ගැහැනියකගේ ප්‍රේමය වෙනුවෙන්, දේව නීතිය උල්ලංඝණය කළ පූජකවරයෙකුගේ සත්‍ය කතාව ලියා අධ්‍යක්ෂණය කළ චන්ද්‍රන් රත්නම් පවසන්නේ මෙම තිර පිටපත ඔහු අතින් ලියැවුණු වසර 25කට පමණ පෙර බවය.
ශ්‍රී ලාංකික සිනමා ඉතිහාසයේ මුල්ම වතාවට තමයි මේ රටේ නිපදවූ සිංහල හා ඉංග්‍රීසි සිනමා පට දෙකක් එකම දවසෙ ප්‍රදර්ශනය වෙන්නෙ. ඉංග්‍රීසියෙන් තැනුණු මේ චිත්‍රපටය සිංහළෙන් හඬ කවා තිබෙනවා. මේ ආන්දෝලනාත්මක කතාවට පසුබිම් වෙන්නෙ ප්‍රොතෙස්තන්ත (Protestant) පූජකවරයෙකු වූ මැතිව් පීරිස් පියතුමාගේ නඩුව සම්බන්ධ කතාවයි. පූජකතුමා හා ඔහුගේ අනියම් බිරිය ඩැල්ජීන් දෙදෙනාටම උසාවියෙන් මරණ දඬුවම නියම වුණා. මේ කතාව කියන්නට කලින් මට වැදගත් දෙයක් කියන්න තියෙනවා. මමත් ප්‍රොතෙස්තන්ත පල්ලියට අයත් කෙනෙක්. මේකෙන් කිසිම ආගමකට හෝ පල්ලියකට අපකීර්තියක් හෝ අසීරුතාවයකට පත් කරන්න මගේ හිතේ අදහසක් තිබුණේ නෑ. මේක තවත් එක් මිනිසෙකුගේ කතාවක් පමණයි.
මේ චිත්‍රපටය හදන්නට හේතු වූ පසුබිම් කතාව අපට කියන්න?
මැතිව් පීරිස් පියතුමාට තිබුණා පුදුමාකාර ආකර්ෂණයක්. ඔහු තැනකට ඇතුළු වුණාම හැමෝගෙම ඇස් යොමු වුණේ ඔහු දෙසට. අවසන් වරට මට මතකයි ඔහු අපේ අම්මගේ අවමංගල්‍යයට සම්බන්ධ දේව මෙහෙය පැවැත්වුවා. මම ඉන් පස්සේ අමෙරිකාවට ගිහින් වසර ගණනාවක් එහි පදිංචි වෙලා හිටියා. දවසක් මගේ පියා මට කතා කරලා කිව්වා මැතිව් පීරිස් පියතුමා තරුණ හදවත් රෝගියෙක් අරන් අමෙරිකාවට එනවා කියලා. මම ඔවුන්ට නවාතැන් සැපයුවා. මම කියන්න ගියේ මැතිව් පීරිස්ගෙ එවැනි සානුකම්පිත හොඳ පැත්තක් තිබුණා. ඔහුගේ අනිත් පැති ගැන අවංකවම මම දැනගෙන හිටියෙ නැහැ. මම රේඛීය නිෂ්පාදකවරයෙක් හැටියට ඕස්ට්‍රේලියානු සමාගමට සම්බන්ධව චිත්‍රපටයකට දායක වුණා. ඒ චිත්‍රපටයට පසුබිම් වුණේ ඉන්දුනීසියාවේ දුරුණු මිනීමරුවෙකු වූ චාල්ස් ශොබ්රාජ්ගේ කතාව. අපට වැලිකඩ බන්ධනාගාරයෙත් රූගත කිරීමක් තිබුණා. එදා මට වැලිකඩ බන්ධනාගාරයේදී මැතිව් පීරිස් පියතුමා මුණගැසුණා.
ඔහු සිරගත කළ හේතුව ඔබ දැනගෙන හිටියද?
ඔහුට හා ඔහුගේ අනියම් බිරියට මිනීමැරුම් චෝදනා එල්ල වී තිබුණා. ඒවාට වැරදිකරුවන් වීමෙන් දෙදෙනාටම මරණ දඬුවම නියම වෙලයි තිබුණෙ.
මැතිව් පීරිස් පියතුමා මොනවද ඔබට කිව්වෙ?
මම ඔහුට කිව්වා ඉන්දුනීසියානු අපරාධකරුවෙකුගේ කතාවක් තමයි අපි චිත්‍රපටයට නඟන්නෙ කියලා. ඔහු මට කිව්වා ඔහුගේ කතාවත් චිත්‍රපටයට නඟන්න කියලා. ඒ ගැන වැඩිදුර කතා කරන්න පස්සෙ දවසක මම ඔහුව හමුවෙන්න බන්ධනාගාරයට ගියා. බන්ධනාගාරය තුළ ඔහුට තිබුණෙ දැඩි ගෞරවයක්. බන්ධනාගාර ක්‍රිකට් කණ්ඩායමේ නායකයා හැටියට එවකට ඔහු කටයුතු කළා. ඔහුගේ කතාව සැකෙවින් කියා ඉතුරු ටික මට හොයාගෙන, දළ තිරපිටපතක් අරන් ඇවිත් ඔහුට පෙන්නන්න කිව්වා. මම සති කීපයකට පස්සෙ ඒ පිටපතත් රැගෙන ඔහුට යළිත් මුණගැහුණා. මාව නිවැරදිකරුවෙක් හැටියට කතාවෙන් ඉස්මතු කරනවා නේද කියලා ඔහු මගෙන් ඇහුවා. මම කිව්වා පියතුමා වැරදිකරුවෙකු ලෙස උසාවියෙන් තීරණය කරලා මරණ දඬුවමට ලක්වුණු කෙනෙක් නේද කියලා. ඔහු කව්වා ළඟදීම අභියාචනයක් ඉදිරිපත් කරනවා, ඒකෙන් ඔහුට නිදහස ලැබෙයි කියලා. කතාවෙ අවසානය විවෘතව තබන ලෙසත් මට කිව්වා.
ඔහුගේ චරිතය නිරෑපණය කරන්න නළුවෙක් ගැන අදහසක් තිබුණෙ නැද්ද?
ඇයි නැත්තෙ මැතිව් පීරිස් පියතුමා ඒ ප්‍රශ්නෙ මගෙන් ඇහුවා. මම කිව්වා ඉතිං මේ වගේ චරිතයක් කරන්නම හිතන්නෙ එකම සුදුස්සා ගාමිණී ෆොන්සේකා තමයි කියලා. ඔහු එක පාරටම කලබල වෙලා ඒ අදහසට විරුද්ධ වුණා. එපා... ඒ චරිතය කරන්නෙ මම ඔහු කිව්වා. මම ඇහුවා ඒත් පියතුමා ඔබ ඉන්නෙ හිරගෙදර නේද කියලා. ඔහු කිව්වා ඇපෑලෙන් පස්සෙ නිදහස් වුණාම ඒක කරන්නෙ කියලා. ඔහුට නිදහස ලැබෙන බව විශ්වාසද කියලා ඇහුවම ඔහුට එක පාරටම කේන්ති ගියා. එදා ඔහු කේන්තියෙන් කියූ වචන ටික මට අද වගේ මතකයි.
චන්ද්‍රන් මම විෂකුරැ ගෝනුස්සෙක් වගේ කෙනෙක්. මට විරුද්ධ වන ඕනෑම කෙනෙකුට දෂ්ඨ කරන්න මම පැකිලෙන්නෙ නැහැ ඔහු කිව්වෙ කේන්තියෙන් පුපුරමින්. මම ඕනෑම අභියෝගයක් බාර ගන්න බය නොවන කෙනෙක්. ඒත් දෑසට නොපෙනන අදෘශ්‍යමාන, අද්භූත දේවල් වලට මට තියෙන්නේ පුදුමාකාර බයක්. එදායින් පස්සෙ ඔහුට තිබුණ මගෙ ළෙන්ගතුකම හා ගෞරවය, බියකට පෙරළුණා. අර ඇපෑලෙන් පස්සෙ ඩැල්රීන්ට නොසිතූ විරූ ලෙස නිදහස ලැබුණා. මැතිව් පීරිස් පියතුමාගේ මරණ දණ්ඩනය ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් ලෙස ලිහිල් කෙරුණා. ඉන් පසු මට ඔහු හමුවූ විටෙක, චිත්‍රපටය ගැන ඒ හැටි උනන්දුවක් ඔහුගෙන් දිස් වුණේ නැහැ. මට කීයක් හරි ගෙවලා ඔයා චිත්‍රපටය කරන්න කියලයි මට කිව්වේ.
චිත්‍රපටයට ඇල්ස්ටන් හා ජැකලීන් සම්බන්ධ වෙන්නෙ කොහොමද?
මේ ගැන මම දවසක් ඇල්ස්ටන්ට කිව්වම ඔහු මේ නිර්මාණය කරන්න දිරිමත් කළා. ඇල්ස්ටන් ගායකයෙක්. මේ තමයි ඔහුගේ මුල්ම රංගන අත්දැකීම. ඔහු ඔහුගේ කාර්ය මනාව ඉටු කළා. ජැක්ලීන් මේ චිත්‍රපටයට සම්බන්ධ කරගන්න යෝජනා කළෙත් ඇල්ස්ටන් මයි. දැඩි කාර්ය බහුලත්වය මධ්‍යයේ වුවද ජැක්ලීන් ඩැල්රීන්ගේ චරිතයට විශාල සාධාරණයක් ඉෂ්ඨ කළා.
Text – Ramesh Uvais