2017 අප්‍රේල් 08 වන සෙනසුරාදා

කෝවිල් ගිහින් ඇවිත් කෑමවලට වැඩේ දෙනවා...

 2017 අප්‍රේල් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 154

අවුරුද්ද පටන් ගන්න කලින් කොහොමද නෙරංජනීලා ඒකට සූදානම් වෙන්නේ?

ඔයාලා වගේම අපේ ගෙවල්වලත් අවුරුද්දට කලින් ඉඳන්ම ඒකට ලෑස්ති වෙනවා. අපේ ගෙවල්වල රසකැවිලි හදනවා. මුං කැවුම්, අතිරස, ලඩ්ඩු වගේ රසකැවිලි ගොඩාක් හදනවා.  හැබැයි ඒවාවල රසවත් බලන්නේ නෑ. ඉස්සර ගෙදර ඉන්න දවස්වලනම් අම්මලා රසකැවිලි හදලා අරන් තිබ්බට පස්සේ පුංචි අපි ඉතින් හොරෙන් කාපු දවස්නම් ගොඩාක් තිබ්බා. හොරෙන් මුං කැවුමක කෑල්ලක් කනවා. ලඩ්ඩුවක් අරගෙන දුවගෙන ගිහින් අපි හැංගිලා කනවා. හැබැයි ඉතින් දැන්නම් අපි එහෙම නෑ. දැන් රසකැවිලි හදලා ඒක අරන් තියනවා. මුලින්ම දෙවියන්ට පූජා කරලා තමයි අපි කන්නේ. සිංහල මිනිස්සු හදන කොකිස්, ආස්මීනම් අපේ හැදෙන්නේ නෑ. හැබැයි සිංහල මිනිස්සු හදන ගොඩාක් කෑම වර්ග අපිත් හදනවා. ගොඩාක් අය පැණිරස කෑම ජාති තමයි හදන්නේ.

අවුරුදු දවසේ උදෙන්ම මොකද කරන්නේ?

සිංහල මිනිස්සු හිසට තෙල් ගානවා වගේ අපි අවුරුදු දවසේ හිසට තෙල් ගානවා. අප්‍රේල් දාහතර වැනිදා උදේ ගමේ කෝවිලට ගිහින් අපේ තාත්තා හරි අයියලා හරි කෝවිලෙන් හදලා දෙන තෙල් එක අරගෙන එනවා. ගමේ හැමෝම එදා උදේ පාන්දර කෝවිලට එනවා තෙල් ගෙනියන්න. ඉතින් ලොකු පෝලිමක් තමයි එතන තියෙන්නේ. එහෙම ගේන තෙල් එක තාත්තාගේ අතින් තමයි හැමෝගෙම ඔළුවේ ගාන්නේ. එහෙම ගෑවට පස්සෙ අපි නානවා.

ඊටපස්සේ මොකද කරන්නේ?

නාලා පිරිසිදු වුණාට පස්සේ තාත්තාගේ අම්මගේ අතින් තමයි අපිට අවුරුද්දට අඳින ඇඳුම් දෙන්නේ. ඉතින්... ඒක ලැබෙනතාක් ඉස්සර අපි බලාගෙන ඉන්නවා. සමහරදාට නාන කාමරෙන් එළියට දුවගෙන එන්නේ බාගෙට නාගෙන තෙත පිටින්. ඉතින් එහෙම දුන්නම අපි ඇඳගෙන ගොඩාක් වෙලාවක් හැඩවැඩ බලනවා. ඊටපස්සෙ සිංහල ඔයාලා වගේම අපි තාත්තගෙන් ආශීර්වාදයත් එක්ක සල්ලි ලබාගන්නවා. එතකොට අපි විශ්වාස කරනවා තාත්තාගේ වැඩිහිටියන්ගේ ආශීර්වාදයත් එක්ක අපිට ඒ අවුරුද්දම සරුවෙනවා කියලා. 

එතකොට ඔයාලා ගෙදර කිරි උතුරවන්නේ නැද්ද..?

අපිත් සිංහල මිනිස්සු වගේ ගෙදර කිරි උතුරවනවා. එහෙම කිරි උතුරවලා ගොඩාක් දමිළ ගෙවල්වල පොංගල් බතුත් හදනවා. ඒ හදලා මුලින්ම අපි වේලාසන හදපු රසකැවිලියි, පොංගල් බතුයි වලින් ටික ටික අපේ ගෙදර තියන දේව රෑපවලට පූජා කරනවා. ඊටපස්සේ අපේ ගෙදර හැමෝම රසකැවිලිත් අරගෙන ගමේ කෝවිලට ගිහින් පූජා පවත්වනවා.

දවස් ගාණක් තිස්සේ හදපු රසකැවිලි කන්න ඊටපස්සෙ නෙරංජිලටත් කන්න පුළුවන් නේද?

ඔව්.. කෝවිලට ගිහින් ආවට පස්සේ ඔන්න අපිටත් පුළුවන් අර පරිස්සම් කරපු කෑමවලට වැඩේ දෙන්න. මගේ ගම නුවර. අපේ ගෙවල් වටේම සිංහල මිනිස්සු ඉන්නවා. දමිළ මිනිස්සු ඉන්නවා. ඉතින් අපි අපේ රසකැවිලි පිඟන් අරගෙන සිංහල මිනිස්සුන්ගේ ගෙවල්වල යනවා. එයාලා අපේ ගෙදරට කෑම අරගෙන එනවා. මට ගොඩාක් සිංහල යාළුවෝ ඉන්නවා. මම එයාලගේ ගෙවල්වල යනවා. එයාලා අපේ ගෙවල්වල එනවා.

මොනවද ඔය කට්ටිය එකතුවෙලා කරන සෙල්ලම් එහෙම?

ඉස්සර අපි ලොකු වත්තක ලොකු ඔංචිල්ලාවක් හදනවා. එහෙම හදලා අපි හැමෝම එකතුවෙලා ඔංචිලි පදිනවා. අපි කා අතරත් ජාතිවාදය නෑ. අපි යාළුවෝ හැමෝම එකයි. සිංහල යාළුවෙක් ඔංචිල්ලාවේ තියලා රුකුල් ගන්න තල්ලු කරන්නේ දෙමළ යාළුවෙක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට සිංහල යාළුවෙක්ව තියාගෙන දෙමළ යාළුවෙක් ඔංචිලි පදිනවා. අපි කට්ටිය චක්ගුඩු පනිනවා. ඒ පුංචි කාලේ හරිම ෂෝක්.

නෙරංජනී අවුරුදු කීයක්නම් ගෙදරින් පිට ඉඳලා අවුරුදු සැමරුවද?

අනේ... මෙහෙමයි. මම අවුරුදු හතකින් විතර අම්මලා එක්ක අවුරුදු සමරලා නෑ. පහුගිය හැම අවුරුද්දකම මම හිටියේ කොළඹ. ඉතින්... එක එක චැනල්වල අවුරුදු උත්සව වැඩසටහන් නිසා හැම අවුරුද්දකම අපේ ගෙදර අවුරුදු සමරන්න මිස් වෙනවා. ගෙදර අනිත් හැමෝම එදාට නුවර ගෙදරදී එකතු වෙනවා. හැබැයි මගේ රස්සාවත් එක්ක මට මේ පහුගිය අවුරැදු කීපයකම මොකක් හරි චැනල් එකක වැඩ කරන්න සිද්ධ වෙනවා.

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සමරපු ඒ කාලේ හරි සුන්දරයි කියලා දැෙනනවද..?

අනේ ඔව්... ඒ පුංචි කාලේ ආයේ එනවනම් හරිම ෂෝක්. අම්මලා තෑගි දෙනකන් අපි බලාගෙන ඉන්නේ. ඒ කාලේ නිවාඩුයිනේ. ඉතින් ඒ මාසෙට අපිට අවුරුදු තමයි. අපි මාල දාලා කොණ්ඩෙට මල් දාලා කෝවිල් යනවා. සිංහල යාළුවන්ගෙත් කොණ්ඩවලට සමහරදාට අපි මල් ගහනවා. මට මතකයි මම ඉස්සර පුංචි කාලේ මගේ සිංහල යාළුවෝ එක්ක අවුරුද්දට පන්සල් පවා යනවා. එයාලා අපි එක්ක කෝවිල් යන්න ආවා. අපි සිංහල යාළුවන්ගේ නළලේ මොට්ටු පවා තියනවා. සිංහල අය සමරන විදිහටම අපිත් මේ අවුරුද්ද සමරනවා. පොඩි පොඩි වෙනස්කම් තිබ්බට අපි හැමෝගෙම අවුරුද්ද එකයි. ගමේ අවුරුදු උත්සවයට අපි හැමෝම ගිහින් ඒ තරගවලට සහභාගි වෙනවා. මේ අපි හැමෝගෙම අලුත් අවුරුද්දයි.

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00