාලාවක සිදුවීමක්. මෙතන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ ඔවුන්ගේ මවුපියන් සමහර අය පුටුවල වාඩිවෙලා ඉන්නවා. තවත් සමහර අය හිටගෙන ඉන්නවා. මෙතන ඉන්න තාරුගේ පියා හැමෝටම ඇහෙන්න මෙන්න මෙහෙම කියමින් ඉන්නේ.

තාත්තා - ඔයගොල්ලෝ අධිකරණයෙන් පිටතදී කතාකරලා විසඳගන්න මීටින් එකකට එන්න කිව්වා. මම ආවා. දැන් ඔයා කිව්ව විදියට ඔයගොල්ලෝ මත්පැන් අරගෙන එන්න. මම බයිට් එරගෙන එන්නම්.
විනිසුරුතුමා - මම මෙතන බයිට් ගැනද කතා කරන්නේ?

උඩු රැවුල වැවූ මිනිහෙක් - ස්වාමීනි... ස්වාමීනී... මත්පැන් ගැනද කතා කරන්නේ?
මේ ඊට දින කිහිපයකට පසු සිදුවීමක්. සුඛෝපභෝගී පුටුවක වාඩිවෙලා ඉන්න මේසයක් ඉස්සරහ ඉන්න කාන්තාවක් එක්ක තාරැගේ පියා කතා කරමින් ඉන්නවා.
කාන්තාව - සල්ලි හොයන්න ඔයාට වෙන කරන්න දෙයක් ගැන අයිඩියා එකක් තියෙනවද?
තාත්තා - මම මගේ ලේ විකුණන්න හිතාගෙන ඉන්නේ.

කාන්තාව - ලේ බෝතලයක් රුපියල් 200යි වෙන්නේ. ලන්ඩන් කොලේජ් එකට යවන්න මිලියන 10ක් ඒ කියන්නේ කෝටියක් ගෙවන්න වෙනවා.
තාරුගේ පියා - කෝටියක්...?
කාන්තාව - ඔව්. කෝටියක්.

තාරුගේ පියා - කෝටියක්...?? වෙන ක‍්‍රමයක් නැද්ද?
කාන්තාව - සීට්ස් තියෙනවා... ඒත් බ්‍රිටිස් අයට විතරයි යන්න පුළුවන්.

යුරෝපීය ඇඳුමින් සැරසුණු තාරුගේ පියා ඔහුගේ හිතවතෙක් එක්ක යුරෝපීය රටකට යනවා. ඔවුන් දෙන්නා පොලීසියට අහුවෙලා ඉන්නේ. ඔවුන් දෙන්නා ඉදිරියේ හැඩකාර පොලිස් නිලධාරිනියක් ඉන්නවා. ඇයගේ නම නයිනා. ඇය ඔවුන් දෙන්නගෙන් ප‍්‍රශ්න කරමින් ඉන්නේ.
නයිනා - නම මොකක්ද ඔයාලගේ?
මිනිහෙක් - මම සක්ලන් මුස්තාක්.

තාරුගේ පියා - පොලිස්කාරයින්ට කවදාවත් ඇඟිලි දික්කරන්න හොඳ නැහැ.
ඔවුන්ව දැඩි ලෙස යුරෝපීය පොලිස් නිලධාරීන් විසින් පරීක්ෂා කරනවා. මේ ඊට දින කිහිපයකට පසු සිදුවීමක්. අවන්හලක සුදු පැහැයට හුරු කබායකින් සැරසී රත්තරන් මාල 10ක් 15 දමාගත් තාරැගේ පියා කෙට්ටු මනුස්සයෙක් එක්ක මේ අවන්හලේ ඇති පුටුවක වාඩිවෙලා කතා කරමින් ඉන්නවා.

කෙට්ටු මනුස්සයා - සතියක් ඇතුළත සම්පූර්ණ ගාණම ගෙවන්න ඕන අපි. නැත්නම් ඒ සීට් එක වෙන කෙනෙක්ට දෙයි. 
එච්චර සල්ලි කොහෙන්ද ගේන්නේ? කෝටි තුනක්.

තාරුගේ පියා - මිනිසුන්ගේ සිහින බිඳුනම ඒ මිනිස්සු ජීවත් වුණත් මැරුණා වගේ ජීවත් වෙන්නේ. මගේ දුවට ඕන ඒ යුනිවර්සිටි එකට යන්නනෙ. මම එයාගෙ හීනය බිඳ වැටෙන්න දෙන්න නැහැ. 
ඔබට ඔය කිව්වේ අං‍ග්‍රේසී මීඩියම් කියන හින්දි සිනමාපටයේ කතාවෙන් කොටසක්. කතාවේ ඉතුරැ ටික දැනගන්න නම් තව ටික දවසක් අපිට බලා ඉන්න වෙනවා. මේ කතාව තියෙන සිනමාපටය තිරගත වෙන්නේ 2020 මාර්තු 13 වැනිදා. අං‍ග්‍රේසී මීඩියම් කියන මේ හින්දි සිනමාපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ හෝමී අදජානියා. මේ සිනමාපටය නිෂ්පාදනය කරලා තියෙන්නේ දිනේෂ් විජාන් සහ ජ්‍යෝති දේශ්පාන්ඩේ. මේ සිනමාපටයේ තිරරචනය කරලා තියෙන්නේ භවේෂ් මණ්ඩාලියා, ගෞරව් ශුක්ලා, විනේයී චාවල් සහ සාරා බෝදිනගර්. මේ සිනමාපටය හැඩ කරන්න සප්ත ස්වරයෙන් මේ සිනමාපටය හැඩකර තියෙන්නේ සචින් - ජිගර්. දැන් ඔබට කියන්න හදන්නේ ඔබ අප ආදරය කරන මේ සිනමාපටයේ චරිත හැඩකරන්න ඒවාට පණ පෙවූ අය ගැනයි.

මුලින්ම කතාවේ නායක චම්පක් බන්සාල් ගැන කියලා ඉන්නම්. ඔහු මෙන්න මේ කියන සිනමාපටවලින් අපි දැන කියා ගත්තා අති දක්ෂ නළුවෙක්. බලන්න ඔබට ඔහුව මතකයට ආවද කියලා...
Salaam Bombay! (1988). Haasil (2003) Maqbool (2004), Life in a... Metro (2007), Paan Singh Tomar (2011), The Lunch box (2013) Haider (2014), Gunday (2014), Piku (2015) Talvar (2015). Hindi Medium (2017), The Warrior (2001), The Namesake (2006), The Darjeeling Limited (2007), Slumdog Millionaire (2008), New York, I Love You (2009), The Amazing Spider-Man (2012), Life of Pi (2012), Jurassic World (2015) Inferno (2016).

1966 ජනවාරි 07 වැනිදා ඉන්දියාවේ රාජස්ථානයේ ජයපූර්වල උපත ලද ඔහු නැෂනල් ස්කොඔල් ඔෆ් ඩ‍්‍රාමා එකෙන් අධ්‍යාපනය ලැබුව කෙනෙක්. 1988 පටන් හින්දි සිනමාව නියෝජනය කරන ඔහු සිනමා නළුවෙක් වගේම නිෂ්පාදකවරයෙක්. 2011 වසරේදී ඔහු පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලබන අතර ෆිල්ම් ෆෙයාර් සම්මාන සහ සෙසු සිනමා සම්මාන රාශියක තමන්ගේ නමට වෙන් කරගන්න සමත් වූ අති දක්ෂ රංගන ශිල්පියෙක් කිව්වොතින් නිවැරදියි. 1995 දී සුතාපා දේවේන්ද්‍ර සික්දර් එක්ක විවාහවුණු ඔහු මේ වෙනකොට දෙදරු පියෙක්ද වෙනවා. ඔහු නමින් ඉර්ෆාන් ඛාන්. ඉර්ෆාන් තමයි මේ සිනමාපටයේ තාරුගේ පියාගේ චරිතය හැඩ කරන්නේ. දැන් ඔබට කියන්නේ චම්පක් බන්සාල්ට යුරෝපීය රටකදී හමුවන ඉන්දියානු හැඩකාරිය ගැනයි. ඇය නමින් නෙයිනා. මේ නෙයිනාගේ චරිතයට පණ පොවන්නේ ඔබ මෙන්න මේ සිනමාපටවලින් දැන හඳුනාගත් හැඩකාරියක්. ඇය මේ වෙද්දී එක්දරු මවක් වුණත් තාමත් ඇය ඉතාම හැඩකාරියක් විදියටයි හැමෝම දන්නේ.

2000 Refugee, Asoka, Kabhi Khushi Kabhie Gham... (2001) 2004 - Chameli.,2006 film Omkara,2007 Jab We Met, 2009 Kurbaan, 2010 We Are Family, 2012 Heroine, 2012 Talaash: ,2016 Udta Punjab,3 Idiots (2009) Bajrangi Bhaijaan (2015),Bodyguard (2011) Singham Returns (2014), Good Newwz (2019).

1980 සැප්තැම්බර් 21 වැනි දින ඉන්දියාවේ මහාරාෂ්ට‍්‍ර ප‍්‍රාන්තයේ බොම්බේ නගරයේ උපත ලබා ඇති ඇය 2000 වසරේ පටන් හින්දි සිනමාව නියෝජනය කරනවා. සිනමා සම්මාන රාශියක් තමන්ගේ නමට වෙන කරගන්න සමත්කම් දැක්වූ ඇය හින්දි සිනමාව නියෝජනය කළ රන්ධීර් කපූර් සහ බබිතාගේ බාල දියණිය වන තර හින්දි සිනමා නිළියක් වන කරිෂ්මා කපූර්ගේ නැගණියයි. ඇය වෙන කිසිවෙක් නෙවෙයි 2012 දී සයිෆ් අලි ඛාන් එක්ක විවාහ වුණු සුරූපී කරීනා කපූර් ඛාන්. ඇය තමයි නෙයිනගේ චරිතට පණ පොවන්නේ.

ඉර්ෆාන් සහ කරීනාට අමතරව මේ සිනමා පටයේ චරිතයන්ට පණ දෙන්න මෙන්න මේ කට්ටිය එකතුවෙලා ඉන්නවා. රාධිකා මදානා, තාරිකා බන්සාල්ගේ චරිතය හැඩ කරද්දී, ඩිම්පල් කපාඩියා, රන්වීර් ශොරේයී, පන්කජ් ත‍්‍රිපාටී, කිකූ ශර්දා, මනූ රිෂී, ශකීර් හුසේන්, මේඝ්නා මලික්, මනිෂ් ගාන්ධි, මන්ජෝයි හල්දාර්, පූර්වී ජේඉන්, මයිරාහ් දන්ඩේකර්, ජේන් තොම්ප්සන්, ජමියා නේගල් සහ ගුරු රන්ධාවා.

2017 දී වැඩ ආරම්භ කර තියෙන මේ සිනමා පටය 2019 අප්‍රේල් 05 වැනිදා ලන්ඩන්වල රූගත කිරීම් අවසන් කරලා තියෙනවා. අං‍ග්‍රේසී මිඩියම් හින්දි සිනමා පටයේ තියෙන ගීත සප්ත ස්වරයෙන් හැඩකර තියෙන්නේ සචින් සහ ජිගර් යා සංගීතවේදීන් දෙදෙනා විසින් වන අතර ගුරු රංධාවා එයට එකතුවෙලා තියෙනවා ආරාධිත කොම්පෝසර් කෙනෙන් විදියට. මේ සිනමාපටයේ තියෙන ගීතයන්හි පද ජිගර් සරයියා සහ ප‍්‍රියා සරයියා විසින් ලියා තියෙන අතර ඒවාට පණ දෙන්න තමන්ගේ හඬ එයට මුසුකර තියෙන්නේ තනිෂ්කා සන්ඝාවි සහ සචින් - ජිගර් සහ ගුරු රංධාවා.

 

► Text — Chandana