අලුත් අම්මගේ අලුත් බබාගේ නම මොකක්ද?
අනේ.. තාම අපි පුතාට නමක් දැම්මේ නැහැනේ. තව දවස් දෙක තුනකින් තමයි එයාට නමක් දාන්නේ. හැමෝම දැන් අහන්නේ මේ පැටියගේ නම මොකක්ද කියලා තමයි. ලස්සන නමක් දාන්නත් ඕනේ නිසා අපි තාම නම ගැන හිතනවා.
ඇත්ත කියන්න පුතා අම්මා වගේද? තාත්තා වගේද?
ඇත්ත කිව්වොත් පුතා එයාගේ තාත්තා වගේ. එහෙම කිව්වම හසන්ජිත්ට හරි සතුටුයි. පුතා දැකපු ගමන් මට ඒක හොදට හිතුණා. පුතා එයාගේ තාත්තා වගේ කියලා. හැබැයි සමහර අය මගේ හිත හැදෙන්නත් එක්ක කියනවා පුතා ගයේෂා වගේ කියලා. හැබැයි ඇත්ත කතාව ඒක නෙවේ.
පුතාව මුලින්ම දැකපු වෙලාවේ වචනවලින් විස්තර කරන්න බැරි ඒ සතුට දැන් පොඩ්ඩක් වචනවලට හැරෙව්වොත්?
ඇත්තමයි... ඒ වෙලාවේ මට හෝ ගාලා අඬුණා. අම්මා කෙනෙක් වෙන සතුට දැන් මට වචනවලට පෙරළන්න තේරෙන්නේ නෑ. ඒත් හසන්ජිත් මාත් එක්ක මගේ ළඟටවෙලා හිටියා. ඒක මට ලොකු හයියක්.
ගයේෂාට ඕනවුණේ සාමාන්‍ය දරු උපතක් එක්ක දරුවා බිහිකරන්න. එහෙම නේද?
ඔව්... දරුවා මගේ කුසට ආවත් එක්කම මට ඕනේ වුණේ මගේ දරුවා සිසෙරියන් සැත්කමකින් තොරව සාමාන්‍ය දරු උපතකින් මේ ලෝකයට බිහි කරන්න. ඒක මම අපේ වෛද්‍යවරුන්ටත් කිව්වා. කොහොම හරි මට මගේ දරු පැටියව සාමාන්‍ය දරු උපතකින් මේ ලෝකෙට බිහි කරන්න වාසනාව ලැබුණා. අම්මා කෙනෙක් දරුවෙකු බිහි කරද්දී විඳින හැම සුන්දර අත්දැකීමක්ම පුතා නිසා එදා මට විඳින්න පුළුවන් වුණා.
පුතා ගෙදරට ගෙනාපු දවසෙම ආයෙත් පුතාව රෝහලට අරගෙනයන්න සිද්ධ වුණා නේද?
අනේ ඔව්. පුතාව ගෙදර ගෙනාපු රෑ පුතාව කසනවා පලු දානවා වගේ දැනුණා. එයා හිටියෙ ටිකක් අපහසුවකින් වගේ. ඉතින් අපි දෙන්නා ගොඩක් බය වුණා. අපිට ඒවා නුහුරුයිනේ. අපි හිතුවේ මොකක් හරි ඇලජික් එකක් තියනවද කියලා. ඒ නිසා අපි ආයෙමත් හොස්පිටල් එකට අරගෙන ගියා. ඒ වුණාට ඒක සාමාන්‍ය දෙයක් කියලා ආයේ පුතාව හොඳට බලලා ඩොක්ටර්ස්ලා පුතාව ගෙදර ගේන්න දුන්නා.
පුතා ඉපදෙන්න හිටපු මුල් දවස්වල ගයේෂාට ඔය පුංචි පුංචි අපහසුතා ඇතිවුණේ නැද්ද?
දෙයියන්ගේ පිහිටෙන් එහෙම කිසිම අමාරුවක් තිබුණේ නෑ. සමහර අයට වගේ උදේට කැරකැවිල්ල, වමනේ යන දේවල් එහෙමත් තිබුණේ නෑ. කොහොම හරි පුතා ලැබෙන්න මාස පහමාරක් වගේ කාලය වනතුරු මම ටෙලි නාට්‍යයක ෂූටිං පවා කළා.
එතකොට ආසාවෙන් හිටපු දොලදුක මොනවද? කන්න ආස වුණේ මොනවද?
පුතා ලැබෙන්න ඉඳිද්දී මම ඉදුණු අඹ කන්නයි, වරකා කන්නයි හරි ආසවුණා. හන්ජිත්ගේ වැඩේම මට ඉතින් අඹ ගෙනත් දෙන එක තමයි. හැම වෙලේම මොනවද ඕනේ කිය කියා අහලා මට ඕන හැම දෙයක්ම ඉල්ලන පමාවෙන් හසන්ජිත් මට ගෙනත් දුන්නා.
ගයේෂා ආසාවෙන් හිටියේ දුවෙක්ට නේද?
අනේ.. එහෙම එකක් නෑ. දුවෙක් වුණත් පුතෙක් වුණත් මේ අපේ දරුවනේ. අනික මේ අපේ පළවෙනි දරැවනේ. කවදාහරි දැන් පුතාට පවුලක වගකීමක් තියෙනවනේ නේද? පුතා තමයි දැන් මගෙයි හසන්ජිත්ගෙයි ලෝකේ.
පුතා නිසා දැන් ගයේෂාට විවේකයක් ඇත්තමෙ නැතිතරම්
ඔව්.. දැන් එයා තමයි මගේ ලොකේ. පුතා රෑට පැය දෙකින් දෙකට වගේ ඇහැරෙනවා. එයා තම චූටියිනේ. කිරි දුන්නම ඒක බීලා ආයේ නිදියනවා. එහෙම නැතිව ලොකු කරදරයක් කරන්නේ නෑ. දවල්ට එයා නිදාගත්තම තමයි මම හැම වැඩක්ම කරන්නේ. එයා ඇහැරිලා ඉන්න වෙලාවට මම ෆෝන් එකක්වත් ආන්සර් කරන්නේ නෑ. එයාට ඇහැගහගෙනමයි මම ඉන්නේ.
දැන් දරුවගේ වැඩ ටික ඔක්කොම කෙරන්නේ ගයේෂාමද?
අනේ ඔව්. ඒ ගොඩක් වැඩ මම තමයි කරන්නේ. පුතාව ලැබුණට පස්සේ හොස්පිටල් එකෙන් පුතාව නාවන විදිහ එහෙම හැම දෙයක්ම කියලා දුන්නා. මම ඒ හැම දෙයක්ම හොඳට බලාගෙන හිටියා. දැන් පුතාව නාවන ඒවා හැම දෙයක්ම කෙරෙන්නේ මගේ අතින්. මම දැන් ඒවා ටිකින් ටික පුරුදු වෙලයි ඉන්නේ. මුල් දවස්වලනම් කළේ හරිම බයෙන්. පුතා චූටි නිසා. දැන් නම් ඉතින් චුට්ටක් ඉස්සරට වඩා හුරුයි.
මව් පදවිය නිසා කලා කටයුතුවලින් ගයේෂා ඈත් වෙයිද?
හ්ම්ම්... නෑ... එහෙම වෙන එකක් නෑ. හැබැයි පුතා චූටි නිසා මම එයා ගාවම ටික කාලයක් ඉන්න ඕනේ. ඒ නිසා මේ කාලය තුළදී නම් හැම කටයුත්තකටම මම දායක වෙන්නේ නම් නැතිවෙයි. ටික කාලයකට පස්සේ බොහෝ දුරට ආයෙත් මම කලා කටයුතුවලට දායක වෙනවා.
හසන්ජිත් පුතාගේ වැඩවලට උදව් කරනවාද?
අනේ ඔව්. පුතා අහැරෙද්දිම සමහර වෙලාවට මහන්සියටම නින්ද ගිහින්. ඒ වෙලාවට පුතාව නිදිකරවන්න හදන්නේ හසන්ජිත්. එයා ගෙදර එන්නේ පුතා ළඟටම වෙලා ඉන්නයි. ඉතින් පුතා ළඟට වෙලා පුතා දඟලන විදිහට ඇස්පිල්ලන් ගහන විදිහ හසන්ජිත් හිනාවෙවි බලාන ඉන්නවා. පුතා තම චූටි වුණාට තාත්තා දිහා බලාගෙන ඉන්නවා. හරියට අඳුරනවා වගේ. ඇත්තමයි හසන්ජිත් හොඳ තාත්තා කෙනෙක්. අපි දෙන්නගේ ලෝකෙට සතුට ගෙනාව අපේ පුංචි පුතාට මම හරි ආදරෙයි.
Text — Dishani