2017 අප්‍රේල් 08 වන සෙනසුරාදා

දුල්යානා - ලොකු ඇපල්.. මට නිකම් පිස්සු වගේ..

 2017 අප්‍රේල් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 145

නැගිටපන් ඉතින්.... මම ඊයෙ ගත්තු ස්ටෝබරිවලට චොක්ලට් දාලා රස බීමක් හදන්නයි යන්නෙ...
අයියෝ තාම නිදිමතයි... ම්.. කීයද වෙලාව? 

හතරටත් කිට්ටුයි... මෙහෙ තව ටික වේලාවකින් මීදුම් ගලනවා... එතකොට අර පේන කඳු එකක්වත් පේන්නෙ නෑ....මට ආසයි මීදුම් වැටෙන වෙලාවෙ එළියෙ ඇවිදින්න 

මාත් ආසයි.. අපි යමුද පාක් එක පැත්තෙ ඇවිදින්න.... රූ වෙද්දි ඔරු පදින්න පුළුවන් 

ආ.. නියමයි ඒත් සීතල...

මම වෙවුලන සීතලට මාර ආසයි 

උඹටනම් ඇත්තටම පිස්සු දුල්යානා 

මම දනිපනියේ ඇඳෙන් බැස්සෙ එළියෙ ඇවිදින්න යන්න. දවස් හතරෙ අපේ කෙටි නිවාඩුව හරිම සුන්දර විදිහට ගෙවී යමින් තිබුණා. මම උණුවතුරෙන් ඇඟ සෝදාගෙන එද්දී ඇය කදිමට චොක්ලට් යෙදූ ස්ටෝබරි පානය සකස් කර තිබුණා. 

බොන්න....

මම තද රෝස පැහැති ස්ටෝබරි යුෂ වීදුරුවත් රැගෙන කාමරයේ ජනේලය අද්දරට ගියා... මිනිස්සු පාරේ ගමන් කළේ සීත කාලයට අඳින ගත උණුසුම් කරන කබා ඇඳගෙන. හිස් වැසුම් පැළඳගෙන.. සීත කාලය දරාගත නොහැකි ග්‍රීෂ්ම සෘතුවට වඩා බොහෝ වෙනස් ප්‍රියදායි හැඟීමක් හිතට එක්කර තිබුණා. සීත කාලයේ සුළඟ පවා තද සීතලක් ගත්තා..

කෝ ඉක්මන් කරන්න ඉතින්.. ජානා එහෙම කීවේ හැඳ සිටි ඩෙනිම් කලිසමට හා ටී ෂටයට උඩින් රතු පැහැ සීත කබාය දා ගන්න ගමන්. ස්ටෝබරි වීදුරුව එක හුස්මට බීව මම ඇය හැඳ සිටි ආකාරයේම ඇඳුමකින් සැරසුණා 

ටැක්සියක යමු නේද? 

අනේ පයින් යමු.. පාක් එකට පොඩි දුරයිනෙ තියෙන්නෙ.. මම ආසයි ජෑම් ගස් යටින් ඇවිදගෙන යන්න.. පයින් යද්දී දෙපැත්තෙ ලොකු ඇපල් වතු පේනවා.. ළා කොළ පාට ඇපල් ගස්, තද රතු ඇපල්, රෝස පාට ලොකු ඇපල්.. මට නිකම් පිස්සු වගේ.. ලොකු කූඩයක් ළඟ තියාගෙන ඇපල් කඩාගෙන කඩාගෙන යන්න හිතෙනවා 

අපිත් අපේ ගෙදර වත්තේ ඔය හැම පාටම ඇපල් ගහ ගානෙ ඉන්දවා ගමු 

උඹට ඇපල් හිටවන්ට ගෙයක් තිබ්බට මට ගෙයක් නෑනෙ.. අනේ මන්දා ජානා මගෙ ජීවිතේ මට තියෙන්නෙ හීන විතරයි.. අඩුම තරමේ බලාපොරොත්තුවක් ඇති කරගන්න කියලා දෙයක් නෑ.. කිසිදෙයක් නෑ 

උඹට ජීවිත කාලෙම හරි මගේ ගෙදර ඉන්න පුළුවන් 

මට ඕනෑ මට මගේ කියන්න පුළුවන් ජීවිතයක් ජානා.. මොකද මෙච්චර කල් මම මගේ කරගෙන හිටපු හැමදෙයක්ම අනුන්ගෙ 

අන්න උඹ කියපු ඇපල් වත්තක්..

ජානා ඇපල් වත්ත පෙන්නන ගමන් මගේ අතින් තද කරලා අල්ලා ගත්තා 

අනුන්ගෙද තමන්ගේද කියන එක වැඩක් නෑ ...මට මගේ වගේ දැනෙනවනම් 

නෑ ජානා තමන්ගේම වුණාම දැනෙන හැඟීම ඊට හුඟාක් වෙනස් 

ගෙවිච්ච දවස් අත්හැරලා දාන්න... ජීවිතේ ඉතුරුවෙලා තියෙන දවස් ගැන විතරක්ම හිතන්න 

අපි පැය බාගයක් යන්නත් ඉස්සර උද්‍යානයට ගියා. උද්‍යානයේ වැඩියෙන්ම තිබුණේ සුදු, කහ, තැම්බිලි රතු රෝස මල් 

ලස්සන ලොකු රෝස.. මම ආසම කහ රෝස.. ආසාවේ බෑ 

ජානා මාවත් ඇදගෙන උද්‍යානය මැද්දට දුවගෙන ගියා. වැව පිසගෙන එන සීතල කඩු තුඩු මෙන් වද දෙමින් සිරුර කිති කවද්දී අපි තව තවත් අපේ සිරුරු තුළට ගුලිගැහෙමින් හිටියා.