අපි නගින්නේ ගිරි දුර්ගයක්. ඒ ගිරිදුර්ගයේ නම ජීවිතය. අපි කවුරැත් ජීවිතය කියන නිම්නයට එනවා. යනවා. කවුරු නමුත් නවතින්නෙ කාලයයි. කාලයේ තීරකයා කවුද කියලා මම දන්නෙ නෑ. අපි හිතමු ඒ තීරකයා ඉරණම කියලා. මම ජීවිතේ ගැන අලුතින් කියවපු දවසක් තිබුණා. ඒ දවස තමා ඇල්බෙයා කැමුගේ THE STRANGER-සෝමරත්න බාලසූරිය සිංහලයට නගපු පිටස්තරයා කියවපු දවස.
ආදරය ගැන කතා නොකරන්නෙ කවුද? ගිහිගෙය එපා කියපු බුදුහාමුදුරුවන්ගෙ පටන් ජේසුස් වහන්සේ, අල්ලා දෙවියන් මේ හැමෝම ආදරය ගැන කතා කළා. ආදරය නොසෙවූවත් ආදරය වින්දා. ඒ ආදරය මරණය තෙක් අවශ්‍යතාවයක්. ඒත් ආදරය කියන්නෙ නියතයක් නෙවෙයි.
ආදරය අස්සෙ ආදරය වගේම හොඳ නරක හැම හැඟීමක්ම තියෙනවා, සුන්දරත්වය තරමටම රැවටිල්ලත් තියෙනවා. නිර්වචන සහ කොන්දේසි විරහිත ඒ ආදරය ගැන පිටස්තරයා ඇතුළෙ තියෙන කතාව කියවපු දවසෙ මම හිතුවෙ මෙන්න මෙහෙම.
වරෙක
නොඉල්ලා කිසිවක්ම බොහෝ දේ දන්දෙන
වරෙක
බොහෝ දේ ඉල්ලමින් කිසිවක්ම දන් නොදෙන
හැඟීමකි ආදරය
I Sanju