විජය නන්දසිරි... දේවිකාට පමණක් නොව ලාංකික ප්‍රේක්ෂයන්ටද අමතක නොවන අමතක කළ නොහැකි විජය නන්දසිරි නියත දහමට අවනතව සියල්ලෙන් සමුගෙන කලක් ඉක්ම ගියේය. ඒ මතක සමුදාය බැතිබරව දරාගෙන ලංකාවේ පළමු ටෙලිනිළිය - දේවිකා අදටත් ඔහු සෙනේ සිතින් සමරන්නීය. විජය සමඟ ඇගේ අවුරුදු මතක හාරා අවුස්සන්ට අප සිත්වුණේ නික්ම ගිය විජයට හදසර - හදසරක් ලෙසිනි.
සිංහල අලුත් ඒකාලේ විජයට කොයි වගේද?
ඉස්සර හැම සිංහල අලුත් අවුරුද්දකදීම විජය වේලාසන ඉඳන්ම ඒකට ලෑස්ති වෙනවා. මොනතරම් කලා කටයුතුවලට ඒ දවස් දෙකේ ආරාධනා කළත් විජය ඒ නැකැත් වෙලාවට ගෙදර ඉඳන්ම ඒවා සමරන්නයි හැම අවුරුද්දකම උත්සහ කළේ. ඒත් ඉතින් දැන්නම් අපිට අවුරුද්දක් නෑ. විජය නැතිව අපි අවුරුදු සමරන්නෙ කොහොමද?
ඒ කියන්නේ විජය නැකැත් කටයුතු හරියට කරපු කෙනෙක්...? එහෙමද...?
අනේ ඔව්... අවුරුදු නැකැත ලබනකොට ඉස්සෙල්ලාම ඒකට ලෑස්ති වෙන්නේ මටත් කලින් විජයයි. නැකැතට වෙලාව කියන්නේ විජය. මේ ගෙදරට ගෙවදිද්දිත් විජේ තමයි මුලින්ම හාල් වතුර සහ කිරි අරගෙන මේ ගෙදරට අඩිය තිබ්බේ. එයා නැකැතට හැමදේම කළා. නැකැතට හැම අවුරුද්දකම මම විජේට බුලත් හුරුල්ලක් දීලා වැන්දා. මේ පාර මට බුලත් දීලා වඳින්න මගේ විජේ අපි අතරේ නෑ.
අලුත් අවුරුද්දට නෑගම් යන්නත් විජය ගිය අවුරුදුවල ආවද..?
අනේ... ඔව්... හැම අවුරුද්දකම එයා මොන රාජකාරි තිබ්බත් නෑදෑ ගෙවල්වල යන්න ආවා. නෑදෑයෝ අපේ ගෙවල්වල එද්දිත් විජේ එයාලත් එක්ක සුහදව කතාබහ කරනවා. නැකැතට සිරිතට හැමදෙයක්ම විජේ කළා. මගේ පවුලේ නංගිලා අක්කලා හත්දෙනයි එක මල්ලියි. ඉතින් ඔය හැමෝගෙම ගෙවල්වල අපි සිංහල අවුරුද්දට ගියා.
සිංහල අවුරුදු කෑමවලදී විජය වැඩිපුරම කැමති මොනවා කන්නද?
මෙහෙමයි. සිංහල අවුරුදු කෑම කන්න විජය හරි ආසයි. ගොඩක් කෑම මාත් ගෙදර හදනවා. සමහර කෑම මගේ නංගිලා හදලා අපේ පංගුව වේලාසන අපිට ගෙදරට ගේනවා. අපි හදන කෑම එහෙට යවනවා. එහේ කෑම මෙහෙට එනවා. ඒ වගේ වේලාසන ඉඳන්ම අපි කෑම බෙදා හදාගන්නවා. විජය හරි ආසයි කොකිස් කන්න. මම කොකිස් හදද්දි ගෙදර විජේ ඉන්නවනම් උණු උණුවේ කොකිසක් කනවා. ආයේ ඉස්සරහට යනවා. ආයේ ටික වෙලාවකින් කොකිස් හදන තැනට ඇවිත් කොකිසක් ගන්නවා. රස බලනවා.
කොකිස් විතරද විජය හුඟක් කන්න ප්‍රිය කළේ?
නෑ... තව එයා කිරිබත් කන්නත් හරිම කැමතියි. විජේගේ ප්‍රියතම ආහාරය තමයි කිරිබතුයි කෙසෙල් ගෙඩියි. සිංහල අලුත් අවුරුදු දවසේ විජේ කිරිබත් කෑල්ලක් කට්ට සම්බල් එක්ක මුලින්ම කනවා. ඊළඟට මිරිස් මාළු එක්ක තව පොඩි කෑල්ලක් කනවා. අන්තිමට කෙසෙල් ගෙඩියක් එක්ක කිරිබත් කෑල්ලක් කනවා.
සිංහල අලුත් අවුරුද්දට ඇඳුම් පැළඳුම් ගන්න ගියේ කවුද?
සිංහල අලුත් අවුරුද්දට අපි හැමෝටම ඇඳුම් පැළඳුම් ගන්නේනම් මම ගිහින්ම තමයි. විජය ඒවාට යන්න එනව හරිම අඩුයි. මේ වැඩත් එක්ක ඒ ගමන් බිමන් යන කාලය අපරාදෙනේ. හැබැයි විජේට හැම ඇඳුමක්ම තෝරලා දෙන්නේ මම. සිංහල අලුත් අවුරුද්දට එයා හැමදාකම වගේ සරම තමයි ඇන්ඳේ. එයා හරි ආසයි රත්තරන් පාටට හුරු පාටවලට සහ නිල් පාට ඇඳුම්වලට. අනික එයා පිළිවෙළට පිරිසිදුවට හරි කැමතියි. දාඩිය දාගෙන ඇඳුම් පැළඳුම් ඇඳගෙන ඉන්න විජේ ආසම නෑ. විජේගේ අතට අඳින ඇඳුම දුන්නට පස්සෙ තමයි එයා දන්නේ අඳින්නේ මොකක්ද කියලා.
සිංහල අලුත් අවුරුද්දට දුප්පත් මිනිසුන් වෙනුවෙන් විජේ මොකද කළේ?
විජේ අසරණ මිනිස්සුන්ට වගේම මේ සතා සිවුපාවුන්ට හරියට ආදරේ කළා. එයා හැමදාම උදේට හාල් කිලෝ දෙකක බත් මේ ඉස්සරහ පාරේ ඉන්න සත්තුන්ට දුන්නා. කුරුල්ලන්ට කන්න දුන්නා. පරවියන්ට, කපුටන්ට එයා හරියට කන්න දුන්නා. තාමත් ඒ සතුන් උදේ පාන්දර ඇවිත් බලාන ඉන්නවා. එයා අසරණ මිනිසුන්ට ගොඩාක් උදවු කළා. හැබැයි දකුණු අතින් දීපු දෙයක් එයාගේ වම් අතවත් දැනගෙන හිටියේ නෑ. එයා ඒ ගැන කාටවත් කිව්වේ නෑ. අවුරුදු දවස්වලට එයා අසරණ පවුල්වලට කෑම දීලා තියෙනවා. පොඩි දරුවන්ට අඳින්න ඇඳුම් දීලා තියෙනවා. එයා කවදාවත් කරන උදවු වෙන කාටවත් කියලා කරන්නේ නෑ.
අවුරුදු උත්සවවල ප්‍රධාන අමුත්තා විදිහට ගියපු කාලය මතක් කළොත්?
විජේ ගොඩක් අවුරුදු උත්සවවලදී ප්‍රධාන ආරාධිත අමුත්තා විදිහට ගිහින් තියෙනවා. ඒ ගියාම ඉතින් හැමෝමත් එක්කම විජේ කතා කරනවා. එයාව එයාගේ රසික රසිකාවියන් වටකරගෙන ෆොටෝ ගන්නවා. අත්සන් ගන්නවා.
ගම්වලට ගියාම ඒ අවුරුදු කෑම එහෙම රස බලන්නත් ලැබෙනවා නේද..?
අම්මෝ... ඔව්... සමහර පැතිවලටම ආවේණික වුණු සිංහල කෑම තියෙනවනේ ඉතින්. විජේ ඒ කෑම කන්න හරි ආසයි. විජේට ඒ වගේ පැණිරස කෑම හරියට පාර්සල් කරලා මිනිස්සු දෙනවා. එයා ඒ එකක්වත් ප්‍රතික්ෂේප කරන්නේ නෑ. එයා ඒවා අරගෙන සමහර කෑම කනවා. සමහර කෑම ඔය කාට කාටහරි බෙදලා දෙනවා.
අවුරුදු උළෙලවල්වලට දේවිකයි, විජයයි සහභාගි වෙන්නත් ඇතිනේ... කොහොමද ඒ අතීතය?
ඔව්... අපේ පවුල ටිකක් ලොකුයිනේ. ඉතින් අපේ අක්කලා නංගිලා අපි හැමෝම එකතුවෙලා සමහර අවුරුදුවලදී අවුරුදු උත්සව සංවිධානය කරනවා. අපිම සල්ලි දාලා අපිම තෑගි අරගෙන, අපිම තරග හදාගෙන අවුරුදු තරග පවත්වනවා. විජේ ඒ හැම එකකම විනිශ්චය කරන්න තමයි ඉන්නේ. අපේ නංගිලා මල්ලිලා කොච්චර කතා කළත් තරගවලට ඉන්න එන්න කියලා විජේ අර සුපුරුදු හිනාවෙන්ම හිනාවෙලා නෑ.. නෑ... ඔය ඕනතරම් කට්ටිය ඉන්නේ... මම සාධාරණ විනිශ්චය දෙන්නම්කෝ... කියලා විනිශ්චය කරනවා. හැබැයි විජේ කැට ගහන්නනම් හරි ආසයි. අපේ නෑදෑවෙන පොඩි දරුවෝ ටික වටකරගෙන විජේ ඉතින් කැට ගහනවා.
ගිය අවුරුද්දේ සිංහල අලුත් අවුරුද්ද විජයගේ අන්තිම අවුරුද්ද කියලා හිතපු නැති දේවිකාට ඒ අවුරුද්දත් අමතක නෑනේ?
ගිය අවුුරුද්දේ දුව අපි එක්ක ලංකාවේ හිටියා. මෙතෙක් කාලයක් විජේ එක්ක ගතකරපු හැම සිංහල අලුත් අවුරුද්දක්ම හරිම සරුයි. එයා ගෙදර ඉඳිද්දි මේ මුළු ගේම පිරිලා. ගෙදර ඉඳිද්දිත් ගොඩාක් වෙලාවට විජේ ඔය සින්දුවක් එහෙම මුමුණ මුමුණා තමයි ඉන්නේ. සිංහල කෑම මේසෙ තියන කෑමවලින් ඔය කොකිසක කෑල්ලක් කකා එයා එහාට මෙහාට යනවා. ඒත් දැන් විජේ නෑ. විජේ හිටියේ අපිට මහමෙරක් වගේ. දැන් අපි හුදෙකලාවෙලා. අපි තුන්දෙනාව වටකරගෙන හිටපු ඒ යෝධ වෘක්ෂය අද අපි ළඟ නෑ. අද අපි අතරමංවෙලා. ඒ මුදුන් මුල කැඩුණට පස්සේ තව කියන්න දෙයක් නෑ.