2017 අප්‍රේල් 01 වන සෙනසුරාදා

කාටවත් බෑ කවුරුත් හරියට කියවන්න

 2017 අප්‍රේල් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 116

අපි හිටියෙ සීතලයට ගැහෙමින්, ලෝගුවක් තරම් බරුති -ඝනැති සීත කබායෙන් ඒ හිරිගඩු පිපෙන සීතල මකාගන්න එක මට බොහෝම අමාරු කටයුත්තක් වුණා.

අපි කාමරයට යමු... මාව සීතලට මැරෙන්න තරම්.
සීතල මාර ෂෝක්... මම නම් ආසයි සීතලේ වෙවුල වෙවුලා ඉන්න....
අනේ බෑ ජානා අපි යමු කාමරයට.
පිස්සු නැතුව ඉන්න අපි ආවෙ අවිදින්නනේ... අපි රෑ වෙනකම් පාර්ක් එකේ ඉමු.
වැව අසබඩ සුන්දර උද්‍යානය ඒ වසන්තයේ උදාවත් සමඟ මලින් පීරී ගොස් තිබුණා. වැඩිපුරම තිබුණෙ පාට පාට ලොකු රෝස මල්. ඒ ලොකු රෝස මල් දෙපස සිටුවා පටු මාර්ග නිර්මාණය වෙනසේ සකස් කළ උද්‍යානය ඒ හැන්දෑවේදී මිනිසුන්ගෙන් පිරී ගොස් තිබුණා.

මගේ මතකය මොහොතකින් ඇදී ගියේ අතීතයේ මතක අස්සට. ඒ මම ආදේශ් සමඟ සතුටින්ම ගෙවපු කාලය... අපි දවසක් ගියා විශාල උද්‍යානයකට. ඒක මට හිතාගන්න බැරිතරම් විශාල උද්‍යානයක්. එක පැත්තක මහා වනස්පතීන්. තවත් පැත්තක ලස්සන කුරුල්ලන් සමනළයන්. ඒ අස්සෙ කෘත්‍රිම දියඇලි. තව පැත්තක පාට පාට මල් පිපුණු තැන්. මම එදා ඒ උද්‍යානයේ හැමතනම ඇවිද්දෙ පිස්සුවෙන් වගේ. පැය ගණනක් මම එදා ඒ උද්‍යානය පුරාම ඇවිද්දා. අපි හිටියෙ කොයි තරම් සතුටකින්ද එදා.... ජානා සතුටින් උද්‍යානයේ චමත්කාරය විඳිද්දී මම හිටියෙ ඒ අතීතයේ.
මේ ලෝකෙ ජීවත් වෙන්න... ඔයා හැමතිස්සෙම ඉන්නෙ මොකක්දෝ අමුතු ලෝකෙක.
ඒ ඔයා හිතන විදිහ.

නෑ දුල්යානා... ජීවිතේ ළඟින් ඉන්න අයට පුළුවන් අපිව කියවන්න.
මිනිස්සු අනුන්ගෙ හිත් කියවන්නෙ වැරදියට.... කාටවත් බෑ කවුරුත් හරියට කියවන්න.
ඇයි උඹ මේ ලෝකෙ හැමෝම අවිශ්වාස කරන්නෙ?
මම ජීවිතෙන් ඉගෙන ගත්තු දේ තමා ඒ.
අඩුම ගානෙ මමවත් ඔයාට විශ්වාස නැද්ද?
දන් නෑ... ඒත් ජානා මම උඹට හරි ආදරෙයි.
විශ්වාස නොකරන එකෙකුට අපි මොකටද ආදරේ කරන්නෙ?
අපිට ආදරේ නොකරන අයටත් අපි ආදරේ කරන්නෙ එහෙනම්.
අනේ මන්දා....
ඇයි?
මට ඇත්තටම උඹ තේරැම් ගන්න හරි අමාරුයි දුල්යානා.
උඹ මාව තේරැම් නොගත්තට කමක්නෑ... ඒත් මේ යාළුකමින් හැමදාම මගේ ළඟ හිටපන්.

කිසිදෙයක් ගැන කාටවත් අපි පොරොන්දු දෙන්නෙ කොහොමද දුල්යානා... කවුද දන්නෙ හෙට මොනවා වෙයිද කියලා?
ඒක දෙවියන් වහන්සේගේ කැමැත්ත.
කෙහෙම්මල....
ඇයි උඹ එහෙම කීවෙ?
ඇයි බං හැමතිස්සෙම ඇහැට නොපෙනෙන දෙවියෙක් ගැන කියවන්නෙ?
මම වෙලාවකට දෙවියන් වහන්සේ විශ්වාස කරන හින්දා.
ඒ කියන්නෙ තව වෙලාවකට අවිශ්වාසයි... උඹ හරි දුර්වලයි දුල්යානා... ඒකයි උඹ දෙවියන්ගෙ එල්ලෙන්නේ.
අපි කවුරුත් දෙවියන් මත්තෙ එල්ලෙන වෙලාවක් එනවා ජානා. අපි කතාවෙන් කතාව ආවෙ ගඟ ඉස්මත්තට.
මොකෝ කියන්නෙ නැවේ යමුද රවුමක්...
බෑ තවත් සීතල වැඩියෙන් දැනෙයි.