2020 ඔක්තෝබර් 03 වන සෙනසුරාදා

හිත නැවතුණ තැන

 2020 ඔක්තෝබර් 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 96

පීනන්න එපා පාවෙන්න... ඕෂෝ කීවා එහෙම... ජීවිතය ගැන අක්ෂර වන්දනාවක යෙදුණු සොඳුරු වන්දනාකරුවෙක් ළඟ නතර වෙච්ච මොහොතක මට ඕෂෝ මතක් වුණා... අද හිත නැවතුණේ ප්‍රේමය නම් අරගෙන ආව කල්පන සහ වින්දන ළඟ... මගේ ආසම ගීතයක් ගතින් ඉන්නට නැතත් ළංවී... සිතින් යන්නට එපා වෙන්වී ගීතය. ඒ ගීතය ලීවේ කුලරත්න ආරියවංශ. කවුරුත් ස්නේහවන්තකමට කුලේ කියලා ආමන්ත්‍රණය කරන ඒ ගී පද රචකයාගේ පුතුන් තමයි රෑකඩ පැංචි සිනමා රූපකාරකයේ අයිතිකාරයෝ දෙන්නා... තාක්ෂණික ධනවාදය (Technological Capitalism) විසින් නිර්මාණය කළ මානව හදගැස්මේ සහ ජීවන යථාර්ථයේ නන්විධ පැතිකඩ විනිවිද දකින්න ගන්න උත්සාහයක් ලෙස මම සිනමාව කියන රූපකාරකය අර්ථකථනය කරන්නම්. ඒ උත්සාහය තුළ යථාර්ථවාදී, අභව්‍ය, අධි යථාර්ථවාදී මේ එක් එක් රීතින් තුළ ජන්ම ලාභය ලබමින් සිනමා කාව්‍ය සාර්ථක අසාර්ථක කියන ද්වාර ඇරගෙන එළියට එද්දී ඒ රූපකාරක විඳින දකින විමසන හෝ ප්‍රතික්ෂේප කරන ප්‍රේක්ෂකයන් අපි නම් හිතෙන දැනෙන ඕනෑම දෙයක් කතා කිරීමේ අයිතිය සහ නිදහසත් අපේමයි.

හදවත ප්‍රකම්පනයට ලක් කළ හැකි සිනමා කෘතියක මම දකින ප්‍රබලම කාරණයක්  තමයි එය දෙබස්වලින් පිරුණු රූපකාරකයක් නොවිය යුතුයි. එහෙත් ඉසියුම් සහ ගැඹුරු ලෙස ඇස් පිල්ලමකින් පවා කතාකරන තරමට රංගධරයාගේ රංගනය ප්‍රබල විය යුතුයි. ඉවසිලිවන්ත විය යුතුයි. රංගධරයාගේ දෑස වදනින් වියුක්තව කතාකරන භාවාත්මක සන්නිවේදනයක් සංවේදී ලෙස ප්‍රකාශ කළ යුතුයි. සිනමා කෘතියට ප්‍රස්තුත රැසක් වස්තු බීජ නොවිය යුතු අතර යථාර්ථවාදී සමාජයීය සාධකයක් හෝ මනුෂ්‍යභාවයක් විනිවිද සොයායන ගැඹුරු විමර්ශනයක් වටා සිනමා වියමන ගෙතිය යුතුයි. සෘජු සන්නිවේදනයන්ගෙන් තොර සංකේතාත්මක සහ භාව ප්‍රකාශවලින් පරිපූර්ණ විය යුතුයි. ශ්‍රී ලාංකික සිනමාව මේ හුඟක් සිනමාමය සාධකවලින් දුප්පත් වුවත් කල්පන සහ වින්දන එම දුප්පත්කමින් ගොඩ එන්න දරන ධනාත්මක වෑයමක් ඔවුන්ගේ සිනමා  කාව්‍ය ඇසුරේ අල්පමාත්‍රව හෝ කියවිය හැකියි.

තාක්ෂණය සහ අන්තර්ජාලය ඇසුරේ පමණක් හුදෙක් ළමාවිය දකින්නට සහ කියවන්නට යත්න දරන බහුතර පරම්පරා ලක්ෂණ රූකඩ පැංචි සිනමා කෘතියේ රූකඩ පැංචි චරිතය ඔස්සේ යම්දුරකට ගම්‍යමාන වුවද ඒ සීමාවෙන් ඔබ්බට එම චරිතය ඔස්සේ ගැඹුරු ආදරණීය සහ ශක්තිමත් අනාගත ගැහැනියක දර්ශනය කරන්නට කල්පන සහ වින්දන දරන ප්‍රයත්නය ඇත්තටම ප්‍රසංශනීයයි. අංකල් ලුවී චරිතය රූකඩ පැංචිගේ ආධ්‍යාත්මය කැඩපතකින් සේ පෙන්වීමට මෙම සිනමා සිත්තම තුළ ප්‍රබල ආධාරකයක් කරගෙන තියෙනවා. දරුවන්ගේ ලෝකය තුළ ගැවසෙන සුමට බව, සංවේදීත්වය සහ ඔවුන් ලෝකයට ආදරය කිරීම වෙනුවෙන් ලෝකයෙන් ඉල්ලා හිඳින ආදරය විවිධ ස්වරූප සහ හැඩතල ඔස්සේ රූකඩ පැංචි සහ සසාගේ චරිත ඔස්සේ ගෙනහැර දක්වමින් දරුවන් යනු කවුරුන්දැයි ඔබට කියන්නට මේ සිනමා වෑයම තුළ දරන මහන්සිය ඇත්තටම අගය කළ යුතුයි. 

මම හිතන්නේ ගැහැනිය පාලකයෙක් සේ විය යුතුයි. ඇය රළු විය යුතු තැන රළු විය යුතුයි. මෘදු විය යුතු තැන මෘදු විය යුතුයි. අකම්පාව දරාගත යුතු තැන දරාගත යුතුයි. කඳුළ සැඟවිය යුතු තැන සඟවා ඒ කඳුළෙහි සීතල තනිව විඳගන්නට තරම් ශක්තිමත් විය යුතුයි. අනෙකාගේ දිරිය උදෙසා කඳුළු සඟවාලිය යුතු තැන සඟවාලිය යුතුයි. රූකඩ පැංචිගේ ආත්මය තුළ එවන් අනාගත ගැහැනියක ජීවත්වන බවට සියුම් ඉඟි සපයමින්, එහෙයින්ම ඒ චරිතය වටා සිනමා සිත්තම ආකර්ෂණීය ලෙස ගොඩනගන්නට ඔවුන් උත්සාහ කරනවා.

දරුවන්ට ආදරය කරන්න. එහෙත් ඔබගේ අභිලාෂයන් ඔවුන්ට නොදෙන්න. මක්නිසාදයත් ඔවුන්ට ඔවුන්ගේම අභිලාෂයන් ඇති හෙයිනි. ඛලීල් ජිබ්රාන් කියන ලේඛකයා එහෙම කියනවා. ඕෂෝ කියනවා ආදරය උත්තරීතරත්වයට පත්කරන්නේ නිදහස විසින් කියලා. එහෙත් මට හිතෙන්නේ රැකවරණය කියන ඉදිකටුවට බැඳීම කියන නූල හෙමින් රිංගවලා ආදරය කියන සේලය මත චමත්කාර හැඩතල ගෙත්තම් කළ හැකි නම් හිත ඉල්ලන, ජීවිතය ඉල්ලන, ආත්මය අයදින ආදරය තියෙන්නේ එතන කියලා... සත්‍ය තුළ ඉපදුන ආදරය සංසාර ආදරයක් සේ දැනෙනවා... හැඟෙනවා... පුංචි දරුවන් එහෙම ආදරය දැනෙන තැන් ළඟ නවතිනවා...අංකල් ලුවීගේ ආදරය ගැඹුරේ ඇති අවබෝධය නිදහස හා චමත්කාරය වෙත රූකඩ පැංචි හා සසා කොන්දේසි විරහිත බැඳීමකින් ආශක්ත වෙන්නේ ඒ සිද්ධාන්තය පාදක කරගෙනයි. ආදරය කියන්නේ ලේ වලින් විතරක්ම ඇතිවෙන බැඳීමක් නෙවෙයි... ඒත් ආදරය කියන්නේ ලෙයට බැඳෙන බැඳීමක්.

රූකඩ පැංචි අන්කල් ලුවීට දක්වන ස්නේහය තුළ ඒ කීව සිද්ධාන්තය සොඳුරු යථාර්ථයක් බවට පත් කරන හැටි මනෝ විද්‍යාත්මකයි... ඒ මගේ විනිශ්චය.... ඔබේ විනිශ්චය....අවසානයේ මට මෙහෙම කියන්න ඉඩ දෙන්න.... කොහේදි කොතනකදී හමුවුණත් ආදරය  කියන්නේ ආදරය... කොහෙද වෙන නිර්වචන...