කලා අධ්‍යක්ෂකගෙ නිවෙස තහනම් ප්‍රදේශයක්
එක්තරා කාලෙක එක්තරා කලා අධ්‍යක්ෂකවරයෙකු ගැන අහපු එක්තරා අපූරු කතාවක් තමයි දැන් කියන්න යන්නේ. ළඟදි ජනගත කෙරුණු පොතක මේ සිද්ධිය සඳහන්වෙලා තිබුණු නිසා ඒ මතකය අලුත් වුණා.
මොහු වැඩ කළ චිත්‍රපට අතර විදෙස් චිත්‍රපටත් තිබුණලු. මීට වසර ගණනාවකට පෙර ඔහුට නිවසක් මිලදී ගැනීමේ දැඩි වුවමනාවක් තිබ්බට, ඒ සඳහා මුදල් තිබිලා නැහැ. ඔහු වැඩ කළ චිත්‍රපට නිෂ්පාදන සමාගමේ ලොක්කට කියලා ඔහුගෙන් ලැබුණු මුදලින් ගේ මිලදී ගත්තලු.
ඒත් ලොක්කටවත්, ඔහුගේ සගයන්ටවත් මේ අලුත් ගෙදරට එන්න ආරාධනා කරලම නැහැලු. හේතුව හොයන්න අවුරුදු ගාණක් ගියාලු. ඔහු වැඩ කරපු හැම චිත්‍රපටයක් සඳහා නිර්මාණය කළ කලා අධ්‍යක්ෂණයට අවශ්‍ය PROPS සියල්ල ඔහුගේ නිවසේ සිහිවටන ලෙස ගේ පුරාම තියෙනවලු.
ගාමිණී රසික රසිකාවියන්ට පොල්ලක්
අපේ රටේ බිහිවුණු අග්‍රගණ්‍ය සිනමා රංගන ශිල්පියෙකු හා අධ්‍යක්ෂකවරයෙකු වූ ගාමිණී ෆොන්සේකාගේ 81 වැනි ජන්ම සංවත්සරය මෑතකදී යෙදී තිබුණා.
ඔහුගේ මතකය ආවර්ජනය කිරීම සඳහා විශේෂ වැඩසටහනක් රාජ්‍ය රූපවාහිනී නාලිකාවක ප්‍රචාරය කරන්න සියල්ල සූදානම් කර තිබුණා. පුවත්පත්වලින් ඒ වැඩසටහන් ගැන ජනතාව දැනුම්වත් කර තිබුණා.
ඒ නාලිකාවේ වැඩසටහන පිළිබඳ පූර්ව ප්‍රචාරක පටද විකාශය වුණා. ඒත් සිනමා සක්විති පිළිබඳ තැනූ එම වැඩසටහන නැරඹීමට පුංචි තිරය ඉදිරියේ අසුන්ගත් ගාමිණී ෆොන්සේකා රසික රසිකාවියන් අත්දුටුවේ අදහාගත නොහැකි දෙයකි.
වෙනත් සක්විත්තෙක් එම වැඩසටහන වෙනස් කරලා.
12ට පහයි
බැලූ බැල්මට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක ක්‍රිකට් තරගයක ලකුණු පුවරුවකින් උපුටා ගත් දෙයක් කියලා.
නැහැ, මේක මේ රටේ ඉහළම නිලය දරන රාජ්‍ය නායකයා සහභාගී වීමට නියමිත, වසර අටකට පස්සෙ පවත්වන ජනාධිපති සිනමා සම්මාන උළෙල ගැන මාධ්‍ය දැනුම්වත් කිරීම සඳහා සංවිධානය කර තිබුණ මාධ්‍ය හමුවක් ගැන කියන කතන්දරයක්.
මාධ්‍යවේදීන් ඇමතීම සඳහා ප්‍රධාන මේසයේ අසුන්ගෙන සිටි සංඛ්‍යාව 12යි. පැමිණ සිටි (ආරාධනා කර තිබූ) මාධ්‍යවේදීන්ගේ සංඛ්‍යාව 5 යි.
මේවට වගකිවයුත්තන් වහාම සොයා බැලිය යුතු නොවන්නේද? සිනමාව, කලාව නඟාසිටුවීම වෙනුවෙන් පෙනී සිටින ඉහළ නිලතල දරන නිලධාරීන්, සැබවින්ම කරන්නේ තම පුටු ආරක්ෂා කරගනිමින් මේ රටේ නායකයන් නොමඟ යවන එක නොවේද?
කුමාර ලීලාවෙන් තියන පොලු
අද කාලෙ ඕනෙම කෙනෙක් පිටතින් මනින්න බැහැනෙ. මොන ක්‍ෂේත්‍රයක හිටියත් මිනිස්සු ගැන හරියටම තේරුම් ගන්නව කියන එක එසේ මෙසේ වැඩක් නෙවෙයි.
බොහෝමයක් අහිංසක මිනිස්සු එක එක මිනිස්සුන්ගෙ හොරමගඩි උගුල්වලට අහුවෙන්නෙ මේ වෙනස තේරුම් ගන්න බැරි හින්දනෙ. සමහර ජනප්‍රිය කට්ටිය ඔවුන්ගෙ ජනප්‍රියත්වය පාවිච්චි කරනවා අනුන්ට පොලු තියන්න.
ඔන්න මෑතකදී එහෙම සිද්ධියකට මූණ දීලා තියෙනවා ලංකාවෙ නමක් තියෙන තරැණ කලා ශිල්පියෙක්.
එක්තරා ප්‍රවීණ කලාකරුවෙක් (එක්තරා කාලෙක ජනප්‍රියව සිටි) ඔහුගේ ප්‍රසංගයක් සඳහා අර තරුණ ශිල්පියා නර්තනය පැත්තෙන් සම්බන්ධ කරගෙන. ගණන් හිලව් එහෙමත් බොහොම අඩුවට කතා කරගෙන. ඒත් හොඳ වැඩක් කිරීමේ පිපාසාවෙන් ඉන්න තරැණ කලා ශිල්පියා මුල් තැන දුන්නෙ නිර්මාණවලට. නර්තන ශිල්පිණියන්ට අදාල ඇඳුම් ටික මහගන්න රෙදිවලට සල්ලි දෙනවා කියලා පුදුම විදිහට මේ තරුණ ශිල්පියා රස්තියාදු කරවලා. බැරිම තැන මේ ශිල්පියා ඔහුගේ මුදලින් හා ණය තුරුස් වෙලා වැඩේ කරගෙන.
මල්ලී බය නැතුව ඒ වැඩටික කරන්න. ෂෝ එක ඉවර වුණු ගමන් ඔයාගෙ සල්ලි දෙනවා, අර ප්‍රවීණයා කියලා.
ෂෝ එකෙන් පස්සෙ සතපහක් දීලා නැහැලු. නටපු ළමයින්ට සල්ලි ගෙවලත් නැහැලු. දැන් කතා කළාම ෆෝන් එක උස්සන්නෙත් නැහැලු. හැබැයි ප්‍රසංගයේ ටිකට් සියල්ල විකිණිලා.
අපට ඕනෙ රට නැටුම්
එක්තරා රටකින් ලොව සුප්‍රසිද්ධ නර්තන කණ්ඩායමක් ලංකාවට පසුගිය දවසක ආවෙ රජයේ සාමය, සමඟිය හා සහජීවනය වැඩසටහන්වලට රුකුලක් දීම සඳහාය.
ඒ නර්තන ප්‍රසංගයට තේමා වුණේ බෞද්ධ ශිෂ්ටාචාරය හා ඒ තුළින් මනසට ලබාගත හැකි සාමය හා සැහැල්ලුව ගැනය. රජයේ සංස්කෘතිය භාරව ඉන්න කට්ටියක් තමයි මේ ගොල්ලන්ගේ සියලු වැඩකටයුතු සම්බන්ධීකරණය කළේ.
මේ කණ්ඩායම ලංකාවට ඇවිත් අර සම්බන්ධීකරණ කට්ටිය එක්ක මුල්ම හමුවීමේදී ඇති වුණු කතා බහෙන් අර විදෙස් කට්ටිය පුදුමයට පත් වුණාලු.
මොනවද ඉතිං ඕගොල්ලෝ ලංකාවෙ ඉදිරිපත් කරන වැඩසටහන? එක් නිලධාරියෙක් ඇහුවලු.
බෞද්ධ ශිෂ්ටාචාරය පාදක කොටගෙන මේ නර්තන ප්‍රසංග මාලාව කරන්නෙ භරත නාට්‍ය සම්ප්‍රදාය ඇසුරු කරගෙනද, විදෙස් කණ්ඩායමේ නායකයා කිව්වලු.
අපෝ අපට ඒවායින් වැඩක් නෑ. අපි ඉතිං ඕවා හැමදාම දකිනවා. අපි ආවේ ඕගොල්ලන්ගේ රටට ආවේණික නර්තන අංග බලන්න.
ඉතිං කොහොමද ඒක කරන්නෙ. අපේ රටට ආවේණික නර්තන සම්ප්‍රදායක් නැහැනෙ.
අයියෝ ඇත්තද?
විවාහකයින්ට අදාළ නැති මෝඩයින්ගේ දිනය
පසුගිය දවසක යෙදුණු අප්‍රේල් පළවෙනිදා නොහොත් මෝඩයින්ගේ දිනය ගැන නොයෙක් කතා අහලා තියෙනවා, කියලා තියෙනවා.
මේ අවුරුද්දෙ මෝඩයින්ගේ දිනයේ උදෙන්ම මුණු පොතේ දුටු දසුනකින් කවුරුත් මොහොතකට කැළඹුණා. අපේ ජනප්‍රිය රංගන ශිල්පී දොන් ගයි සුදු ඇඳුමින් සැරසී මිනී පෙට්ටියක නිසොල්මන්ම නිදාසිටි දර්ශනයට කවුරුත් නිවන් සැප ලැබේවා, සමාදානයේ සැතපේවා කියලා comment දාලත් තිබුණා. හදිස්සියේ දොන් ගයිට සිද්ධ වුණු දේ කාටත් අදහාගන්නට බැරි වුණා. කොහොම හරි පැය කීපයක් යද්දී එය මෝඩයින්ගේ දිනය වෙනුවෙන් අපිව අන්දවන්න ඔහු සුදු ඇඳුමක් ඇඳගෙන තිබෙන බව තහවුරු වුණා.
ඒ අතර තිබුණ තවත් මෝඩයින්ගේ දිනයට අදාළ post එකක් කාගෙත් මුවඟට සිනාවක් මතු කරන්න සමත් වුණා.
මෝඩයින්ගේ දිනය සමරන්නේ තනිකඩයින් පමණි. එය විවාහකයින්ට අදාල නැත. හේතුව, විවාහකයින්ට සැමරීම සඳහා ඔවුන්ගේ විවාහ සංවත්සරය තිබෙනවා.